නොබෙදූ සමාජයක් ඇති කිරීමට පළාත් සභා ක්‍රියාත්මක කළ යුතුයි වජිර අබේවර්ධන (එජාප)

59

දහතුන් වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය නිලධාරීන්, ආණ්ඩුකාරවරයා ඇතුළු අය භුක්ති විඳින පහසුකම් සහ වරප්‍රසාද මහජනයාට ලබාදිය යුතු බවත් නොබෙදූ සමාජයක් ඇති කිරීම උදෙසා සමස්ත රටටම පළාත් සභා ක්‍රියාත්මක කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (16 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය. රට නිවැරදි මාවතට ගැනීම සඳහා අවශ්‍ය පියවර වර්තමාන ජනාධිපතිතුමා ගනිමින් ඉන්න බව හැමදෙනාටම පෙනෙන්නට තිබෙනවා. සැප්තැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයන් නැවත ලංකාවට පැමිණිලා ඒ ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. ඒ නිසා ජනමාධ්‍යයට මහජනතාව නිවැරදිව දැනුවත් කිරීමේ වගකීම පැවරෙනවා.

රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රට වැටුන වෙලාවෙදී නිශ්චිත ආර්ථික සහ සාමාජීය මොඩලයක්, ප්‍රතිපත්තියක් මේ රටට නිවැරදිව ඉදිරිපත් කරමින් මේ රට ගලවා ගැනීමට ඉදිරිපත් වූ නායකයා බව අප මතක තබා ගත යුතුයි. මේ රටේ නිදහසින් පසුව සිදුවන ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කිරීම නිසා, ඔහුට පැවැති ආර්ථික අභියෝගයෙන් පසුව රට නිවැරදි දිශානතියට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. නිදහස ලැබුණ වෙලාවේදී සියලු දෙනා එකමුතුව ක්‍රියා කළ නිසා රට හොඳ අතට ගිය නමුත් නැවත මේ රටේ දේශපාලකයන් බෙදුනට පස්සේ මේ රට නැවතත් අරාජිකත්වයට පත්වුණා. ඒ නිසා දැන් ආර්ථික නිදහස දිනා ගැනීම සඳහාද එකමුතුකම වැදගත් සාධකයක් බවට පත්වෙලා තිබෙනවා.

2000 වර්ෂයේ දී ශ්‍රී ලංකාව බංකොළොත් භාවයට පත්වෙනවා. ගුවන්තොටුපළ සහ වරාය ආයතනවලට අධිභාර වැදිලා රට ගෙන යන්නට නොහැකි තත්ත්වයට පත්වෙනවා. පාර්ලිමේන්තු කණ්ඩායම වර්ෂයකදී නැවත කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටුණු ආණ්ඩුවට විකල්ප ලෙස 2001දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වෙනවා. එතනදී ටෝකියෝ සම්මේලනයට ගිහිල්ලා එතුමා යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එම ව්‍යාපෘතිය මේ දිනවල නැවත ක්‍රියාත්මක වෙනවා. 2004 දී නැවත ජාතිවාදය, ආගම්වාදය මතුපිටට ගෙන නැවත ඒ ගමන නවතා දමනවා. දේශපාලනඥයෙකුට එහා ගිය ආර්ථික දේශපාලනඥයෙක් විදියට එතුමා එදා ඉඳන්ම මේ අර්බුදය හොඳින් දැක්කා. ඒ නිසා තමයි කඩා වැටෙන රට 2001 දී නැවත නිවැරදි කරල නිවැරදි කළමනාකරණයකින් අරගෙන යන්න උත්සාහ කළේ. ප්‍රභාකරන් මරණයට පත්වුණා. නැවත දෙස් විදෙස් බලවේග එක්ක එකතු වෙලා, ආගම්වාදය ජාතිවාදය පතුරලා, පාස්කු ප්‍රහාරය දක්වාම අරගෙන ගිහිල්ලා, මේ රට නැවත කඩා වැටීමට ලක් කළා.

එම නිසා මාධ්‍ය ව්‍යාපාරය නිවැරදි දේ දැනුවත් කළ යුතු වෙනවා. නිවැරදි විසඳුමක් මෙරට දේශපාලන පක්ෂවලට තිබුණා නම් ඔවුන්ට අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. එහෙම අදහසක් සහ මාර්ගයක් නොමැති නිසා තමයි මේ රට වර්තමාන ජනාධිපතිවරයා විසින් බාර අරගෙන නිවැරදිව ඉදිරියට ගෙන යමින් තිබෙන්නේ. නමුත් විසබීජ ගොඩක් මේ දේශපාලන ධාරාව තුළ තිබෙනවා.ඒ විසබීජය හානිකරයි. විසබීජ ජනතාව විසින් පාලනය කළ යුතුව තිබෙනවා. එකක් තමයි ජාතිවාදය සහ ආගම්වාදය කියන විසබීජය. වෙනත් රටවල් එක්ක ඇතිවන සම්බන්ධකම් හේතුවෙන් අපේ රටේ පාලනයට වන බලපෑම නවතා දැමිය යුතුව තිබෙනවා.

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මේ රටේ සාමාන්‍ය නීතියයි. ඒක මේ රටේ ස්ථාපිත වෙලා තිබෙනවා. ඒ නිසා කිසිවෙකුත් ඒ පිළිබඳව කලබල විය යුතු නැහැ. දහතුන් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරන ගමන් පළාත් සභාවලම හිටගෙන ඉන්න පිරිසක් පක්ෂවල ඉන්නවා. ඉතින් එහෙම හිටගෙන ඉඳලා විවේචනය කරන අය දිහා මහජනතාව ඉතාම ප්‍රවේශමෙන් බැලිය යුතුයි. ජාතියේ වැඩසටහන රනිල් වික්‍රමසිංහ ජාතියට ඉදිරිපත් කරල ඉවරයි. අනිත් අයගේ වැඩසටහන් රහසිගතවයි තිබෙන්නේ. ඒ නිසා ජනතාවට සෘජු තීන්දු ගැනීමේ හැකියාව නැති වෙලා තිබෙනවා. ඒ නිසා නැවත මේ රටේ බොරු සෙල්ලම් කරන්නට ලැබෙන්නේ නෑ. මේ රටේ තරුණ පරම්පරාව වෙනුවෙන් නිශ්චිතව සකස් වෙච්ච වැඩපිළිවෙළක් සිදු කරමින් ඉන්නේ. එනිසා මේ රටේ පැරණි දේශපාලන සංස්කෘතිය නැවත ඇතිවීමට ඉඩ තබන්නේ නැහැ කියන කාරණය මතක් කළ යුතුයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment