මම කලහකාරයෙක් නෙමෙයි ‘මැණිකේ’ ගිය දුර ගැන සතුටුයි – සතීෂාන් රත්නායක

136

සින්දුවක් කරන්න ආපහු ණයක් ගන්න හදනවා

ඔහු නමින් සතීෂාන් රත්නායක. ‘මැණිකේ’ ගීතය හරහා තමයි ගොඩක් දෙනෙක්ට මොහුව හඳුනගන්න ලැබෙන්නේ. පසුගියදා පැවැති දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් සම්මාන රාත්‍රියේදී වසරේ ජනප්‍රියතම මියුසික් වීඩියෝවට හිමි රන් සම්මානය මෙවර හිමිකර ගත්තේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයයි. ඉතිං සතීෂාන් එක්ක අපි ටිකක් කතාබහ කරන්න සිතුවා.

● යළිත් වරක් ඔබේ ගීතය ජනප්‍රියම ගීතය බවට පත්වෙනවා?

මුලින්ම මම හැමෝටම ස්තූති කරනවා මේ සම්මානය මට ලබාදෙන්න සුදුසුයි කියලා නිර්දේශ කළාට. ඊට අමතරව ‘මැණිකේ’ ගීතයෙන් මට හම්බවෙලා තිබෙන්නේ ඔය සම්මාන දෙක විතරමයි. මට ඒක සල්ලිවලට වැඩිය වටිනවා.

මම කලහකාරයෙක් නෙමෙයි ‘මැණිකේ’ ගිය දුර ගැන සතුටුයි - සතීෂාන් රත්නායක

● මේ වෙලාවේ ඔබට මතක් කරන්න කට්ටියක් ඇති?

විශේෂයෙන් දුලාන් ඒආර් එක්ස් මතක් කරන්න ඕනෑ. මොකද ඔරිජිනල් සින්දුවක් නැත්නම් කවර් වර්ෂන් එකක් හැදෙන්න විදිහක් නැහැ. මේ සම්මානයෙන් කොටසක් දුලාන්ටත් අයිතියි. විවිධ දේවල් හම්බවෙද්දි මිනිස්සු වෙනස් වෙනවා. මම කොච්චර පල්ලෙහාට වැටුණත් මගෙත් එක්ක වෙනස් නොවී හිටියේ අම්මයි තාත්තයි මල්ලියි විතරයි.

මම කලහකාරයෙක් නෙමෙයි ‘මැණිකේ’ ගිය දුර ගැන සතුටුයි - සතීෂාන් රත්නායක

● සම්මානය අතට ගන්න කොට මොකද හිතුණේ?

මට නම් හිතුණේ සමහරවිට මිනිස්සු මාව දන්නේ නැතිව ඇති කියලා. අනෙක් එක ගොඩක් සතුටු හිතුණා. මොකද අනුරාධපුරයේ ඉඳලා බයිසිකලයක කට්ටක් කාගෙන ඇවිල්ල බැංකු ණයක් දාලා මගේ ආසාවට කරපු සින්දුව මෙච්චර දුරක් ගියාට ඇත්තටම සතුටුයි. ඒත් එක්කම මේ වැඩේ හිටපු දුලාන් ඒආර් එක්ස්, චමත් සංගීත්, හසිත විතානගේ, පසිඳු කෞෂල්‍ය, විරාජ් යොහාන්වත් මතක් කරන්න ඕනෑ.

● මේ සම්මාන රාත්‍රියේදී යොහානි මොනවද කිව්වේ?

ඇත්තටම එයා විශේෂ දෙයක් කිව්වේ නැහැ. ඒක එයාට අලුත් දෙයක් වෙන්න ඇති. මට තමයි ඒක ආධුනික දෙයක් වුණේ.

● සම්මාන රාත්‍රියට යනකොට හිතුවද ඔබට සම්මානයක් ලැබේවි කියලා?

නැහැ. ඇත්තටම මට සතුටුයි. මීට කලින් ‘මැණිකේ’ ගීතයට සම්මාන හම්බවෙලා තියෙනවා. ඉතිං ඒ සම්මාන හම්බවෙනකොට ඒ සම්මාන උළෙලවලට මමයි, දුලාන් ඒආර් එක්ස් ගියේ ටිකට් අරගෙන. ඒ ගිහිල්ලා අනෙක් අයට සම්මාන හම්බවෙනවා බලලා සතුටු වුණා. මේ සම්මාන උළෙලේදී මට සම්මානයක් හම්බ වුණත් නැතත් මාව නිර්දේශවෙලා කියලා ආරාධනා පත්‍රයක් ලැබීම ම මට ඇති.

● මේ දවස්වල මොනවද කරන්නේ?

මේ දවස්වල තවත් බැංකු ණයක් ඉල්ලුම් කරමින් යනවා. ඒක හම්බවුණොත් මේ වගේ තව හොඳ සින්දු ටිකක් දාන්න බලාපොරොත්තු වෙනවා.

● ප්‍රසංගවලට ලැබෙන ආරාධනා එහෙම?

මේ දවස්වල නම් ටිකක් අඩු වුණා. මම හිතනවා ඊළඟ ගීතයෙන් පස්සේ නැවත වැඩි වේවි කියලා. යම්තාක් දුරට මමත් ප්‍රසංග වේදිකාවේ හිටියා, විදෙස් ප්‍රසංගවලටත් සහභාගි වුණා.

● ‘මැණිකේ’ ගීතයෙන් පසුව කරපු ගීතවලට මොකද වුණේ?

‘ඔමරි’ කියලා ගීතයක් කළා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. මෙච්චර කල් මට යූටියුබ් එකක් තිබුණේ නෑ. මගේ අලුත්ම යූටියුබ් එකක් පටන් ගත්තා ‘ඔමරි’ කියන ගීතය හරහා. මෙතැනින් එහාට මම නිර්මාණය කරන ගීත මගේම යූටියුබ් නාලිකාවකින් තමයි එළිදක්වන්න හිතාගෙන ඉන්නෙ.

● ගෙදර කට්ටිය මොනවද කියන්නේ?

තවම අම්මයි තාත්තයි දන්නේ නැහැ මට සම්මානයක් හම්බවෙලා කියලා. දැනගත්තහම සතුටු වෙයි. කලින් වතාවලදී ඒ ගොල්ලො හිතින් දුක්වෙන්න ඇති. නමුත් මේ පාර සතුටු හිතේවි.

● දැන් රැකියාවෙන් ඉවත්වෙලාද?

රැකියාවෙන් ඉවත්වෙලා නැහැ. නමුත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා රැකියාවට සමුදීලා සංගීත ක්‍ෂේත්‍රයට එන්න.

● ක්‍ෂේත්‍රයේ අයගෙන් ලැබෙන සහයෝගය?

විවිධාකාර මිනිස්සු ඉන්නවා. ඇත්තටම ගොඩක් ඉන්නේ හොඳ කට්ටිය. ඒ අතරේ නරක ගතිගුණ තිබෙන කොටසකුත් ඉන්නවා. මම හිතනවා ගොඩක් හොඳ කට්ටියගෙන් මට සහයෝගය ලැබෙනවා කියලා.

● ඔබේ ගීතයක් ජාත්‍යන්තරයට යෑම පිළිබඳව මොකද හිතන්නේ?

ඇත්තටම මට ඒ ගැන සතුටුයි. කුහකකමක් හිතේ තියාගෙන නෙමෙයි ගීතය එළියට යනකොට මම සතුටු වුණේ. ඉතිං ඒ සතුට අදත් ඒ විදිහටම තිබෙනවා. මේ වගේ ඇගයීමක් ලැබෙනකොට ඒ සතුට දෙගුණ තෙගුණ වෙනවා.

● යොහානිට මේ ගීතය ගායනා කරන්න අවසර දීම ගැන මොකද හිතෙන්නේ?

මට අදටත් සතුටුයි ඒ ගීතය මෙච්චර දුරක් යෑම පිළිබඳව. ඒක මගේ නමින් නොගිය එක වෙනම කතාවක්. ඒ ගැන මම දුක්වෙන්නේ නෑ. මොකද මම කළේ නිර්මාණයක්. මම කලාකරුවෙක්. මම කලහකාරයෙක් නෙමෙයි. අනික කලාව ව්‍යාපාරයක් කරගෙන ගියොත් නම් මට සතුටු වෙන්න බෑ. නමුත් ‘මැණිකේ’ සින්දුව කරද්දි මම කලාකරුවෙක් ඒ ගැන සතුටුයි.

● මැණිකේට ගත්තු බැංකු ණයට දැන් මොකද වෙලා තියෙන්නේ?

තවම රුපියල් 11,000 ගාණේ ගෙවනවා. තව අවුරුදු දෙකක් තියෙනවා ඒ ණය ගෙවන්න. ඔය අතරේ තවත් ණයක් ගන්න වෙනවා අලුත් සින්දුවක් කරන්න.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment