අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අපවත් වෙති

296

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ආදාහන පූජෝත්සවය අනිද්දා අනුරාධපුරයේ

අනුරාධපුරය අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ උතුරු මැද මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙරේදා (18 දා) රාත්‍රියේ අපවත් වූ බව ‘දිවයින’ සංවේගයෙන් යුතුව දැනුම් දෙයි.

අපවත් වනවිට උන්වහන්සේ 69 වැනි වියෙහි පසුවූහ. අසනීප තත්ත්වයක් නිසා දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූහ.

නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා (22දා) අනුරාධපුරයේ දී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට තීරණය කර ඇත.

මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ.

කොළඹ පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත්කොට තිබූ උන්වහන්සේගේ ශ්‍රී දේහය ඊයේ (19) රාත්‍රි අනුරාධපුර බෝමළුව විහාරස්ථානය වෙත රිය පෙරහැරකින් වැඩම කිරීමට නියමිතව තිබිණි.

උන්වහන්සේ බෝමළු පරම්පරාවේ දහවෙනි අටමස්ථානාධිපතින් වහන්සේය. 1953 වර්ෂයේ ජනවාරි මස 02 වැනිදා මාතලේ දිස්ත්‍රික්කයේ වගපනහ පල්ලේසිය පත්තුවේ පල්ලේගම ග්‍රාමයේ උපත ලැබූ උන්වහන්සේ කරුණාසිංහ මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩා නිලමේ තුමාගේත්, දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමිගේත් වැඩිමහල් පුත්‍ර රත්නය වේ. කරුණාසිංහ මුදියන්සේලාගේ ජයතිලක නම් වූ මෙම කුමරුවා කැකිරාව කිතුල්හිටියාව රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.

ජයතිලක කුලකුමරු 1968 වර්ෂයේ මැයි මාසයේ දී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝමළුව විහාරස්ථානයේ දී පැවිදි බිමට ඇතුළත්ව අනතුරුව අනුරාධපුර මහා විහාර පිරිවෙන කොළඹ මාලිගාකන්ද විfiා්දය මහ පිරිවෙන සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙන සහ හුණුපිටිය ගංගාරාමයේ ජිනරතන පිරිවෙනෙන් අධ්‍යාපනය ලැබීය.

ඉන්පසු උන්වහන්සේ 1975 වර්ෂයේ දී මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබූහ.

අනතුරුව 1983 වර්ෂයේ දී උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිiාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් උන්වහන්සේ අධ්‍යාපන කටයුතු නිමාකොට ජය ශ්‍රී මහ බෝමළුව විහාරස්ථානයට වැඩමකොට ටික කලක් එහි වැඩසිටීමෙන් පසුව මිරිසවැටි විහාරස්ථානය සහ අභයගිරි විහාරස්ථානයේ භාරකාරත්වය දැරූහ. ඉන් අනතුරුව උන්වහන්සේ 1995 ජුනි මස 01 වැනිදා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී වශයෙන් වැඩමකරවන ලදහ.

මේ අතරතුර අටමස්ථානාධිපතිව වැඩසිටි පූජ්‍ය පල්ලේගම ඤාණරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු 1997 ජූලි මස 27 වැනි දින පැවැති අනුරාධපුර අටමස්ථාන කාරක සභාවේ ඒකඡන්දයෙන් අටමස්ථානාධිපති වශයෙන් සිරිනිවාස නාහිමියෝ පත්වූහ.

අටමස්ථානාධිපති පදවියට පත්වීමෙන් පසු උන්වහන්සේ ජය ශ්‍රී මහ බෝධිය ඇතුළු අටමස්ථානයේ වර්තමාන සංවර්ධනයේ නියමුවාණන් ලෙස සුවිශාල සේවාවක් ඉටුකළහ.

මේ අතර උන්වහන්සේගෙන් සිදුවූ ආගමික ශාසනික හා සමාජීය වශයෙන් සිදුවූ සේවාව අගයමින් මීට වසර පහළොවකට පමණ පෙර තායිලන්ත රජය මගින් ආචාර්ය උපාධියක් ද පිරිනමනු ලැබිණි.
පර්සි කුරුනේරු, මිහින්තලේ – රංග චතූ, නාච්චදූව – ප්‍රභාත් වනසිංහ, සිරිල් බස්නායක

advertistmentadvertistment
advertistmentadvertistment