ගෝඨාට උසාවි එන්න කියයි – ලලිත් – කූගන් අතුරුදන්වීම:

312

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබන දෙසැම්බර් 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19 දා) පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේය. යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි සමාජ ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යාපනය අධිආරක්‍ෂක කලාපය තුළදීම අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නිකුත් කර තිබූ සිතාසි නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයකට එරෙහිව පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය එම අවසරය ලබා දුන්නේය.

වගඋත්තරකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම මස 19 වැනිදා අධිකරණයට කැඳවමින් නොතිසි යැවීමට, මින් පෙර ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිලිකාර පාර්ශ්වයට අවසර ලබා දී තිබූ නමුත් ඔහු මිරිහානේ නිවසේ පදිංචිය අතහැර යෑමේ පදනම මත අධිකරණය හමුවේ පෙනී නොසිටින බව දැනගන්නට ලැබී ඇති බැවින් මේ වනවිට පදිංචි විජේරාම ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ගොස් සිතාසිය භාරදීමට අවසර ලබාදෙන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා කළ ඉල්ලීම සලකා බැලූ ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන විනිසුරු මඬුල්ල එම අවසරය ලබා දුන්හ.

2019 ජනාධිපතිවරණයට මාස දෙකකට පමණ පෙර යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ගෝඨාභය රාජපක්‍ෂ මහතා සාක්‍ෂිකරුවකු ලෙස නම්කර තිබූ නොතිසි නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය ජනාධිපතිවරණය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කර තිබූ අතර පසුව 2020.11.24 වැනිදා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගය බලරහිත කරමින් ස්ථීර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි. රටේ විධායක ජනාධිපතිවරයා ලෙස ඔහු තේරීපත්වීම පදනම් කරගෙන අභියාචනාධිකරණය නිකුත් කර තිබූ එම නියෝගය අභියෝගයට ලක්කර අගතියට පත් පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට එම අභියාචනා පෙත්සම ගොනු කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment