ශකීල්ගේ ද්විත්ව ශතකයේ ශක්තියෙන් පකිස්තානය ප්‍රබල තැනකට එයි

145

සිය දෙවැනි ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් බවට පත් කර ගත් පකිස්තාන මැද පෙළ පිතිකරු සවුද් ශකීල්ගේ ධෛර්යවන්ත ඉනිම හේතුවෙන් ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අද (19 වැනිදා) ප්‍රබල අභියෝගයකට මුහුණ දීමට නියමිතව සිටී.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ශකීල්ගේ පිත්තෙන් වාර්තා වූ එම ද්විත්ව ශතකය මත පාකිස්තානය පළමු ඉනිම සඳහා ලකුණු 469 ක් ලැබූ අතර ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා රැස් කළේ ලකුණු 312ක් පමණි.

ඒ අනුව පකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 149ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව ඊයේ දිනය නිමා වන විට කිසිවෙක් නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව පාකිස්තාන පළමු ඉනිමේ ලකුණු පරතරය පසුකර යෑමට තවත් ලකුණු 135ක් පිටුපසින් සිටී.

මෙම තරගයේ පකිස්තාන ඉනිමේ කඩුලු 5ක් දවා ගැනීමට රමේශ් මෙන්ඩිස් සමත් වූ අතර එම කඩුලු 5 න් 4 ක්ම ඊයේ දිනයේ දවා ගැනීමට ඔහු සමත් වූයේය.

ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටි අතර ශකීල්ට අනගි සහායක් ලබා දුන් අගා සල්මන් ඊයේ දිනයේ දැවී ගිය පළමු පකිස්තාන පිතිකරුවා වූයේය.

රමේෂ් මෙන්ඩිස් ඊයේ දවා ගත් කඩුලු 4 න් පළමු කඩුල්ල ලෙස සල්මන් ලකුණු 83 කට දැවී ගියේය.

ලකුණු 101 ට කඩුලු 5 ක් දැවී ගොස් තිබූ පසුබිමක සවුද් ශකීල් හා ආගා සල්මාන් අතර 6 වැනි කඩුල්ල සඳහා පන්දු 218 කදී ලකුණු 177ක සම්බන්ධතාවයක් වාර්තාවිණි.

තේ පානය සඳහා තරගය නතර කරන විට පකිස්තානය කඩුලු 8 ක් දැවී ලකුණු 389 ක් ලබා සිටි අතර ඉන් අනතුරුව අවසන් පිතිකරුවන්ගේ සහාය ඇතිව තම ද්විත්ව ශතකය ලබමින් පකිස්තාන ලකුණු 450 සීමාව ඉක්මවා යෑමට ද ශකීල් ශක්තියක් වූයේය.

පකිස්තාන කණ්ඩායමේ අංක 10 පිතිකරු නසීම් ශා පන්දු 78 ක් පුරා කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් වූයේය.

පන්දු 361 ක් පුරා නොදැවී පන්දුවට පහර දුන් ශකීල් තම ද්විත්ව ශතකය සඳහා එල්ල කර තිබුණේ 4 පහර 19 ක් පමණක් වීම විශේෂ සිද්ධියකි.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී කඩුලු 2 ක් දැවී ලකුණු 76 ක් පමණක් ලබා ගැනීමට පකිස්තානය පරෙස්සම් වී තිබුණි.

නෝමන් අලී ලකුණු 25 කට දවා ගැනීමට ද රමේෂ් මෙන්ඩිස් සමත් වූ අතර ශහීන් ශාහ් අෆ්රිඩි විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ලකුණු 9ක් ලබා සිටියදී දැවී ගියේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පළමු ඉනිම 312/10 (95.2)
පකිස්තානය පළමු ඉනිම 461/10 (122.2)

ඉමාම් උල් හක් 01, අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 19, ශාන් මසූඩ් ලකුණු 39, බාබර් අසාම් ලකුණු 13 , සර්ෆරාස් අහ්මඩ් ලකුණු 17, අගා සල්මන් 83, සවුද් ශකීල් නොදැවී 208, නෝමන් අලී 25, ශහීන් ශා 9, නසීම් ශා 6, අබ්‍රා අහමඩ් 10

පන්දු යැවිම

කසුන් රාජිත 77/1, ප්‍රභාත් ජයසූරිය 145/3, රමේෂ් මෙන්ඩිස් 136/5, විශ්ව ප්‍රනාන්දු 69/1

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 14 (3.4)

නිශාන් මධුශ්ක නොදැවී 8
දිමුත් කරුණාරත්න නොදැවී 6

advertistmentadvertistment
advertistmentadvertistment