කලා අංශයෙන් දිවයිනෙන් ප්‍රථමයාට පොලිසියෙන් ඇගයීම්

683

උසස් පෙළ ප්‍රතිඵල වලට අනුව කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කරගත් වරකාපොළ ඇත්නාවල සංවර්ධන ඉඩමේ පදිංචි කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඩබ්ලිව්. ඒ.ඇම්. සචිනි තත්සරණි ශිෂ්‍යාවට කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා ඇයගේ නිවසට පැමිණ මුදල් පරිත්‍යාගයක් පිරි නැමුවේය.

ඇයගේ පියා වන ඩබ්ලිව්.ඒ.ඇම්. මුදියන්සේ මහතා රැකියාව වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව කෑගල්ල කොට්ඨාසයේ දැදිගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයේ නිරතව කටයුතු කරයි. පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධරයකුගේ බාල දියණිය වන ඇය මෙවැනි ජයග්‍රහණයක් හිමිකර දීම පොලිස් දෙපාර්තමේන්තුවට කරන ලද ගෞරවයක් බවද ඇය ලබා ගත් මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇයට නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා සුබ පැතුම් ප්‍රකාශ කර සිටියේය. මෙම අවස්ථාවට සහභාගි වූ වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩී.සී. ප්‍රසාද් සහ දැදිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් දංගල්ල යන මහත්වරුන්ද ඇයට මුදල් පරිත්‍යාග සහ සුබ පැතුම් පිරිනමන ලදී. නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ඒ.එස්.කේ. වනසේකර මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.
වරකාපොළ – සරත් ආනන්ද ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment