සම්මාන කියන්නෙත් මාර්කටින් ටූල් එකක් – සුරත් ද මැල්

180

සුරත් ද මැල් විසින් රචිත සිව්වැනි නවකතාව ‘ළමුතු අමයා’ නුගේගොඩ සරසවි ප්‍රකාශනයක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වී ඇත. වෙනස්ම ආරක් ගත් නවකතාවක් ලෙස පාඨක විචාරක අවධානයට ලක්වෙමින් පවතින “ළමුතු අමයා” නවකතාව පිළිබඳව සුරත් ද මැල් සමග සිදුකළ කතාබහක් පහත පළවේ.

ඹබේ නවතම කෘතිය “ළමුතු අමයා” අන්තර්ගතය පිළිබඳව කතා කරන එක විචාරක පර්ශදයන්ට පවරල? ඇයි ඒ?

පොතක් ලියන්න ඉස්සෙල්ලා ඔය විචාර වගේ හෑලි ලියන යාළුවො හත් අට දෙනෙක් හදා ගන්න ඕන. ඊට පස්සේ මොන මළජරාවක් ලිව්වත් යාළු විචාරකයෝ වැඩේ ඇදන් යනවා.

ඔබට විචාරක මිතුරන් නෑ කියලද ඔය කියන්නේ?

අපෝ නෑ. ඉන්නවා. ඉන්නවා. වෙනස මම මළජරාව ලියන්නේ නෑ.

කෘතිය ආරම්භයේ දී ඔබ සඳහන් කරනවා අහස් හෙවත් “ළමුතු අමයා” ගේ පුංචි ලෝකය වැඩිහිටියන්ට දැනගැනීම පිණිස මෙම කෘතිය රචනා කළ බව. අහස් වැනි දරුවකු තුළින් වැඩිහිටියන් දැනුවත් කරන්න තීරණය කළේ ඇයි.

ඔබ ඔය ගෙනහැර පාන්නෙත් නවකතාවෙම කොටසක්. මේක කාවවත් සෘජුව දැනුවත් කරන්න ලියපු අත්පොතක් නෙමෙයි. නවකතාවක්.

නමුත්… එය ළමා සාහිත්‍යය නියෝජනය කරන කෘතියක්.

‘ළමුතු අමයා’ ළමා සාහිත්‍ය නියෝජනය කරනවා කියා ඔබ කිව්වොත් මට කියන්න තියෙන්නේ, ඔබ පොත කියවලා නෑ කියලා. ඔබ වැනි මාධ්‍යවේදියෙක් පොත නොකියවා කර්තෘව ඉන්ටර්වීව් කිරීම හොඳ මදි නේ?

යොවුන් වියේ සිතුම් පැතුම් තේමා කරගනිමින් ජනප්‍රිය නවකතා තුනක් රචනා කළ ඉන්ද්‍රජාලික කතාකරු ඇයි එකවරම වෙනත් මගක් ගන්න තීරණය කළේ?

හාපෝ ඉන්ද්‍රජාලික නෙමෙයි මම. මහ ජංජාලයක පැටලුණු කෙනෙක් මම. ඒ අවුල නූලෙන් නූල බුරුල් කරගෙන පණ බේරගන්න කරන උත්සාහයක් තමයි ලිවීම කියන්නෙ මට. මේ මා වටා ඇති රැහැන් විටින් විට ප්‍රේමය, දේශපාලනය, කාන්තාව සහ ළමයි විදියට විවිධ ස්වරූපයෙන්, මාව වෙලාගෙන තලනව. ඒ රැහැන් තමයි මම අදින්නේ.

එහෙම නම් ඒක ඔබේ ප්‍රශ්නයක්. ඇයි පාඨකයා ඒව කියවන්න කරදර වෙන්න ඕනේ?

මෙහෙමනේ. මම මගේ ප්‍රශ්න පාඨකයගේ ප්‍රශ්න බවට පත් කරනවනේ. ඊළඟට ඒක ඔබේ ප්‍රශ්නයක් වෙනවා. එවිට ප්‍රශ්නය පොදු වෙනවා.

සුරත් ද මැල් මෑතකදී ජනප්‍රිය වූ නවකතාකරුවෙක්. මේ නවකතාව හරහා තේරුම් යන එක දෙයක් තමයි ඒ ජනප්‍රිය මාවතේ ඔබ කෙටි දුර ධාවන ශූරයෙක් වෙන්න උත්සාහ දරන බව. ඒ මතය ඔබ ප්‍රතික්ෂේප කරනවාද.

මම ඕකට කියන්නේ නිහාල් නෙල්සන් න්‍යාය කියලා. අසූ ගණන් ඉවරවෙන්නත් කලින් එයා කැසට් සීයක් කළානේ. ඒවයෙන් සිංදු කීයක් ඉතිරි වුණාද? මම ඒ තියරිය ෆලෝ කරන්නේ නෑ.

එසේනම් ලිවීම තුළ ඔබ වේගවත් වන්නේ කුමන කාරණාවක් මත ද.

මම ලියන්න ගන්නේ හතලිස් ගණන් මැදදිනේ. තාම ඇරියස් කවර් කරනවා.

ඔබ වඩාත් තෘප්තිමත් වන්නේ ඔබේ නිර්මාණ පිළිබඳවද? එසේත් නැත්නම් අලෙවි වන පිටපත් සංඛ්‍යාවෙන්ද?

තෘප්තිමත් නම් වෙන්න බෑ ඔය එකකින්වත්. අවශ්‍යදේ අවශ්‍ය ආකාරයට ලියා ගන්න හැකිද කියන සටනෙ මම ඉන්නේ.

පාඨක ප්‍රතිචාර පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

ලියන්නෙ කියවන්න නිසා වැඩිදෙනෙක් කියවීම හොඳයි. ඒත් මුරුංගා අත්තෙ මුදුනට නගිනවට වැඩිය බිම ඉන්න මම කැමතියි.

නවකතා මාර්කට් කිරීම ගැන විශාල කතා බහක් යනවා. ඔබට මාර්කටින් ගැන ඇති අදහස?

අතීශය සම්භාව්‍යයි කියලා ප්‍රදර්ශනය කරන චිත්‍රපටයක් මාර්කට් කරන්න මිලියන කීයක් වැය කරනවද? පොත් ඇඩ්වර්ටයිස් කිරීමේ කිසිම වැරැද්දක් නෑ.

පෙර ගත්කතුවරු ඕවා කළේ නෑනේ?

ඇයි නැත්තේ සරච්චන්ද්‍ර ‘සිංහල නවකතා සාහිත්‍ය ඉතිහාසය සහ විචාරය’ කියලා පොතක්ම ලියලා මාර්ටින් වික්‍රමසිංහව මාර්කට් කළා. බලන්න අන්තිමට මාර්ටින්ට වුණුදේ? එයා මහා ගත්කරු වෙලා නොනැවතී කොග්ගල මහා ප්‍රාඥයත් වුණා. මාකටින් මාර්ටින්ට කළ විනාශයක් නේද?

ඊළඟට වික්‍රමසිංහ සරච්චන්ද්‍ර එක්ක තරහ වුණාම සරා ගොය්යා හරි මිනිහා කියලා ලියනවා ‘සිංහල නවකතාවට ජපන් කාම කතාවේ හෙවනැල්ල’. ඉතිං නෙගටිව් මාකටින් නිසා සරච්චන්ද්‍ර වැටුණද? මළගිය ඇත්තෝ තාම පණපිටින්.

ඒවා සාහිත්‍ය පෝෂණය කළා නේද? දැන් කරන්නේ සෝෂල් මීඩියා මාකර්ටින් ඊට සමානද?

අරවත් සාහිත්‍යයේ ප්‍රගමනයටම කළ ඒවා නෙමෙයි. පර්සනල් ඇජෙන්ඩා. ප්‍රමෝෂනල් මීඩියම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒත් සාහිත්‍ය පවතිනවා.

එතකොට ඔබට අනුව ඕනම විදියක මාර්කටින් එකක් කළාට කමක් නැද්ද?

ලංකාවේ පොත් සම්බන්ධ මාර්කටින් විවිධාකාරයි. ඒවා රෙදි ඉල්ලේ මාකටින්, අපි නොදන්න මාකටින්, අපි ඕවට නෑ මාකටින්, දෙකයි පනහෙ මාකටින්, ගරිල්ලා මාකටින් ආදී විවිධ නම්වලින් හැඳින්වෙනවා. සමහර දේශපාලන පක්ෂ පවා තමන්ගේ ක්‍රියාකාරීන්ව මාර්කට් කරනවා. එතකොට හැමෝම දෙකට නැමීගෙන යන සම්මාන කියන්නෙත් මාකර්ටින් ටූල් එකක්ම තමයි. මේ මොන මාකටින් කළත් මට නම් කමක් නෑ. තමන් කරන මාකර්ටින් එකේ මට්ටමින් තමන්ගෙ මට්ටම තීරණය වෙනවා එච්චරයි.

ඔබ මොනවද අවසන් නවකතාවට කළ මාකටින්?

අපි එෆ්බී ඇඩ් පබ්ලිෂ් කළා. ඒකක් ලක්ෂ ගණනකට රීච් කළා. ලයික් විසි පන්දාහක් ආවා. ඩොලර් දෙසීය පනහක් වැය වුණා. ඇයි ප්‍රශ්නයක්ද? හැබැයි ෆේක් එකවුන්ට්වලින් ගිහින් කරන ‘අනේ අහවල් පොත හරීම ලස්සනානානායි ද?’ වගේ රෙදි ඉල්ලෙ මාර්කටින්වලට මම කැමති නෑ.

එතකොට මේ ලේඛකයොයි මාර්කටිනුයි අතර තියෙන ප්‍රශ්නෙ මොකක්ද ඔබට වැටහෙන විදිහට?

හැම ලේඛකයම කැමතියි තමන්ගෙ පොත අලෙවි වෙනවට. ඒත් ලංකාව කියන්නේ ඉතාම කුඩා වෙළඳපොළක් නේ. එතකොට එක් අයෙක්ගේ පරිධිය වැඩි වෙන කොට අනෙකාගෙ අඩු වෙනවා. දැන් අලුත් පරම්පරාව ලිවිල්ලට වැඩිය මාර්කටින් එකට මහන්සි වෙනවා. මෙච්චර කාලයක් ලිවිල්ලෙන් විතරක් පණ ගැට ගහ ගත්ත අය අසරණ වෙනවා. මේ අයගෙ තියෙන ආදි කල්පික අදහස් නිසා ප්‍රවර්ධනය කරන එක මදිකමක් වෙනවා. වෙළෙඳපොළට විකුණන්න දාන වෙළෙඳ භාණ්ඩයක් නම් ඉතිං ධනවාදී තියරි සරණං තමයි. සෝෂල් මීඩියා මාකර්ටින් කියන්නෙත් ධනවාදයේ ටූල්ස්ම තමයි. මෙයාලට විකිණෙන්නත් ඕන. ඉබේ විකිණෙන තරම් දෙයක් කර ගන්නත් බෑ. සම්භාව්‍ය වෙන්නත් ඕන. නැත්තන් සමාජවාදියෝ වගේ පෙනී ඉන්නත් ඕන. ඔය ඔක්කොම එකපාරට කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ.

ඔබ කිව්වා වගේ පොත අලෙවි භාණ්ඩයක් වුණාම සාහිත්‍ය ඉතිරි වෙයිද?

මාර්කට් කරන්නෙ පොත මිසක් සාහිත්‍ය නෙමෙයිනේ. පොත් කියන්නේ සාහිත්‍ය නෙමෙයිනේ කොහොමත්. ඒක ඕන අටමගලක් වෙන්න පුළුවන්. ඔහොම මාර්කට් කරලා විකුණන පොත්වල වැරදිලා හරි සාහිත්‍ය තිබුණොත් ඒක ඉතුරු වේවි. එස්කිමෝවරුන්ට ශිතකරණයක් විකිණීම තමයි මාර්කටින් කියන්නෙ කියලා කතාවට කියන්නේ?

රුවන්

advertistmentadvertistment
advertistmentadvertistment