බ්‍රැන්ඩික්ස් යළිත් ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයුම් ලබයි

142

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස්, මෙරට අපනයන ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනයට ලබාදුන් දායකත්වය වෙනුවෙන් ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සම්මාන උළෙල සංවිධානය කරන ලද අතර, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් සම්මානය බ්‍රැන්ඩික්ස් වෙත පිරිනමන ලදි.

මේ දක්වා මෙම සම්මාන උළෙලේදී සත් වතාවක් ‘වසරේ විශිෂ්ටතම අපයනකරු’ සම්මාන දිනාගැනීමට බ්‍රැන්ඩික්ස් සමත් වී තිබේ. 60,000 කට අධික කාර්ය මණ්ඩලයක සාමූහික ප්‍රයත්නයන් බ්‍රැන්ඩික්ස් වෙත මෙම සාර්ථකත්වය ළඟා කරගැනීමට මහෝපකාරී වී ඇත.

2021/22 කාලසීමාව තුළ අපනයන ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ලබාදුන් දායකත්වය සහ, 2021/22 හා 2022/23 කලසීමාවන්හිදී මහා පරිමාණ ඇඟලුම් අපනයන කාණ්ඩය තුළ ඉටුකරන ලද කේන්ද්‍රීය භූමිකාව වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් මෙලෙස 2023 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. රටේ අපනයන ක්ෂේත්‍රයේ සංවර්ධනයට විශිෂ්ට දායකත්වයක් ලබාදෙමින් ආර්ථික සංවර්ධනයට උරදුන් අපනයනකරුවන්ට ජනාධිපතිතුමන් විසින් සම්මාන පිරිනමනු ලබන මෙම සම්මාන උළෙල, මෙරට අපනයන ක්ෂේත්‍රයේ වඩාත්ම ගෞරවණීය සම්මාන උළෙල ලෙස සැලකේ.

දශක පහකට අධික කාලයක් තිස්සේ මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වූ බ්‍රැන්ඩික්ස් ලොව සුප්‍රකට සන්නාම රැසකට ඇඟලුම් විසඳුම් සපයයි. Net-Zero Carbon තත්ත්වය හිමිකරගත් ලොව ප්‍රථම ඇඟලුම් නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන බ්‍රැන්ඩික්ස් හි කර්මාන්තශාලා 6 කට මේ වනවිට Net-Zero තත්ත්වය හිමි වී තිබේ. 2023 වසර වන විට ලොව පුරා ඇති සිය කර්මාන්තශාලා සියල්ලම Net-Zero බවට පත්කිරීම බ්‍රැන්ඩික්ස් හි අරමුණ වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment