රුසියානු-යුක්‍රේන යුද්ධයට ලාංකිකයන් යවන මිනිස් ජාවාරමක්

196

ලක්‍ෂ ගණනින් වැටුප් මැරුණොත් පවුලටම පීආර්

රුසියානු – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යවන මිනිස් ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා බුද්ධි අංශ වෙත අනාවරණය වී ඇත.

රුසියානු – යුක්‍රේන යුද්ධයේ දෙපාර්ශ්වයේම කුලී හේවායන් ලෙස සටන් කිරීමට මොවුන් යවා තිබේ. ඒ වෙනුවෙන් ඔවුන්ට ලක්‍ෂ ගණනින් මාසිකව වැටුප් ගෙවීම් සිදු කිරීමටත් යුද්ධයෙන් මියගියහොත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එම අදාළ රටවලට ගෙන්වාගෙන පුරවැසිභාවය දීමටත් එකඟතා ඇති කර ගෙන තිබේ. එසේ ගිය ශ්‍රී ලාංකිකයන් 55 දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත. ඊට හිටපු යුද හමුදා සාමාජිකයන් 27දෙනකු, හිටපු නාවික හමුදා සාමාජිකයන් 08දෙනකු, හිටපු ගුවන් හමුදා සාමාජිකයන් 07දෙනකු සහ සිවිල් වැසියන් 13දෙනකු සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මෙම පිරිස අතරින් තහවුරු කරන ලද තොරතුරුවලට අනුව, එම සටන්වල දී අවම වශයෙන් එවැනි කුලී හේවායන් ලෙස ගිය ශ්‍රී ලාංකිකයන් 05දෙනකුවත් මිය ගොස් ඇත.

ඩොන්ටෙස්ක් හි රුසියාව වෙනුවෙන් සටන් කළ ලාංකිකයන්ගේ මරණ දෙකක් තහවුරු වී ඇති අතර යුක්‍රේනය වෙනුවෙන් සටන් කරමින් අවම වශයෙන් තවත් ලාංකිකයන් තිදෙනෙකු මිය ගිය බව මිනිස් ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්. සමරකෝන් බණ්ඩා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙලෙස යුක්‍රේන සහ රුසියානු හමුදාවන්ට සම්බන්ධ විදේශ සේනාංකවලට එක් වීමට මේ වන විටත් රට හැර ගොස් සිටින ලාංකිකයන් 30 දෙනකුගේ නම් සහ රට හැර යෑමට කටයුතු කරමින් සිටි තවත් අයගේ නම් සහ ලිපිනයන් 36ක් රාජ්‍ය බුද්ධි සේවය විසින් සොයාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීය.

රාජ්‍ය බුද්ධි සේවය විසින් මේ පිළිබඳව කර ඇති සොයාගැනීම් පිළිබඳ වාර්තාවක් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න වෙත ඉදිරිපත් කර ඇත. පසුව ඔහු වැඩිදුර පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න වෙත පැවරූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බණ්ඩා මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම කටයුත්තේ නියැළී සිටින හිටපු සෙබළුන් සහ දේශීය විදේශ රැකියා නියෝජිතයින්ගේ ලුහුබැඳීමේ ජාල ආරම්භ කළ බව ඔහු කීය. යුක්‍රේනයේ ගැටුම් පවතින ප්‍රදේශවලට පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත කඩවත ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ මස මුල් සතියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රැකියා නියෝජිතායතනය පවත්වා ගෙන යන කාන්තාවකට අයත් බැංකු ගිණුමකට බඳවාගත් පිරිස රුපියල් මිලියනය බැගින් තැන්පත් කර ඇති බව ද හෙළි වී ඇත.

මෙම හිටපු සෙබළුන් සංචාරක වීසා මත යුක්‍රේනය සහ රුසියාව බලා පිටත්ව ගොස් ඇති බවට අනාවරණ වී ඇත. ඔවුන් මුලින් නවදිල්ලියට ගෙන ගොස් ඇති අතර පසුව ඔවුන් පෝලන්තයට ගෙන ගොස් අසර්බයිජානය හරහා යුක්‍රේනයට ළඟා වී තිබේ.

මෙම මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් 55 දෙනාගෙන් 23 දෙනකුට යුක්‍රේන හමුදාවේ විදේශ සේනාංකයට එක්වීමට හැකි වී තිබෙන බවද මේ වන විට අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මෙම පුද්ගලයින් 55 දෙනාගෙන් 32 දෙනකු අතරමං වී ඇති බවට ද තොරතුරු පළ වෙයි. ඔවුන්ගෙන් සමහරක් පෝලන්තය, අසර්බයිජානය, ජෝර්ජියාව සහ ඉතාලියේ වෙනත් රැකියා සොයා ගෙන ඇත. ඔවුන්ගෙන් නව දෙනකු ආපසු ලංකාවට පැමිණි තිබේ. මේ වන විට අත්අඩංගුවේ පසු වූ 17 දෙනා අතරට ආපසු පැමිණි පිරිස ද වෙති.

මේ අතර, යුක්‍රේනයේ ශ්‍රී ලාංකික කුලී හේවායෙකුගේ නවතම මරණය වාර්තා කරන අල් ජසීරා පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ යුක්‍රේනයේ රුසියානු හමුදාව සමග දැන් සිය ගණනක් ලාංකිකයන් සේවය කරන බවයි.

මියගිය ඇතැමුන්ගේ අනන්‍යතාව තහවුරු වූයේ කපිතාන් රනිෂ් හේවගේ (හිටපු යුද හමුදා කමාන්ඩෝ), එම්.එම් ප්‍රියන්ත (හිටපු ගුවන් හමුදාව) සහ රොඩ්නි ජයසිංහ (හිටපු යුද හමුදාව) ලෙසය. මෙයින් හේවගේ නමැත්තාගේ දේහය මිහිදන් කරන ලද නමුත් අනෙක් ලාංකිකයන් දෙදෙනාගේ සිරුරු කිසි විටෙකත් සොයා ගැනීමට නොහැකි වී ඇත.

අල්ජසීරා වාර්තා කරන පරිදි දැනටමත් යුද්ධයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු මිය ගොස් ඇත. ඔවුන්ගෙන් දෙදෙනකු රුසියානු හමුදාවට සම්බන්ධ වී ඇති අතර තිදෙනකු යුක්‍රේන හමුදාවට බැඳී ඇත.

යුද්ධය ආරම්භ වූ විට යුක්‍රේනය වෙනුවෙන් සටන් කරන ලෙස ජනාධිපති සෙලෙන්ස්කි තරුණ ප්‍රජාවට විවෘතව ආරාධනා කළේය. එසේ පැමිණෙන සැමට හොඳ වැටුපක් සහ යුක්‍රේන පුරවැසිභාවය ලබා දෙන බවද ඔහු පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment