කෝටියක රන් බිස්කට් ගෙනා ගාල්ලේ ගුවන් මගියා දැලේ

99

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් පහයි භාගයක් නීති විරෝධී ලෙස රැගෙන කටුනායක ගුවන්තොටුපළෙන් පිටව යමින් සිටි ගුවන් මගියකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 21 වැනිදා උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු ඊයේ (21 දා) උදෑසන 05.30ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. – 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු ගුවන්තොටුපළේ සියලුම පරීක්ෂණ නිමවා ගුවන්තොටුපළෙන් පිටතට යමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොහු රැගෙන ආ ගමන් මලු තුළ තිබී මෙම ග්‍රෑම් 616 ක් බරැති රන් බිස්කට් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව මෙම ගුවන් මගියා සහ ඔහු විසින් නීති විරෝධී ලෙස රැගෙන විත් තිබූ රන් බිස්කට් සියල්ල, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment