පාස්කු ප්‍රහාරයට මිනීමරු සහරාන් ෆෝම් කළේ යහපාලන ආණ්ඩුවයි – ඇමැති ප්‍රසන්න රණතුංග

158

ප්‍රහාරය ගැන සාක්ෂි මතු වී ආවත් මේ රජය ඒවා යටගහනවා – නිරෝෂන් පෙරේරා මහතා (සජබ)

ගෝඨාභය ආපු ගමන් පරීක්‍ෂණ අඩපණ කිරීමට ශානි දකුණට මාරු කළා – කබීර් හෂීම් (සජබ)

බුද්ධි අංශ නිවැරදිව දැනුම් දුන්නත් බලධාරීන් එය නොසලකා හැරියා – රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

මහ මොළකාරයෝ සොයාගත යුතුයි- නිමල් ලන්සා (ශ්‍රීලපොපෙ)

චැනල් 4 ලණුවේ එල්ලෙන්න යන අයට ඒක මරු වැලක් වේවි – උදය ගම්මන්පිල (ශ්‍රීලපොපෙ)

රාජපක්ෂවරු නැවත ගේන්න ජාතිවාදය පැතිරුවා – චමින්ද විජේසිරි (සජබ)

පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට මිනීමරු සහරාන් ෆෝම් කළේ යහපාලන ආණ්ඩුව කාලයේදී බවත් විපක්ෂයට පවතින රාජපක්ෂ භීතිකාව නිසා ගෝඨාබය රාජපක්ෂ බලයට ගෙන ඒමට ප්‍රහාරය සිදු කළා යැයි අසත්‍ය චෝදනා කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කියා සිටියේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙදින විවාදය අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. නිවේදන , ලිපිලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම්, ආදිය ඉදිරිපත් කිරීම ඉන්පසුව සිදු විය. අනතුරුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිනට නියමිත වූ දෙදින විවාදය ප්‍රථම දිනය ආරම්භ කෙරිණි.

විවාදය ආරම්භ කරමින් පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා (සජබ)-

මම කණගාටු වනවා අපේ රටේ සිදු වූ පාස්කු ප්‍රහාරයට වසර හතරක් ගතවෙලා තිබියදී ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් වුනේ නෑ කියමින් මේ වගේ විවාදයකට නැවත සම්බන්ධ වෙන්න ලැබීම ගැන. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී සාක්ෂි මතු වෙලා ආවත් මේ රජය ඒවා යටගහන්න ක්‍රියා කරනවා. එදා අගමැති ලෙස කටයුතු කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා මේ ගැන සිදු කෙරෙන පරීක්ෂණ ජාත්‍යන්තර සහාය ඇතිව කෙරෙන්න ඕනා කියලා. මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු මේ ආණ්ඩුවේ ඇමැතිකම් ගන්නට පෙර ඉදිරිපත් කළ ලිපියෙන් සඳහන් කර තිබෙනවා පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කෙරෙන්න ඕනා කියලා. නමුත් ඒ මන්ත්‍රීවරු අද මේ සභාවේ නෑ. ඒ අය නිහඬවෙලා. මේ චැනල් ෆෝ නාළිකාවෙන් ආ චෝදනා අද ඊයේ එල්ල වූ චෝදනා නොවෙයි. රජය විවිධ අවස්ථාවලදී මේ පරීක්ෂණවලට බාධාකරන්න ක්‍රියා කළා. මේ රජයේ සිටින ඇතැම් අය මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට මේ වන විට චෝදනා එල්ල වෙලා තිබෙනවා. විශේෂයෙන්ම හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ, බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, රාජ්‍ය ඇමැති පිල්ලෙයාන් ඇතුළු පිරිසකට අද වනවිට චෝදනා එල්ල වෙලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සිදු කරන්න ඉතා සැලසුම් සහගතව කරන්න බුද්ධි අංශවලින් සහයෝගය දුන්නාද කියන ප්‍රශ්නය තිබෙනවා. මේ ප්‍රහාරයේ ඇත්ත හෙළි වුනොත් යම් දේශපාලනඥයින් පිරිසකට අවාසි වන බව මේ වන විට තේරුම් ගිහින් තිබෙනවා. අපි හිතනවා සහරාන්ට උඩින් ඔහුට උපදෙස් දුන්නු අබුහින් කියන පුද්ගලයා කව්ද කියලා සොයාගත යුතුයි. ඒ සඳහා මා ඉන්දියාවේ සහායත් ඉල්ලනවා. අබුහින්ද් කියන්නේ අබුසලේද නැත්නම් අබු රාජපක්ෂද කියලා හඳුනා ගැනීම වටිනවා. ඒ වගේම සාරා ජැස්මින් මැරුණාද කියලා හොයන්න ඩීඑන්ඒ පරීක්ෂණ 03ක් කළා. ඒ අයට ඕනා ප්‍රතිපඵය එනකම් ඩීඑන්ඒ පරීක්ෂණය කළා. මේ ගැන පරීක්ෂණ කළ ඒ පොලිස් කණ්ඩායම් තුන්සීයකට වඩා මාරු කළා. මේ ප්‍රහාරය විමර්ශනය කළ ශානි අබේසේකරව වහාම ඉවත් කළා. අපට ප්‍රභල සාක්ෂි තිබෙනවා සාරා ජැස්මින් මැරුනේ නෑ. අබුබකර් කියන පොලිස් නිලධාරියා විසින් රැගෙන ගියා කියලා. මේ ප්‍රහාරයට සම්බන්ධ සාක්ෂි විනාශ කර තිබෙනවා. මකලා තිබෙනවා. ඒ පරීක්ෂණ කළ නිලධාරීන් රට යවලා තිබෙනවා. ඒ වගේම සොනික් කියල හඳුන්වපු අයිපී බණ්ඩාර මේ වන විට රටෙත් නෑ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (සජබ):

මේ ප්‍රහාරයේ පෙළගැස්ම දෙස බැලුවහම කියන්න පුළුවන් අපට මේක කළේ කව්ද කියලා කියන්න. මේ ප්‍රහාරය හොඳට සැලසුම් කරලා කරපු දේවල්. මේ සේරම බලය වෙනුවෙන් කරපු කුමන්ත්‍රණ. දින 52 ආණ්ඩු කුමන්ත්‍රණය අසාර්ථක වූ නිසා තමයි ප්ලෑන් බී ක්‍රියාත්මක කරලා පාස්කු ප්‍රහාරය සිද්ධ කළේ. සහරාන්ගේ බිරිඳ පැහැදිලිව කියලා තිබෙනවා. අබුහින්ද් නමැති පුද්ගලයෙක් පිළිබඳව. (නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ)

නලින් බණ්ඩාර මහතා- මේ පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ තිබෙන්නේ. සහරාන්ගේ බිරිඳ හාදියා කියලා තිබෙනවා සහරාන් අබුහින්ද් එක්ක කතා කරනකොට අනෙක් අයව ඉවත් කරනවාලු. අබුහින්ද් තමයි මේ ප්‍රහාරය කඩිනම් කරන්න කියලා කිව්වේ. අබුහින්ද් තමයි ඉන්දියාවේ ඉඳලා මේ ප්‍රහාරය මෙහෙයවුවේ. අබුහින්ද් කියන්නේ මිත්‍යාවක් කියලා මේ පොලිස් නිලධාරීන් කියලා තිබෙනවා. අබුහින්ද් කියන්නේ යක්ෂයෙක්, ප්‍රේතයෙක්, පිෂාචයෙක්. ඔහු තමයි මේ ඝාතන පිටුපස ඉන්නේ. අබුහින්ද් තමයි මහමොළකරු. නමුත් ඔහු ගැන හොයන්නේ නෑ. ඒවා වහන්න තමයි ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ ගමන්ම මේ විමර්ශනය කළ නිලධාරීන්ව මාරු කළේ. ඝෝටාගේ ප්‍රථම රාජකාරිය වුනේ තමන්ගේ අගමැති හෝ කැබිනට් මණ්ඩලය පත් කළ එක නොවෙයි. ශානි අබේසේකරව මාරු කරපු එක. ශානි අබේසේකර ඇතුළු සීඅයිඩී එකේ නිලධාරීන් එකසිය ගණනක පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරලා තිබුණා. ඒවා වහන්න තමයි ඝෝඨාභන ක්‍රියා කළේ. ඊට පස්සේ ඔහුගේ රාජකාරිය වුණේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස සුරේෂ් සලේ පත් කරපු එක. මේ ඝාතන කුමන්ත්‍රණය යටපත් කරන්න තමයි මේ සියල්ල කළේ. බුද්ධි අංශයේ සියළු දෙනා නොවෙයි සීමිත පිරිසක් සහරාන් එක්ක ක්‍රියා කළා. ගෝටාභය මේ සියල්ල හෙළිවීම යටපත් කළා. සීඅයිඩීඑකේ හිටපු දක්ෂ අයව ඉවත් කළා. දූෂිත නිලධාරීන්ව ගත්තා. අපි කියනවා එවකට අගමැති රනිල් මේ ප්‍රහාරයට වගකියන්න ඕනේ නෑ. ඔහු මේ ප්‍රහාරයෙන් පස්සේ සීඅයිඩීයට ගියහම වාඩිවෙන්න පුටුවක් දීලා තිබුනේ නෑ. නමුත් ඔහු තමයි දැන් මේ රටේ ජනාධිපති. ඒ නිසා ඔහු මේ පරීක්ෂණ හරියට කරලා ප්‍රහාරයට වගකිවයුතු අය ගැන හොයන්න ඕන. ප්‍රහාරය ගැන සැබෑ අපක්ෂපාතී පරීක්ෂණයක් ජනාධිපති විසින් කළ යුතුයි. මේ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුල් දැනගෙන හිටියේ නෑ මේක කුමන්ත්‍රණයක් කියලා. ඒ නිසා ඒ අය එදා සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව ඡන්දය දුන්නා. ඒත් ඒ අය අද දුක් වෙනවා මේ කාලකණ්නින්ට ඡන්දය දුන්නා කියලා.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග මහතා:

මේ සිදුවීම 2019 අප්‍රේල් මාසයේ සිදු වෙන්නේ. එතකොට 2015 බලයට එන්නේ යහපාලන ආණ්ඩුව. ඒ කාල සීමාවේදී ඒ අයට අවශ්‍ය පහසුකම් දුන්නා කියන්නේ ඔබතුමන්ලමයි. සහරාන්ව ෆෝම් කරලා තියෙන්නේ, අවශ්‍ය පහසුකම් දිලා තියෙන්නේ ඔබතුමන්ලාගේ කාලයේයි. එහෙම කරානම් වැරැදියි. මේක කළේ ත්‍රස්තවාදීන් නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. අද අපි කතා කරන මේ දේ නැවත මතු වුණේ චැනල් ෆෝ නාළිකාවේ කාරණාවත් එක්ක. චැනල් ෆෝ නාළිකාවේ විකාශය වූ වැඩසටහන ඇත්තටමද පාස්කු ප්‍රහාරය ගැනද ඉලක්ක කළේ. මා විශ්වාස කරනවා ඒක නෑ කියලා. මේ සම්පූර්ණ වැඩසටහනින් පහෙන් එකයි පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නේ. පහෙන් හතරක් කතා කරන්නේ යුද්දේ ගැනයි. මේ සිද්ධිය වෙනකොට මේ රටේ ආණ්ඩුව කළේ යහපාලන ආණ්ඩුවයි. මෙතැන ඉන්න බොහෝ දෙනෙක් ඇමතිවරු ඒ ආණ්ඩුවේ. ඒ කාලේ පරීක්ෂණයක් කළා. ජනාධිපති කොමිසම් පත් කළා. අපි හිටියේ විපක්ෂයේ. ඒ අය අද කතා කරන්නේ සුදොනෝ වගේ. ඒකට දේශපාලනය ගාව ගන්න හොඳ නෑ. දේශපාලනය අල්ලගෙන විපක්ෂය උත්සාහ කරනවා මේක රාජපක්ෂලාගේ එකක්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේක ආරක්ෂා කරන්න හදනවා කියලා මතයක් හදන්න හදනවා. ඒ පැත්තට මේක තල්ලු කරන්න එපා. බුද්ධි අංශය, හමුදාව, පොලිසිය විවේචනය කරල ඒ අය තුළ විශ්වාසයක් නැති කරගත්තොත් ඒක රටේ ජාතික ආරක්ෂාවට බලපානවා. ඒවට සම්බන්ධ පුද්ගලයන් ඉන්නවානම් ඒ අයගෙ නම් කියමු. පාස්කු ප්‍රහාරය එල්ලකළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගේන්නලු.

ඒ වගේම මෙතන කතා වුණා සොනික් සොනික් ගැන. මම මේව ගැන දන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් පත්කළේ ඔබතුමන්ලගේ කාලයේදියි. අපි ඒ කොමිසමේ නිලධාරීන් කවුරුවත් වෙනස් කළේ නැහැ. හතළිස් දෙනෙකුට විතර නඩු දාල තියෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය ගැන එෆ්.බී.අයි. එකත් මේ ගැන පරීක්ෂණයක් කළා. ඕස්ටේ්‍රලියානු ආරක්ෂක අංශවලින් පරීක්ෂණ කළා. ඒව වැඩක් නැත්නම් ඔබතුමන්ල කණ්ඩායමක් නම් කරන්න මේ ගැන පරීක්ෂණ කරන්න. එතකොට ඉවරයි. අපි මේව හංගන්න කටයුතු කරන්නේ නැහැ. මෙයාලට රාජපක්ෂ මහත්තුරු ගැන පුදුම භීතිකාවක් තියෙන්නෙ.

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා

එදා බුද්ධි අංශ හරියට ක්‍රියා කළානම් ප්‍රේමදාස ජනාධිපති ඉන්නවා. ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි තවම ඉන්නවා. බුද්ධි අංශ ගැන එදා විශ්වාස කළේ නෑ.

අපි බුද්ධි අංශ නිවැරදිව ගොඩනැගුවා. එය මිලේනියම්සිටි පාවාදීම හරහා විනාශ කළා. බුද්ධි අංශ නිසි පරිදි ප්‍රහාරයක් ගැන දැනුම් දෙනවා. එය නොසලකා හැරියා. අයි.එස්.අයි.එස්. අනුරාධපුරයේ පුහුණු වෙන බවත් බුද්ධි අංශ දැනුම් දුන්නා. ප්‍රහාරයට දින කිහිපයක සිටම කිව්වා. ප්‍රහාරය දවසෙත් කිව්වා ආරක්ෂක අංශ ඒවා තැකුවෙ නෑ.

රිවාන් බලාගත්තු වෛද්‍යවරයා පකිස්තානයට පැනලා ගිහින්. මේ සිද්ධිවලට සම්බන්ධ අය සෙවීමට අපි සියලුදෙනා එක්ව ක්‍රියා කළ යුතුයි. මිනිස්සු මරපු මිනිස්සු එක්ක පාර්ලිමේන්තුවේ හිඳගන්නවත් මම සූදානම් නෑ.

ත්‍රස්තවාදීන් ප්‍රහාරයට පෙර ප්‍රතිඥා දුන් වීඩියෝ 2018 දී සීඅයිඩිය තුළදී මැකිලා. මේවා වුණේ අපේ ආණ්ඩු කාලේ නෙවෙයි. පාස්කු පරීක්‍ෂණ අපේ ආණ්ඩුව ආපු ගමන් ඇරැඹුවා. අපි 745ක් අත්අඩංගුවට ගත්තා. 34ක් රිමාන්ඩ් කළා. අධිචෝදනා ගොනු කළා. මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු පිරිසකට නඩු පැවරුවා.

පෞද්ගලික වාසි තකා කාදිනල් හිමියන්ට වැරැදි තොරතුරු විවිධ අය දෙනවා. ඒ අසාධාරණයට කතෝලික ජනතාව ලක්වෙනවා. කාදිනල් හිමියන්ට විවිධ අවස්ථාවල දී විවිධ ප5කාශ කරන්න සිදුවුණා.

පුළුවන්නම් බලය ගන්න ප්‍රහාරය සිදුකළ බව ඔප්පු කරන්න එදාට මම සියල්ල පිළිගෙන නිහඬව යනවා. බොරු චෝදනා කරන්න එපා. තවදුරටත් අසරණ ජනතාවගේ හිත් පාරන්න එපා. අවුරුදු 2ක් මට පල්ලි යන්න වුණේ නෑ. ඒ තරමට ප්‍රචාරය ගෙන ගියා. ඒ නිසා තවදුරටත් අසත්‍ය ප්‍රචාර සිදුකරන්න එපා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) :

අපට ඕන කවුද ප්‍රහාරය එල්ල කළේ කියලා හොයන්න ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන්න.

අපේ ආයතන කුණු කොල්ලයට කිසිම ප්‍රසම්පාදනයකින් තොරව වික්කා. ඒ නිසා මේ ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් නෑ. දැනල් 4 කියන ප්‍රකාශ ගැන නිවැරදිව සොයන්න. දැනල් 4 එකේ සාක්ෂි දුන් අසාද් මව්ලානා 2007න් පසුව සංධානයත් සමග එක්ව ඡන්දය ඉල්ලපු අපේක්ෂකයෙක්. ඔහු මහ ඇමැතිගේ ලේකම් වෙලත් හිටියා.

ඩීඅයිජී ශානි අබේසේකර ප්‍රධාන සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට අරන් තිබුණේ.

ගෝඨාභය ආපු ගමන්ම ශානිව දකුණට මාරු කළා. පරීක්‍ෂණ අඩපණ කරන්න තමයි මේවා කළේ.

වව්නියාවේ පොලිස් මුරපළකට ප්‍රහාර එල්ල වුණා. එය රාජපක්ෂ හිතවාදීන් එල්ටීටීඊ පිට දැම්මා. මගේ ලේකම්ට එල්ල කළ ප්‍රහාරයත් සහරාන් පිට නොයවා වෙන පැත්තකට හැරෙව්වා.

වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය ඇල්ලුවා. හමුදා බුද්ධි අංශ ඒ පරීක්‍ෂණවලටත් බාධා කළා.

අපට දේශපාලන වාසි අවශ්‍ය නෑ. කොහොමත් මේ ආණ්ඩුව ඉවරයි. අපට හරි පරීක්‍ෂණයක් කරන්නයි අවශ්‍යයි. දින පනස් දෙක හොර ආණ්ඩුව එලවා දවස් තුනක් යන්නත් පෙර මාවනැල්ල බුදු පිළිමවලට ගැහුවා. හිටපු නීතිපති දප්පුල කිව්වා කුමන්ත්‍රණයක් තිබූ බව. වැඩබලන ජනපති ලෙස පත්වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් කරන බවට. වහාම ඒ පොරොන්දුව ඉටුකරන්න.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී. බී. රත්නායක මහතා (ශ්‍රීලපොපෙ) :

බලය අරමුණු කරගෙන කතා කළ යුතු නෑ. රටේ ජනතාව අසරණ කරන්න හොඳ නෑ. අපි මොකුත් කළේ නෑ. රාජපක්ෂ භීතිකාව කිය කියා ඉන්න එපා. රටේ යුද්ධය අවසන් නොකළා නම් සහරාන්ලා නොවෙයි එන්නේ වෙන අයයි.

හිටපු නීතිපති දප්පුල ලිවේරා කියපු දේවල්වලට උත්තර දෙන්නේ නෑ. අපටත් ස්වාධීන පරීක්‍ෂණ අවශ්‍යයි. අපි 225ම එක්වෙලා මේ සඳහා මූලිකවීම අවශ්‍යයි. දැනල් 4 එකට ඕන විදියට නටන්න අපි සූදානම් විය යුතු නෑ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා (සජබ) :

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ පිටු 50කට වඩා අපි වෙන් කළේ ආරක්ෂක අංශවල ගැටුම් හා ව්‍යාකූලතා නිසා ඇතිවූ තත්වයන්වලටයි. අපේ විස්තරාත්මක වාර්තාව මේ ආණ්ඩුව කුණු කූඩෙට දැම්මා.

රාජ්‍ය බුද්ධි අංශයේ 7000ක් ඉන්නවා. රෙජිමේන්තු 7ක් තියෙනවා. ඒත් මේ ප්‍රහාරය ගැන වචනයක්වත් දැනුවත් කළේ නැති බව හිටපු ජනපති තෛ්‍රිපාල සිරිසේන කොමිසමට කියා තියෙනවා. මේක පුදුම තත්ත්වයක්.

අපි එක එක ඒවා කියලා හරියන්නේ නෑ. සිදුවූ සැබෑ දේ සොයාගත යුතුයි. වින්දිතයන්ට සාධාරණය ඉටුකළ යුතුයි.

පුහුණු කඳවුරු රඹෑව, මැදවච්චිය, මල්වාන, සිප්පිකුලම ඇතුළු ප්‍රදේශවල තිබුණා. විවිධ ස්ථානවල සැකකරුවන් සැඟවී සිටියා. මේ හැමදේම වෙනකම් උඩ බලාගෙන හිටපු බුද්ධි අංශය කිසිවක් සොයා බලා නෑ.

සාක්ෂි ගෙතුවා. අවශ්‍ය දත්ත මැකුවා. හොඳ සාක්ෂි නැති කළා කියලා දැන් හෙළිවෙනවා. සාරා පුලස්තිනී ගැන විවිධ කතා කියනවා. ඇය මියගිය තැන හිටි බවට ඔප්පු කරන්න උත්සාහ කරනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා (ශ්‍රීලපොපෙ) :

2019 ජනාධිපතිවරණයේ දී මීගමුවෙන් ඡන්ද ගණන සියයට 38යි. 2010 දී මහින්ද රාජපක්ෂ සියයට 46ක් ඡන්ද ගත්තා. වත්තල ගෝඨාභය සියයට 46 සජිත් සියයට 47යි. බලය අරමුණු කරගෙන ප්‍රහාර එල්ල කළානම් මෙහෙම ඡන්ද අඩුවන්නේ කොහොමද?

අයිසිස් ත්‍රස්තවාදය ඉතා සංවිධානාත්මකයි. අපි අනවශ්‍ය ලෙස කාටවත් ඇඟිලි දික්කර වැඩක් නෑ. අපි දේශපාලනය කරමු. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ගැන ප්‍රශ්නයක් ආපු වෙලාවක මීට වඩා වෙනස් විදියට හිතමු.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (සජබ) :

සහරාන් 2012 සිටම සලේ සමග සබඳතා පැවැත් වූ බවට ජනාධිපති කොමිසමට ප්‍රකාශ කර තිබෙනවා. 2010 සිට තමයි සහරාන් බුද්ධි අංශ සමග එක්ව ක්‍රියා කරන්න පටන් අරන් තියෙන්නේ. ගෝඨාභය ජනපති සමග සලේ කිට්ටුව කටයුතු කළා. 2013 දී බුද්ධි අංශ ප්‍රධානියා වුණා.

නිලන්ත ජයවර්ධනට අප්‍රේල් මාසයේ ප්‍රහාරය එල්ල කළ දිනයේ උදෙත් මේ ගැන දැනුවත් කර තිබෙනවා. ඔහුට අවුරුදු දිනයේත් ජනපති හමුවෙලා. මේ වගේ භයානක සිද්ධිය බුද්ධි අංශ ප්‍රධානියා ජනපති දැනුවත් කර නෑ. ඒ නිසා ඇත්තනම් ඔහුට දඬුවම් කළ යුතුයි.

ආරක්ෂක කවුන්සලය ප්‍රහාරයට පෙර මාස දෙකක සිට රැස්කර නෑ. අගමැති රාජ්‍ය ආරක්ෂක ඇමැති, පොලිස්පති කවුන්සිලය කැඳවූයේ නෑ. හිටපු ඩීඅයිජී නාලක සිල්වා සියලු සැකකරුවන් අල්ලන්න හිටියේ. එය වැළැක්වූවා. මේ රට අර්බුදකාරි තත්ත්වයට හා ආරක්ෂාව දුර්වල කිරීමට ක්‍රියා කර තියෙනවා.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා :

කිසිම දවසක ඉන්දියාවේදී සලේ හමුවුණේ නෑ. මෙයා හමුදාපති ලෙස සිටින විට හමුදා කඳවුරට ගැහුවා.

සරත් ෆොන්සේකා :

යුද හමුදාපති මූලස්ථානයේ ආරක්ෂාව භාරව ඉන්න කෙනා නොවෙයි. හිටපු ජනපති බෝම්බ පුපුරණවිට සිංගප්පූරුවේ හිටියේ. මෙයා මහ මොළකාරයා. එක් අයෙක් ගෝඨාභය අනෙක් මහමොළකරු මේ හිටපු ජනපතිවරයා. සලේ අතරමැදි කෙනෙක් විතරයි. ගුවන්යානා කිහිපයක් ලංකාවට ආවත් ජනපති ආවේ නෑ. මට ගහන බවට එදා තොරතුරු තිබුණත් බියට පත් වුණේ නෑ. පොදු අපේක්ෂක මෝඩ වැඩේ කරන්න එපා කියලා මම එදා ඉඳලම කිව්වා.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන :

මෙයා හමුදාපති කාලේ දාහක් එක්දහස් පන්සියයක් පමණ කොල්ලො මැරුවා. හමුදා මූලස්ථානය බේරා ගන්න බැරිව සිටි කෙනා. පාස්කු ගැන කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒකපාක්ෂිකයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතා (ශ්‍රීලපොපෙ) :

පාස්කු ප්‍රහාරයට වසර 5ක් ගතවෙනවා. හැමදාම ස්වාධීන පරීක්‍ෂණයක් කතෝලික සභාව ඉල්ලනවා. පසුගිය ආණ්ඩු සියල්ලමේ ගැන හරි අවබෝධයක් ලබාගෙන නෑ. විවිධ කමිටු කොමිසම් දැම්මා. මේ වගේ ප්‍රශ්න විසඳන්න බැහැ. කතෝලික ජනතාව ඉල්ලන දේ දෙන්න. එකම දේ සාධාරණ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්. මහ මොළකාරයෝ උපදෙස් දුන් අය, මුදල් දුන් අය සොයාගත යුතුයි. දැනටමත් සියයට 80ක් විතර සොයාගෙන ඉතිරි ප්‍රමාණය විසඳා දීම අපේ වගකීමක්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා (ශ්‍රීලපොපෙ) :

මේ ආණ්ඩුව පරාජය කළ යුතුයි. නමුත් ආණ්ඩුවට ගන්න ගිහින් රණවිරුවාට මව්බිමට ගහන්න දෙන්න බැහැ. චැනල් 4 ලණුවේ එල්ලෙන්න යන අයට ඒක මරු වැලක් වේවි. සුරේෂ් සලේ ගැන කියන කරුණු අථාර්ථිකයි. කරුණු පරස්පරයි. මේ කියන දවසේ සලේ හිටියේ මැලේසියාවේ බව කරුණු තහවුරු කර තියෙනවා.

දැනල් 4 වීඩියෝව පුරාම තියෙන්නේ සලේ ප්‍රහාරය සැලසුම් කළ බවට. ඔහු මේ රටේ හිටියාද කියා තහවුරු කරගන්න මුලින් ක්‍රියා කරන්න. එය බොරුවක්නම් පරීක්‍ෂණ කළ හැකියි.

බුද්ධි අංශ සියලු තොරතුරු ලබාදී තියෙනවා. ඔවුන්ට ප්‍රහාරය එල්ල කරන්න බෑ. ඔවුන්ගේ යුතුකම ඉටුකරලා. නිලන්ත ජයවර්ධන ඔහුගේ යුතුකම ඉටුකරලා. ඔහුට ප්‍රහාර එල්ල කර වැඩක් නෑ.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (සජබ) :

එදා රාජපක්ෂවරු 2015 දී ගෙදර ගියාම නැවත ගේන්න ජාතිවාදය පැතිරවූවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි නැවත පොහොට්ටුව ආවේ. පාස්කු ප්‍රහාරය එල්ල වෙලා දින 7ක් යන්න පෙර මම ජනපතිවරණයට එනවා කියලා ගෝඨාභය කිව්වා. මේ ප්‍රකාශ හා ක්‍රියාකාරකම් ගැන සියුම්ව බලන්න ඕන. රාජපක්ෂලා පැරදුණු හැම මොහොතකම යළි බලයට එන්න විවිධ උප්පරවැට්ටි ඇති කරනවා. දැන් යළිත් බලයට ගේන්න රනිල් වික්‍රමසිංහ මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙලා.

පාර්ලිමේන්තුව නැවත අද (22දා) දින පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment