මහ සිකුරාදා සවස එල්ලා මරා දමන ලද කිතු හිමි, තෙදිනකින් යළි පණ ලැබ, ගල් ලෙනෙන් පිටතට ආ පුවත, ක්‍රිස්තියානි ලෝකය ජයෙන් සිහිපත් කරන්නේ අදය.

අද පාස්කු ඉරිදාය.

මහ සිකුරාදා දක්වා දින හතළිහක් ක්‍රිස්තු ඝාතනය ගැන විලාප නඟමින් හඬා වැටුණ ලෝක කිතුනුවෝ…… අද මහත් ප්‍රීතියෙන් එහිමි උත්ථාන වීම සමරති.

එදා පැවැති ජුදා ආගමික සමාජය නොමඟ යැවූ, කැරැලිකාරයකු ලෙස හංවඩු ගසා, කිතු හිමි මරා දමන කුමන්ත්‍රණය ඇටවූවේ, ජුදා නායක පූජකයන්ම ය.

ක්‍රිස්තු මාපිය දෙදෙන ජුදා ආගමිකයන් වූහ.

ඒ නයින් කිතු හිමි ද ජුදා ආගමිකයෙකි.

ජුදා නායක පූජකයන්ට අනුව, කිතු හිමි ජුදා ආගම විවේචනය කළ, ජුදා නායක පූජක දුෂ්චරිත හෙළි කළ, ජුදා විරෝධියෙකි. කැරැලිකරුවෙකි.

දොළොස් හැවිරිදි වෙද්දී…. ක්‍රිස්තු දරුවා, ජුදා ධර්ම ශාලාවලට යන්නට එන්නට පටන් ගත්තේ ජුදා දහම හරි හැටි වටහා ගන්නටය. ජුදා පඬිවරුන් මැද සිටිමින් දරුවා, ජුදා දහමේ තමාට නොවැටහෙන තැන් ගැන ප්‍රශ්න කළේය.

සමහර ජුදා ආගමික මත ගැන, තම අදහස් මෙන්ම උදහස් ද හෙළි කර සිටියේය.

එකක් දෙසමින්, ඊට ප්‍රතිවිරුද්ධව දුෂ්චරිතයේ යෙදෙන, ජුදා නායක පූජක චර්යා හෙළි කර සිටියේය. ඒ වැරැදි චර්යා නායක පූජකයන් ඉදිරියේම හෙළි කර සිටියේය.

දරුවාගේ ප්‍රශ්න, මත හා චෝදනා ඇසූවෝ ඔහුගේ බුද්ධි මහිමය ගැන විශ්මයට පත් වූහ. (ලූක් 2:47) දහ අට වසක අතුරුදන් සමයෙන් පසු, යළි ජුදා සමාජයට පිවිසි කිතු හිමිගේ විමසිලි, මත, අදහස් හා යෝජනා ගැන ප්‍රසාදයට පත් ජන කොටසක් එතුමා පසු පස විය.

“ද හින්දු” පුවත්පතට නිතර ලිපි ලියූ, කේරළ ජාතික වී. ආර්. ක්‍රිෂ්ණ අයියර් මහතා, ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයෙකි.

යුක්ති සහගත ලෝකයක් සඳහා වූ, ජාත්‍යන්තර ව්‍යාපාරයේ “යුක්තිය” සඟරාවට ඒ මහතා ලියූ පැරැණි ලිපියක්, මට මෑතක කියවන්නට ලැබුණි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ (මෙරට සියලු ක්‍රිස්තියානි නිකායයන්ගේ එකමුතු සංවිධානය…) 2009 ජනවාරි, පෙබරවාරි “චින්තන” සඟරාවෙනි. (සංස්කාරක – මාර්ෂල් ප්‍රනාන්දු, ප්‍රකාශනය- සාමයික ආයතනය – 490/5, හැව්ලොක් පෙදෙස කොළඹ 6)

වී. ආර්. ක්‍රිෂ්ණ අයියර් අගවිනිසුරුතුමා සිය ලිපියෙන් හෙළිදරව් කර තිබුණේ…… දුෂ්ට ජුදායන් විසින් ඝාතනය කරන ලද ක්‍රිස්තුස් නම් උදාර මිනිසා ගැනය. ක්‍රිස්තුස් ගැන ඔහුගේ හෙළිදරව් මෙසේය.

“එතුමා වෙත වූයේ පූජනීය, කරුණාබරිත ආචාර සමාචාර විධීන්ය. ධනයට කෑදර නැති උසස් සංස්කෘතියක් වෙනුවෙන් එතුමා පෙනී සිටියේය.”

“කිසිම කෙනකුට වෙනස්ව සලකනවාට එතුමා විරුද්ධ විය. විපතේදී ඕනෑම කෙනකුට සහාය වීමේ බලවත් සහෝදරත්වයක් එතුමා තුළ විය.”

“එතුමා පලස්තීන දුගී ජනතාව සඳහා දෙවියන්ගේ නාමයෙන් ඉල්ලා සිටියේ සමාජ හා ආර්ථික සාධාරණය ය”.

“ගතානුගතික ජුදා දේව ධර්මයට එතුමා විරුද්ධ විය. හේතුව එහි පැවැති දතට – දත, ඇසට -ඇස යන දරදඬු දඬුවම් ක්‍රමය.

“එතුමා ගෙවූයේ සරල චාම් දිවියකි” “අසාධාරණ රෝම දේශපාලනයට හා උඩඟු ජුදා පූජක මතවලට එතුමා ප්‍රසිද්ධියේම විරුද්ධ විය. එතුමා සියල්ලන්ට සම තැන හිමි, දෙවිවරු බඳු යහපත් මිනිසුන් වෙසෙන රාජ්‍ය පාලන ක්‍රමයක් ලොවට හෙළිදරව් කර සිටියේය. (එහි වෙසෙන්නේ සියල්ල පොදුවේ තබා ගන්නා අයය. එහි හිඟ කිසිවක් නැත. ඔව්හු මුදල් පවා එකිනෙකාගේ වුවමනාවේ තරමට පරිහරණය කරති. එය පොදු සමාජයකි. එහි දැක දැකත් නො දක්නා අය නැත. අස අසාත් නො වටහා ගන්නා අය නැත. එහි හැමෝම සහෝදර සහෝදරියෝය.)

“තුච්ඡ හා කෑදර ලෙස ධනය රැස් කර ගන්නා සංස්කෘතියකට” එතුමා කිසිසේත්ම එකඟ වූයේ නැත. එතුමා මිනිසුන් සුළු කොට තැකීම තදින්ම ගර්හාවට ලක් කළේය.

“දෙවියන් යනු, හිරු සේ සියලු ලෝකවාසීන්ට සමානව සෙත සලසන්නෙක්” බව එතුමාගේ ඉගැන්වීම විය.

“එතුමා අගය කළේ කය වෙහෙසා වැඩ කරන්නන්ය”

“බාලයන් මෙන් සත්‍යවාදීවද, අවංකවද ක්‍රියා කරන ලෙස එතුමා වැඩි මහල්ලන්ගෙන් ඉල්ලා සිටියේය.

දුෂ්ට ජුදයෝ, සමාජය නොමඟ යවන්නකු ලෙස නම් කළේ ඒ මානව හිතවාදියාවය. සගයකුට අල්ලස් දී හඳුනාගෙන දස වධ දී මරා දැම්මේ ඒ මානව හිතවාදියාවය.

බයිබලයේ ක්‍රිස්තු චරිතය සඳහන් කරන ලේඛක සිව් නමද (මතෙව්- මාක් – ලූක් ජුවාම්) ක්‍රිස්තු තරුණයාගේ මත හා ක්‍රියා රැසක් හෙළි කර සිටී.

ජුදා ජාතිකයන් දන් දුන්නේ හොරණෑ පිඹගෙන ගොස් සියල්ලන්ට පෙනෙන ලෙස ප්‍රසිද්ධියේය. යාච්ඤා කළේ ද දේවස්ථාන ඉදිරිපිට මහ පාරේ සියල්ලන්ට ඇසෙන ලෙස ප්‍රසිද්ධියේ ය.

කිතු හිමි පැවැසුවේ ඒ දෙකාර්යයම කෛරාටික බවය. එදා පලස්තීනයේ පැවැති ළමා අපචාරවලට එතුමා තදින්ම එරෙහි විය. එතුමා ඔවුනට දඬුවමක් යෝජනා කළේය.

“බෙල්ලේ ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ ගැඹුරුම තැනට හෙළා දමන ලෙසය” පලස්තීන වැඩි ජනගහනය දුගීව සිටියදී, රටේ වස්තුව, ධනය හා බලය. රදළ අල්ප පිණිසට හිමිව තිබීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බව කිතු හිමි නොපැකිලිව පවසා සිටියේය.

දුප්පත්කම හා බඩගින්න වැළපෙන්නට කාරණා නොව සමාජ අසාධාරණයට එරෙහිව පෙළ ගැසෙන්නට පොළඹවන ආරාධනා බව කිතු හිමි පෙන්වා දුන්නේය.

“කිසිවකුත් බලහත්කාරයෙන් අත්අඩංගුවට නොගනු” යැයි කී කිතු හිමි “ශරීරයක පහන වූ ඇස, ඔබව නපුරට ගෙන යන්නේ නම් ඒ ඇස උගුල්ලා දමනු යැයිද විධාන කර ඇත. “මුතු ඌරන් ඉදිරියේ නො දමනු”

“දේව මන්දිර හොර ගුහා නො කරනු”

“හොඳ ගසක නරක ඵලවත්, නරක ගසක හොඳ ඵලවත් හට ගන්නේ නැත.

“විනාශයට යන පාර පළල් ය. දොරටුව ද විශාලය. ප්‍රගති මාවත පටුය. අවහිරවලින් ද ගහණය.”

“‘අනුන් නුඹලාට කරනවාට නුඹලා කැමැති මොනවාද? නුඹලාත් අනුනට ඒ දේවල් ම කරපල්ලා”

ඒ ක්‍රිස්තු මානවවාදියාගේ මහරු මතය.

එදා පලස්තීන සමාජයේ දෙවියන්ට ඇලුම් බව ලෝකයට පෙන්වමින්, ධනය හා බලය පසු පස ගිය, ජුදා – රදළ – නායක – පූජක පිරිසක් වූහ.

කිතු හිමි ඔවුන් පිළිබඳව පැවසුවේ කුමක් ද?

“දෙවියන් හා වස්තුව යන ස්වාමිවරුන් දෙදෙනකුට එක සේ සේවය කරන්නට කිසිවකුට නො හැක. පසුව ඔහු එක් අයකුට පක්ෂව. අනෙකාට ද්වේෂ කරනු ඇත.”

“යමෙක් මගේ උපදෙස් පිළිපදී ද හේ පර්වතයක් මත තම නිවස තනා ගත් නුවණැත්තෙකි. මගේ උපදෙස් නොපිළිපදින්නා වැලි ගොඩක් මත නිවස තනා ගත් අනුවණයෙකි. සුළං හමා, වැසි වැස, ජලය ගලා අනුවණයාගේ නිවස පොළොවට සමතලා වන්නේය”

ලෝකයට සාධාරණය හා මිනිසාට ප්‍රඥාව සපයන්නට ක්‍රියා කළ ක්‍රිස්තු තුමා ජුදා නායක පූජකයනට හා ධන ලෝභී රදළයනට තමන්ට එරෙහිව ජනතාව පොළඹවන කැරලි කාරයකු විය.

සැබැවින්ම ඒ මතය යථාරර්ථවාදී ද ? ඇත්ත ද ?

සිරිල් එඬේරමුල්ල

advertistmentadvertistment
advertistmentadvertistment