ශ්‍රී ලංකා ක්‍රිකට් ලියාපදිංචිය අත්හිටුවීම; ලේඛන අධ්‍යයනය කර ළඟදීම තීරණයක් දෙනවා – ක්‍රීඩා ඇමැති අධිකරණයට කියයි

287

පෙත්සම් දෙකම 13 වැනිදා යළි කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ පෙත්සම් දෙක වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 13 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (05 දා) නියම කළේය.

එම පෙත්සම් සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි. ෂම්මි සිල්වා මහතා විසින් ගොනු කළ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනසුරු නිශ්ශංක බන්දුල මහතා ප්‍රමුඛ ද්විපුද්ගල විනිසුරු මඬුල්ල ක්‍රීඩා අමාත්‍යවරයාගේ එකී ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් මුල් අවස්ථාව්දී නිකුත් කොට තිබූ අතර එකී අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනා පෙත්සමක් ගොනුකර තිබිණි. එම පෙත්සම ඊයේ (05 දා) කැඳවූ අවස්ථාවේ නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා කරුණු දක්වමින් නඩුවට පාදක වූ කරුණු සම්බන්ධයෙන් ලේඛන නව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අධ්‍යයනය කරමින් පවතිනා බවත්, ඒවා අධ්‍යයනය කර නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණය ඉදිරියේදී අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදෙන ලෙසත් විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment