විත්තියේ විරෝධතා ඉදිරිපත් කිරීමට ඉඩ දී ශෂී වීරවංශට එරෙහි නඩුව ඔක්: 31ට කල්තබයි

84

විමල් වීරවංශ මහතා අමාත්‍යවරයකු ලෙස කටුතු කළ සමයේදී ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිතා කළේ යැයි චෝදනා එල්ල වී ඇති උදයංගනී රණසිංහ හෙවත් ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව සම්බන්ධයෙන් විත්තියට මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට ඉඩ දෙමින් එම නඩුව ලබන ඔක්තෝබර් 31 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්‍ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (12 දා) නියෝග කළාය.

එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් සිය සේවාදායිකාවට එරෙහිව මින් පෙර පවරා තිබූ නඩුවකට පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස ඉදිරිපත් කළ ලේඛන බොහොමයක් සහ එම නඩුවේ සාක්‍ෂිකරුවන් කිහිපදෙනකු මෙම නඩුවට ද ඉදිරිපත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අධිකරණයට දැනුම් දුන්නේය.

පෙර නඩුවේ ලේඛන මේ වන විට මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සම් විභාගය සඳහා මහාධිකරණයට කැඳවා ඇති බැවින් ඒවා මෙම නඩුවට කැඳවීමේ අවශ්‍යතාවක් ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා එහිදී පැවසූ අතර එකී ලේඛනවල සහතික පිටපත් කැඳවා ගැනීමේ හැකියාව ඇතැයි අතිරේක මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

ඒ අනුව එම නඩුව ලබන ඔක්තෝබර් 31 වැනිදා දක්වා කල්තැබීමට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා ඊයේ අධිකරණය හමුවේ පෙනීසිටි හිටපු ආගමන විගමන පාලකවරයා ඇතුළු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් දෙදෙනාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කළාය.

එම නඩුව ඊයේ උදෑසන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවූ අතර අභියාචනාධිකරණය විසින් කර තිබූ නියෝගය අනුව එම නඩුව අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

යම්කිසි පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකු අසනීප තත්ත්වයක් හෝ වෙනත් පුද්ගලික අපහසුතාවක් නිසා නඩුව වෙනත් දිනයකට යොමු කරන ලෙස ඉල්ලීමක් කළ විට එම ඉල්ලීම කෙරෙහි දැඩි අවධානය යොමු කිරීම අධිකරණ ක්‍ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායක් වුවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු මෙන්ම ජනාධිපති නීතිඥවරයකු ද වන තමා අසනීප බව දැනුම් දී තිබියදීත් අධිකරණය නඩුව කැඳවීමට බලකිරීම සම්බන්ධයෙන් තමා බෙහෙවින් කනගාටු වන බව ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment