ඔබේ නිවසටත් ශ්‍රියාකාන්තාව කැන්දවා ගන්න

666

ඕනෑම පුද්ගලයකුට ආහාර, ඇඳුම් පැලඳුම් මෙන්ම නිවාසද ජීවත්වීමට අවශ්‍ය මූලික අංග වේ. පුද්ගලයකුගේ මූලික අවශ්‍යතාවල ප්‍රධාන අංගයක් වන නිවාස හා ගෙවත්ත පිරිසිදුව අලංකාරව තබාගත යුතුමය. පිරිසිදුව ලස්සනට තිබෙන නිවසකට ශ්‍රියාකාන්තාවගේ බැල්ම නොඅඩුව ලැබෙනු ඇත. එහිදී එම නිවැසියන් දියුණු වීම, ආර්ථිකව ශක්තිමත්වීම, ලෙඩ රෝග ආදියෙන් මිදී නිරෝගී සම්පන්න වීම ආදිය දැකිය හැක. එසේම නිවැසියන් අතර අන්‍යොන්‍ය බැඳීම්ද වර්ධනය වනු ඇත.

එමෙන්ම ඉතා අපිරිසිදුව, පිළිවෙළකින් තොරව පවත්වාගෙන යනු ලබන ගෙවතු හා නිවාසවල වෙසෙන නිවැසියන් අතර නිතර අඬදබර, ආර්ථික අපහසුතා, ලෙඩ දුක් නොයෙකුත් චිත්ත පීඩා ආදිය බහුලව දැකිය හැක. ඒ එම නිවාසවලට මූදේවිය බැල්ම හෙළන බැවිනි.

අප වැඩි වෙලාවක් ජීවත්වන ස්ථානය නිවස වේ. එම ස්ථානයට ශ්‍රීදේවිය වඩින ආකාරයට අප ජීවත් විය යුතුයි. ඒ සඳහා ගේ දොර පිරිසිදුතාවය මෙන්ම අප අතින් සිදුකළ යුතු වත්පිළිවෙත් ගණනාවක්ද ඇත. එමෙන්ම අප කරන ඇතැම් ක්‍රියා නිසා මූදේවියගේ බැල්ම වැටෙන අවස්ථා ඇත. නිවසට සෙත් ශාන්ති කර  ගන්නේත්, කොඩිවින කරගන්නෙත් එම නිවසෙහි වෙසෙන නිවැසියන් යැයි කිවහොත් නිවැරදිය.

නිවසක් තුළ නොකළ යුතු දෑ මෙන්ම කළයුතු දෑ පිළිබඳවද විමසා බලමු.

නිවසේ ඇති සියලුම ජනෙල් විවෘත කර වාතාශ්‍රය නිවස තුළට ඒමට සැලැස්විය යුතුයි. දහවලට ජනෙල් වසා තැබීම කිසිවිට නොකළ යුතුයි. නිවසේ ඇති ගෘහ භාණ්ඩවල මෙන් වහලේ ඇති මකුළු දැල්, දූවිලි ආදිය ඉවත්කර දිනපතා පිරිසිදු කළ යුතුයි. මකුළු දැල්, දූවිලි හා අපිරිසිදු ස්ථානවලට ආශා කරන්නේ ප්‍රේත කොට්ඨාශයන්ය. එබැවින් මෙවැනි නිවෙස්වල ශ්‍රීදේවිය පලාගොස් මූ දේවිය බැල්ම හෙළනු ඇත. නිවස තුළ කිලිටි රෙදි ගොඩගසා තිබීම, නිවස තුළ රෙදි වේළීමට වැල් බැඳීම ආදිය කිසිවිට නොකළ යුතුයි. එමෙන්ම දිවාකාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීද නිවස තුළ අඳුරුව පැවතීමට ඉඩ නොතිබිය යුතුයි. නිවස තුළ පරණ බඩු මෙන්ම භාවිතයට නොගන්නා බඩු ආදිය තැබීම නොකළ යුතුයි. ඒවා ඇත්නම් දිලිඳු අයෙකුට දී හෝ පුලුස්සා දැමිය යුතුයි. නිවසට ඇතුළු වන දොරකඩ හෝ නිවස තුළ තැනින් තැන පාවහන්, කොසු, ඉදල් ආදිය තැබීම නොකළ යුතුයි. නිදන කාමරයේ ඇති ඇඳන් එකට යාකර නොතිබිය යුතුයි. නිවසේ ප්‍රධාන දොරෙන් හෝ ජනෙල්වලින් කෙළ නොගැසීම කළ යුතුයි. සරම කැහැපට ගසා ප්‍රධාන දොරෙන් ඇතුළුවීම මෙන්ම නිවස තුළ තොප්පි, කුඩ ආදිය භාවිතා නොකළ යුතුයි. නිවස අතුගා එකතු වන කුණු රොඩු නිවසේ ප්‍රධාන දොරින් ඉවතට ලෑම සිදුනොකළ යුතුයි. පිරිසිදු පතුල් රහිතව නිවස තුළට ඇතුළුවීම නොකළ යුතුයි. නිවස තුළට පිවිසීමට පෙර පාද සෝදා පැමිණීමට වග බලාගන්න. ප්‍රධාන දොර ළඟ ආහාර අනුභව කිරීම නොකළ යුතුයි. නිවසේ ප්‍රධාන උළුවස්සෙන් අවි ආයුධ, හිස් භාජන, මත්ද්‍රව්‍ය, කෘමි නාශක, පෙට්‍රල්, භූමිතෙල් ආදිය ගෙට නොගැනීම කළ යුතුයි. මුළුතැන්ගෙයි වැල් ඇදීම නොකළ යුතුයි. පොල් ගෙඩිය ලෙලි ගැසූ පසු මුඩ්ඩ කඩා ගෙට ගැනීම නොකළ යුතුයි. නිවසේ එළිපැත්ත උඩ පොල් තැබීමද නොකළ යුතුයි. තැඹිලි වලු නිවස තුළට ගැනීමේදී නැටි කපා ගැනීම සිදුකළ යුතුයි. හිස් මිරිස්ගල ඇඹරීම කිසිවිට නොකළ යුතුයි. එමෙන්ම හිස් කුල්ල පෙලීමද නොකළ යුතුයි. බාල්ක, කුරුපා හරි කෙළින් ගෘහ භාණ්ඩ තැන්පත් කිරීම නොකළ යුතුයි. ලුණු පොල්කට්ට හිස් නොවීමට ගෘහනිය වගබලා ගතයුතුයි. එමෙන්ම ලුණු පොල්කට්ට ලුණු දමා ශබ්ද නගා කලවම් කිරීම නොකළ යුතුයි. ලුණු පොල් කටුවෙන් ලුණු රැගෙන අන් අයට දීම නොකළ යුතුයි. ගේට්ටුව, ජනෙල්, දොරවල් ආදිය ඇරීමේදී ශබ්ද නැගීම නොවිය යුතුයි. ලිපේ අලු අස් නොකර දිගටම තැබීම නොකළ යුතුයි. ලිප් ගල් මත කුප්පි ලාම්පු නොතැබීම කළ යුතුයි. මුහුණ බලන කන්නාඩිය මුළුතැන්ගෙයි නොතිබීමට, උළුවහු යටට වී ඔළුව පිරීම, උකුණන් ඇදීම හා ආහාර  ගැනීම නොකළ යුතුයි.

හිරමනය උඩ වාඩිවී ආහාර ගැනීම නොකළ යුතුයි. හිරමන තලයේ ඇති පොල් ගෙන කෑම නොකළ යුතුයි. නිවසින් පිට ඇති බුදුමැදුරේ ආලෝකය ප්‍රධාන දොරින් නිවස තුළට වැටීම නොවිය යුතුයි. වංගෙඩිය උඩ වාඩිවී ආහාර ගැනීම නොකළ යුතුයි. වංගෙඩිය උඩ පිහියා, හැඳි, ලුණු පොල්කටුව ආදිය නොතැබීම කළයුතුයි. තරහින් මිරිස් ඇඹරීමද නොකළ යුතු දෙයකි. කෑම කා පිඟානට අත සේදීම මෙන්ම පිඟානෙන් වතුර බීමද නොකළ යුතුයි.

ඉහත සඳහන් කළේ නිවස තුළ වෙසෙන නිවැසියන් නොකළ යුතු දේ පිළිබඳවයි. මෙවැනි අශුභ දේ නොකිරීම තුළින් එම නිවසට හා එම නිවසේ වෙසෙන නිවැසියන්ට බොහෝ සුභ ඵල වාසි අත්වනු ඇත.

මීළඟට ගෙවත්තේ නොතිබිය යුතු හා ගෙවත්ත මුල් කරගෙන නොකළ යුතු දෑ පිළිබඳව ද දැනුවත් වීම ජීවිතේ සෞභාග්‍ය උදාකර ගැනීමට උපකාරී වනු ඇත.

ගෙවත්තට නිතර සූර්යාලෝකය වැටීමට සැලැස්වීම, ගෙවත්තේ ඇති අඳුරු ස්ථාන වලට සූර්යාලෝකය වැටීමට සැලැස්වීම, ගෙවත්තේ නොයෙකුත් අලංකාර මල් වවා දර්ශනීයව පවත්වා ගැනීම, කටු සහිත හා කිරි සහිත ගස් වර්ග නිවස ඉදිරිපිට වැවීම නොකළ යුතුයි. ගෙවත්ත වල් වැදීමට නොදිය යුතුයි. ගෙවත්තේ ඇති වතුර කරාමවලින් වතුර කාන්දු වීමට ඉඩ නොතැබිය යුතුයි. වැසි ජලය ඊසාන දිශාවට හෝ උතුරට ගලායෑම වැළැක්විය යුතුයි. සතුන්ගේ කූඩු ගෙවත්තේ තැබීමේදී එය නිවස ඉදිරිපිට නොතැබිය යුතුයි. සෝදන ජලය හා නාන ජලය ගෙවත්තේ සෑම තැනම නොයෑමට වගබලා ගත යුතුයි. ළිං පඩිය නිතර පිරිසිදුව තබාගත යුතුයි. ළිං පඩියට කෙළ ගැසීම සොටු සීරීම නොකළ යුතුයි. නිවසේ එකතු වන කුණු අපද්‍රව්‍ය ගෙවත්තේ නොදමා පුලුස්සා දැමිය යුතුයි. නොඑසේනම් වළ දැමීම කළ යුතුයි.

අප එතරම් නොසිතා නිවස තුළ මෙන්ම ගෙවත්ත තුළද සිදුකරන අකටයුතු දේ නොකිරීම තුළින් අපට දියුණුව, නිරෝගීබව, ප්‍රසංසාව, සාමය, සතුට, මිතුරන්ගේ උදව් උපකාර, දේව බැල්ම ආදිය නොඅඩුව ලැබෙන අතර චිත්තප්‍රීතියද වැඩිවනු ඇත. එවිට අපගේ නිවසට ඇල්ම බැල්ම හෙළන මූදේවිය පලා ගොස් ශ්‍රියාකාන්තාව වඩිනු ඇත.

ඔබේ නිවසටත් ශ්‍රියාකාන්තාව කැන්දවා ගන්න



ජ්‍යොතිර්වේදිනී, දේශබන්ධු ආචාර්ය මංජුලා  පුෂ්පරාංගනී
පල්ලෙබැද්ද
දුරකතන අංකය 077-9282653

advertistmentadvertistment
advertistmentadvertistment