හැමදේම නගී!

191

ෆොටෝ කොපියත් රු.5කින් නග්ගන්න වෙනවා
බත් – කොත්තු – රයිස් 10% කින් වැඩිකළා

පාරිභෝගික ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් විදුලි ගාස්තු දෙවැනි වරටත් ඉහළ දැමීමට සමගාමීව බත් පාර්සලයේ සිට ආහාර ද්‍රව්‍ය , භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් ඊයේ (16 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10 කින් ඉහළ දමා ඇත.

මෙම ආහාර ද්‍රව්‍ය භාණ්ඩ හා සේවාවන්ට අදාළ සමාගම් විසින් ඊයේ මේ බව නිවේදනය කර තිබේ.

ඒ අනුව පාරිභෝගිකයාට වැඩිවූ විදුලි ගාස්තුවලට අමතරව ආහාර ද්‍රව්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී තවත් දෙතුන් ගුණයක අමතරව වියදමක් දැරීමට මෙම විදුලි ගාස්තු සංශෝධනයන් සමග සිදුවනු ඇත.

මෙහි දී අදහස් දැක්වූ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මෙසේ පැවැසීය.

“ආණ්ඩුව ගෑස් මිල වැඩිකළාට අපි ආහාර මිල වැඩි කළේ නැහැ. අපිට හිතක් පපුවක් තිබුණට මේ රටේ සමස්ත පාරිභෝගිකයා ගැන ආණ්ඩුවේ අප්පුහාමිලාට හිතක් පපුවක් නැතිවීම ගැන අපි කනගාටු වෙනවා.

ඒ නිසා අපි ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා බත් පැකට් එක, කොත්තුව, ෆ්‍රයිඩ් රයිස් එක සියයට 10 කින් වැඩිකළා. සමාවෙන්න පාරිභෝගික ජනතාවනි,

කොහොම වුණත් කෙටි කෑම, ආප්ප, කිරි තේ, ප්ලේන්ටි මිල වැඩිවීමක් සිදුවෙන්නේ නැහැ. මොකද ආණ්ඩුවට, කංචනලාට, මහජන උපයෝගිතා කොමිසමේ තුන්දෙනාට ජනතාව ගැන හිතක් පපුවක් නැතිවුණාට අපිට හිතක් පපුවක් තියෙනවා. මොකද අපි දන්නවා පාරිභෝගිකයා ආපන ශාලාවලට ආවම ආහාර ගන්නේ කොහොමද කියලා.”

සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා

“මේ වෙලාවේ විදුලි බිල වැඩිකරන්න රජය ගත්තු තීරණයට අපේ විරෝධය පානවා. මේකෙන් අපේ ව්‍යාපාර තවත් වළපල්ලට යනවා. අපි ජනතාවගෙන් සමාව ඉල්ලනවා.

අපිට සිද්ධවෙනවා ෆොටෝ කොපියේ ඉඳලා අපේ සෑම සේවාවකම මිල ඉහළ දමන්න. ෆොටෝ කොපියක් ගහන එක රුපියල් 5 කින් ඉහළ දාන්න සිදුවෙනවා. හැඳුනුම්පතක් ෆොටෝ කොපි කරන එකත් රුපියල් 5කින් ඉහළ දමන්න වෙනවා. කලර් ප්‍රින්ට් අවුට් එකක් ගන්න එක රුපියල් 10 කින් වැඩිකරනවා. ඒ වගේම කළු සුදු ප්‍රින්ට් අවුට් එකක් ගන්න එක රුපියල් 5 කින් ඉහළ දානවා. ලැමිනේටින් කරන්න රුපියල් 5 කින් ඉහළ දාන්න වෙනවා. ලිපි ද්‍රව්‍යවලත් මිල ගණන් වැඩියි. පෙර පාසලේ යන දරුවාගේ ඉඳලා විශ්වවිවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් දක්වා දරුවෝ විතරක් නෙවෙයි ඒ දෙමාපියොත් හරිම අපහසුතාවකට පත්වෙනවා.

ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා

“ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ අද වෙනකොට ලක්‍ෂ 6 කට රැකියා අහිමි වෙලා තියෙනවා. ක්‍ෂේත්‍රයේ අපි පාවිච්චි කරන ග්‍රයින්ඩර්, මැෂින් මේවා දුවන්නේ විදුලියෙන්. අපි මේවා පාවිච්චි කරන්න එපා ද? අපි යන්න ඕන ගල් යුගයට ද? අපි විරුද්ධයි මේ විදුලි බිල වැඩිකිරීමට. කරුණාකරලා මේ පවුල් පිටින් වහකාලා මැරෙන එක නවත්වන්න විදුලිබිල අඩුකරන්න.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා

විදුලි බිල වැඩිකිරීම දරාගන්න බැහැ. නමුත් අපි අමාරුවෙන් හෝ ජනතාව ගැන හිතලා පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල වැඩිකරන්නේ නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment