වැඩ කරන ජනතාව පොඩිපට්ටම් වන ලෙස කම්කරු නීති වෙනස් කරන්න හදනවා- දුමින්ද නාගමුව

126

ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය වෙනස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව හා කම්කරු අමාත්‍යාංශය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවත් ඔවුන් ගෙනෙන යෝජනා මගින් සිදුවන්නේ කම්කරු අයිතිවාසිකම් පොඩිපට්ටම් වීම බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (26දා) පැවසීය.

එහිදී පැය අටේ වැඩ දිනය අහෝසි කිරීමට ද යෝජනා වී ඇති බවත් කී නාගමුව මහතා ඒ අනුව පැය අට වෙනුවට තවත් වැඩි පැය ගණනක් වැඩ කිරීමට යෝජනා කර ඇති බවද කීවේය. ඔහු මෙසේද පැවසීය.

දැනට ක්‍රියාත්මක සේවය හැර යාමේ පනතට අනුව සේවකයකු ඉවත් කළ හැක්කේ විනය විරෝධී ක්‍රියාවක දී පමණයි. සේවකයාගේ කාර්යක්ෂමතාව, පලදායිතාව ආදී කරුණකදී ඉවත් කරනවා නම් කම්කරු කොමසාරිස්ගේ එකඟතාවයක් ගත යුතුයි. එහිදී වන්දියක් ගෙවන්න වෙනවා. දැනට නම් ලක්ෂ 25ක් පමණ වන්දියක් ගෙවිය යුතුයි. දැන් හදන්නේ මෙය වෙනස් කර සේවකයන් ඕනෑම මොහොතක රැකියාවෙන් ඉවත් කිරීමට හැකිවන ලෙස කම්කරු නීති වෙනස් කරන්නයි. දැනට පවතින නීතිය අනුව කාන්තාවන් රාත්‍රී කාලයේ දී සේවයේ යොදවනවා නම් කම්කරු කොමසාරිස්වරයාගේ එකඟතාවය ගත යුතුයි. එවිට ප්‍රවාහන පහසුකම් ලබා දීම, කාන්තා සුපවයිසර්වරියන් යටතේ එම කාන්තාවන් සේවයේ යෙදවීම ආදී කොන්දේසි පනවනවා. දැන් හදන්නේ කම්කරු කොමසාරිස්ගෙන් අවසරය ගත යුතුයි කියන කොන්දේසිය ඉවත් කරන්න. ඒ වාගේම වැටුප් වැඩි කිරීමේදී හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර ඇති සාමූහික ගිවිසුම් ඉවත් කරන්නත් යෝජනා කර තිබෙනවා. මේක බරපතළ තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට නාමිකව නම් වෘත්තීය සමිති ගෙනල්ල අදහස් අහනවා. ඒ කරන්නේ බොරුවට. මේ ගැන වහාම අවධානයෙන් ඉන්න කියලා අපි ජනතාවට අවධාරණය කරනවා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment