දරුවන් වෙනුවෙන් සචින් සහ මුරලිත් අද වන්කඩේ එති

446

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල (යුනිසෙෆ්) එක්ව ලොව පුරා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ඇති කරන අලුත්ම අරමුදල ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන අද (02 වැනිදා) තරගයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ලොව පුරා බිලියනයක දරුවන් ඉලක්ක කොට මෙම තීරණය ගෙන ඇති අතර යුනිසෙෆ් විසින් සිදුකරගෙන යනු ලබන ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ යන ව්‍යාපෘතිය සැමරීම සඳහා අද දිනය ඒ අනුව යොදා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.

ලොව පුරා ජීවත්වන සියලු දරුවන්ට සමානව සැලකීම සංකේතවත් කොට තරගය නැරඹීමට පැමිණෙන සියලු ප්‍රේක්ෂකයන්ට නිල් පැහැති අලංකාර එල් ඊ ඩී අත් පලඳනාවක් ලබාදී දෙවැනි ඉනිම අතරතුර එම අත්පලඳනාව දල්වා ක්‍රීඩාංගණය පුරා නිල් පැහැති ආලෝක සංදර්ශනයක් පැවැත්වීමටත් විධිවිධාන යොදා ඇත.

සෑම දරුවකුටම වඩාත් හොඳ ලෝකයක් ගොඩනැංවීම අරමුණු කොට පැවැත්වෙන මෙම වැඩපිළිවෙළ අයිසීසී නිල විකාශන අයිතිය හිමි ස්ටාර් ස්පෝර්ට්ස් නාළිකාව මඟින් ලොව පුරා විකාශනය කෙරෙන අතරතුරදී ලොව පුරා විවිධ ව්‍යාපාරික ප්‍රජාවට පරිත්‍යාග ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

මේ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ සහ අන්තර්ජාතික ක්‍රිකට් තානාපතිවරු ලෙස පත්කොට ඇති සචින් ටෙන්ඩුල්කාර් සහ මුත්තයියා මුරලිදරන් අද මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා සහ ඉන්දියා ක්‍රීඩකයින් සමග ව්‍යාපෘතියට එකතු වනු ඇත.

එම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ යුනිසෙෆ් කලාපීය තානාපති සචින් ටෙන්ඩුල්කාර් “ක්‍රීඩාවට වඩා උතුම් කාර්යයකට සේවය කිරීමට මට ලැබුණු වරප්‍රසාදයක් සේ මෙය හඳුන්වා දෙනවා. මම වගේම සෑම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම ළමා කාලය පටන් ගත්තේ සිහිනයකින්. අපි ලොව පුරා සිටින ළමුන් සඳහා සමානාත්මතාවය දිනා ගන්නා විටදී වන්කඩේ ක්‍රීඩාංගණයම නිල් පැහැයට හැරෙනු දැකීම සතුටට කරුණක්” යැයි පැවසීය.

අයිසීසී තානාපති මුත්තයියා මුරලිදරන් – “ක්‍රිකට් ලෝක කුසලානයේදී ළමයින් වෙනුවෙන් ව්‍යාපෘතියකට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ආඩම්බර වෙනවා. ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගයක් ඇති දා වන්කඩේ ක්‍රීඩාංගණය නිල් පැහැයට හැරවීම සඳහා මගේ දිගුකාලීන මිතුරෙකු වන සචින් ටෙන්ඩුල්කාර් සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. දරුවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට ක්‍රීඩාව හරහා සම්බන්ධ වන ලොව පුරා සිටින සෑම කෙනෙකුටම මගේ ස්තූතිය හිමි වෙනවා” යැයි කියා සිටියේය.
කුෂාන් සුබසිංහ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment