ඖෂධ 150ක් නැහැ – අවුරුද්දක් තිස්සේ කිව්වත් වැඩක් නෑ – GMOA මාධ්‍ය ප්‍රකාශක

78

රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය මෙතෙක් යොමුනොවීම බරපතළ ගැටලුවක් බවත්, මේ හේතුවෙන් රෝගී ජීවිත අවදානමේ පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චම්ලි විජේසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ (12 වැනිදා) පැවසීය.

මෙම තත්ත්වය හමුවේ කොළඹ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා සමස්ත රෝහල් පද්ධතියේම සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යෑමේ විශාල ගැටලුවකට රෝහල් බලධාරීන් මුහුණ පා ඇතැයි ද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මෙසේද කියා සිටියේය.

“රෝගී ප්‍රතිකාර සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 150 ක හිඟය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට අවුරුද්දක ඉඳලා කීප සැරයක්ම කිව්වා. නමුත් මේ වෙනකම් ඒ පිළිබඳව බලධාරීන් අවධානය යොමුකරලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ගබඩාවල සහ ප්‍රාදේශීය ඖෂධ ගබඩාවල මාස තුනකට සෑහෙන්න තොග තියෙන්න ඕනෑ. නමුත් මේ වෙනකොට ඖෂධ වර්ග කීපයක් පමණයි ඉතිරිවෙලා තියෙන්නේ.

මේ වෙනකොට දියවැඩියා රෝගීන්ට දෙන ඉන්සියුලින් වර්ග, හෘද රෝගීන්ට දෙන ඇස්ප්‍රීන් වර්ග, මෙට්ෆොමීන්, කුඩා දරුවන්ට දෙන සිරප් වර්ග, මූලික ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක, නිර්වින්දන ඖෂධ, පිළිකා ඖෂධ වර්ග සහ වකුගඩු රෝගීන්ට දෙන ඖෂධ වර්ගවල දැඩි හිඟයක් තියෙනවා.

මේ තත්ත්වය තුළ හදිසි ප්‍රතිකාර ක්‍රම කවදා වෙනකම් කරන්න පුළුවන් වෙයිද සැකයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment