පාර්ලිමේන්තුව අනුමත කළ පමණින් අයි.එම්.එෆ් ලියවිල්ල නීත්‍යානුකූල නෑ – පාඨලී චම්පික රණවක කියයි

100

ගෝඨාභය බලයට ගෙන ඒම නිසා රටේ සෑම පුද්ගලයකුටම වසරකට රු. 359,000 ක පමණ මුදලක් අහිමි වී ඇතැයි 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් 43 සේනාංකය ඊයේ (28 දා) පැවැත්වූ මාධ්‍ය හමුව අමතමිනි.

මූල්‍ය අරමුදලේ එකඟතා ලියවිල්ලට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වූ පමණින් ඊට නීත්‍යානුකූලභාවයක් නොලැබෙන බවත්, එහි තිබෙන කරුණු පිළිබඳව වෙන වෙනම අදාළ අණ පනත් ගෙන ඒමට ආණ්ඩුවට සිදුවන බවත්, රණවක මහතා මෙහිදී කීවේය.

“උදාහරණයක් හැටියට මහ බැංකුව ස්වාධීන කිරීමේ අණ පනත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිවැරදි කරණය පිළිබඳ අණ පනත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩිකර ගැනීම පිළිබඳ අණ පනත් ආදී වශයෙන් විවිධ අණ පනත් ගේන්න වෙනවා. ඒ නිසා මේක බලාත්මක නැහැ. යම් බලාත්මක භාවයක් ගෙන එන්න නම් විපක්ෂයත් එක්ක එකතුවෙලා ව්‍යවස්ථාවේ 157 වෙනි වගන්තියේ රාජ්‍යයන් දෙකක් අතර ඇති කර ගන්නා අන්තර්ජාතික ගිවිසුම් මෙවැනි ආයතනවලටත් ගැළපෙන පරිද්දෙන් ව්‍යවස්ථා සංශෝධනයක් කරලා ගෙනාවනම් මේකට බලාත්මක භාවයක් ලැබෙනවා යැයි ද ඔහු කීවේය.

2019 රට රකින විරුවා බලයට පත් වෙන්න පෙර දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89 යි. 2020 වෙනකොට මේක 85 ට වැට්ටුවා. 2022 වෙනකොට මේක 75 ට වැට්ටුවා. ගෝඨාභය නන්දසේන රාජපක්ෂ බලයට පත්වෙච්ච වෙලාවේ ඔහුව බලයට ගෙන ඒම සඳහා රට පුරා ම ව්‍යාජ නාටක රඟ දක්වපු අය කිව්වා ගෝඨා දශකය ආරම්භ වුණා කියලා. 2020 සිට 2030 දක්වා කාලය ගත් කල ගෝඨාභය නොසිටියා නම් රටේ දළ දේශීය නිෂ්පාදනය වෙන්න ඕනේ ඩොලර් බිලියන 123 යි. වෙනත් ඕනෑම පාලකයෙක් හිටියා නම් මේ සීයට 3% වර්ධනය ළඟා කරගත හැකියි. නමුත් මොහු බලයට ගෙන ඒමේ විපාකය කොච්චරද? මොහු බලයට ගෙන ඒමේ විපාකය තමයි මේ 2020-2030 කියන මේ දුර්භාග්‍ය සම්පන්න දශකය, අඳුරු දශකය, නිසා අපේ මුළු ණය ප්‍රමාණය බිලියන 46 යි. ඒ වගේ පස් ගුණයක් රටට නැති කරලා තියෙනවා 2019 මුග්ධ පාලකයෙක් බලයට ගෙන ඒමේ ව්‍යායාමය නිසා. අහන්න තියෙන්නේ කවුද මේවට වග කියන්නේ කියන එකයි. කතා පවත්වන්න කලින් ඒ ගැන ක්‍රියා කරපු අය හා ඒවට විරුද්ධව කතා කරන අයගෙන් අපිට අහන්න තියෙන්නේ කවුද මේවට වග කියන්නේ කියන එක.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment