බෙහෙත් නිසා ලෙඩ්ඩු මැරෙන රටේ තත්වයෙන් බාල බෙහෙත් ශල්‍ය උපකරණ 64ක් තහනම්

186

හැබැයි රටේ ජනතාව දන්නේ නෑ…ඇත්තම කතාව ගැන හෙළිවුණේ විගණනයෙන්

අවම මිලට වඩා වැඩිමිලට ඖෂධ මිලදීගෙන

ඖෂධ, රෝහල්වලට, නිකුත් කිරීමට පෙර ඖෂධවල, ප්‍රමිතිය, පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැහැ.

අසමත් සහ හානිවූ ඖෂධ සපයනු ලැබූ සැපයුම්කරුවන්ගෙන් රුපියල් මිලියන 1,529.83ක පොල්ලක්.

තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම නිසා ජනතාවගේ ජන ජීවිතවලට එල්ලවී ඇති තර්ජන පිළිබඳ මේ වනවිට සමාජය තුළ දැඩි කථිකාවක් නිර්මාණය වී තිබේ. ප්‍රමිතියෙන් තොර ඖෂධ රට තුළ ගලාඒම නිසා රෝගී ජීවිතවලට එල්ල වී ඇති බලපෑමද සුළු පටු නොවේ. මින් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ රට්ටුන්ය. රජයේ රෝහලකට ප්‍රතිකාර ගැනීම සඳහා යන රෝගියකුට යන පණ පිටින් ආපු නිවසට යෑමට හැකිවේද යන්න පිළිබඳව ඔහු තුළ ඇත්තේ දැඩි අවිනිශ්චිත බවකි. මෙකී තත්ත්වය නිසා ප්‍රතිකාර ගැනීම සඳහා රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ විශාල අඩුවීමක් දක්නට ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ රෝහල්වල ඖෂධ හා වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් අයුරින් නොමැතිවීම නිසා රෝගීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති පසුබිමක ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතා කිරීමට සිදුවීම රෝගීන් කබලෙන් ලිපට ඇද දැමීමකි. බාල ඖෂධ ප්‍රශ්නය කෙතරම් දුරදිග ගොස් ඇද්දැයි කිවහොත් මේ වනවිට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් ඉදිරිපත්කොට ඇත. ඒ කොයිහැටි වුවද රට තුළට ප්‍රමිතියෙන් තොර ඖෂධ ගලාඒම වැළැක්වීමට කටයුතු කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වගකීමකි. එහෙත් ඒ පිළිබඳ ඖෂධ නියාමන අධිකාරියට වගේ වගක් නැත. ප්‍රමිතියෙන් තොර ඖෂධ පිළිබඳ ඖෂධ නියාමන අධිකාරිය විසින් ලබා දී ඇත්තේ අමල් බිසෝ න්‍යායට අදාළ පිළිතුරකි.

ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට අමල් බිසෝ හා කිසාගෝතමිය පැටලී තිබුණි. ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම හා රසායනාගාර පහසුකම් මෙන්ම ඒ පිළිබඳ විශේෂඥයන් නොමැතිකම නිසා ඖෂධවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම සිදුකළ නොහැකි බවට ඖෂධ නියාමන අධිකාරිය විසින් සඳහන්කොට තිබුණි. ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් නොමැති ආයතනයකින් රටේ ජනතාවට ලැබෙන ඖෂධ පිළිබඳ ලබාගත හැකි සහතිකය කුමක්ද? රට්ටුන් ජීවත්කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දු කරන ඖෂධ වැනි බරපතළ විෂයක් නියාමනය කිරීමට ඖෂධ නියාමන අධිකාරියට නොහැකිනම් එවැනි ආයතනයකින් ඇති ප්‍රයෝජනය කුමක්ද? රෝගී ජීවිත සමග සෙල්ලම් කිරීමට මෙවැනි ආයතනවලට ඉඩදිය යුතුද?

ඖෂධ නියාමන අධිකාරිය විසින් වසරක පමණ කාල සීමාවක් තුළදී ඖෂධ හා ශල්‍ය උපකරණ වර්ග 64 කට ආසන්න ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල නිසා භාවිතයෙන් ඉවත්කොට ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය චක්‍රලේඛයක් නිකුත් කරමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකවල රුධිර පීඩන තත්ත්වයන් පවත්වාගෙන යෑම සඳහා භාවිතා කරන ාදඉමඒපසබැ නැමැති ඖෂධය ද වහාම ක්‍රියාත්මක වන පරිදි තත්ත්ව පරීක්ෂණවලදී ගුණාත්මකභාවය අඩු බවට ලද සැකය මත භාවිතයෙන් ඉවත්කොට ඇත. හදිසි වෛද්‍ය ප්‍රතිකාරවලදී හෘදය වේගය අඩු වන අවස්ථාව හා රුධිර පීඩන වේගය අඩු වන අවස්ථාවේදී මෙම ඖෂධය බොහෝ විට භාවිතා කරනු ලබයි. එමෙන්ම හදිසි වෛද්‍ය ප්‍රතිකාර දැඩිසත්කාර ඒකක හා රෝහල්වල හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඖෂධ කාණ්ඩවල මෙම ඖෂධය අත්‍යවශ්‍ය සාධකයකි.

මෙයට අමතරව ඇස්ප්‍රීන්, බෙටඩීන්, ඇමොක්සික්ලෙව්, මෙට්‍රනයිඩසොල්, පිපරසිලින්, අක්ෂි කාච, සේලයින් කැනියූලා ඇතුළු මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය වශයෙන් දිනපතා භාවිතා කරන විශාල ඖෂධ හා ශල්‍ය උපකරණ රැසක් පසුගිය මාස 6ක කාල සීමාව තුළදී වෛද්‍ය සැපයුම් ඒකකය මගින් තත්ත්වයෙන් බාල බවට ලද පැමිණිලි මත භාවිතයෙන් ඉවත් කොට ඇති බව ඔවුන්ගේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි. මෙම බොහෝ ඖෂධ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධ වීම විශේෂත්වයකි.

එමෙන්ම රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමට පෙර, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ඇති ජාතික ඖෂධ තත්ත්වය ආරක්ෂණ රසායනාගාරය මගින් ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමේ හැකියාවක් නියාමන අධිකාරියට නොතිබුණි. ඒ හේතුවෙන් ඖෂධ තත්ත්වයෙන් අසමත් බවට වාර්තා වන අවස්ථාව වනවිට එම ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝගීන් විසින් භාවිතාකොට තිබුණි. ඒ වනවිට රෝගීන්ට සිදුවිය යුතු දේ වී හමාරය. වර්ෂ ගණනාවක සිට විගණනය මගින් ද මේ ගැන පෙන්වා දී තිබුණි. එහෙත් වගකිවයුතු බලධාරීන් විසින් එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ඖෂධ, රෝහල්වලට, නිකුත් කිරීමට පෙර ඖෂධවල, ප්‍රමිතිය, පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබුණි.

බෙහෙත් නිසා ලෙඩ්ඩු මැරෙන රටේ තත්වයෙන් බාල බෙහෙත් ශල්‍ය උපකරණ 64ක් තහනම්

ඖෂධවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාර පහසුකම් නොමැති බවට ඖෂධ නියාමන අධිකාරිය විසින් සඳහන් කොට තිබුණි. එහෙත් මෙරට ඖෂධ අංශයේ සංවර්ධනය සඳහා ස්වාධීන තෙවන පාර්ශ්වයේ අති නවිණ ඖෂධ රසායනාගාරයක් කාර්මික තාක්ෂණ ආයතනය තුළ ඉදිකොට තිබුණි. මේ සඳහා රුපියල් මිලියන 99ක මුදලක් වැයකොට තිබූ අතර සංවර්ධිත රටවල උසස් ඖෂධ රසායනාගාරවලට සමාන පහසුකම් සහිතව ජී.එල්.පී. තත්ත්වය යටතේ මෙකී රසායනාගාරය ඉදිකොට ඇත. 2019 වර්ෂයේ සිට මෙකී රසායනාගාරය පවත්වාගෙන ගොස් තිබුණද දිවයිනේ ඇති රෝහල් පද්ධතියද, ඇතුළත්ව සියලුම බටහිර ඖෂධ සපයාගැනීම හා බෙදාහැරීම් කිරීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙකී රසායනාගාරයන් පුළුල් සේවාවක් ලබාගැනීමට කටයුතු කර නොතිබූ බව විගණනය මගින්ද අනාවරණය කොට තිබුණි.

මේ නිසා ඖෂධ පරීක්ෂණ රසායනාගාර සේවාවන් ලබා ගැනීම සඳහා විදේශ රටවලට විශාල ගාස්තුවක් වැය කිරීමට සිදුවී තිබුණි. පරීක්ෂණ කටයුතු සඳහා විදේශ රටවලට ඇදීයන විදේශ විනිමය ඉතිරිකර ගැනීම මෙකී ඖෂධ රසායනාගාරය පිහිටුවීමේ තවත් අරමුණක් විය. එහෙත් විදේශීය රටවලින් සිදුකරන පරීක්ෂණ කටයුතු මෙම රසායනාගාරය තුළින් තවමත් සිදුකරන්නේ නැත. මේ නිසා පරීක්ෂණ කටයුතු සඳහා තවමත් විශාල විදේශීය විනිමය ප්‍රමාණයක් විදේශීය රටවලට ඇදීයති. එමෙන්ම ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා මෙකී ඖෂධ රසායනාගාරය භාවිතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරිය, කටයුතු කර නොතිබුණි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය යනු ඖෂධ පරීක්ෂණ සම්බන්ධයෙන් නියාමන බලතල ඇති ආයතනයකි. මෙකී රසායනාගාරයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා ඖෂධ නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ තුන්වන පාර්ශ්වයක ස්වාධීන පරීක්ෂණ අනිවාර්ය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගතයුතුව ඇත.

ඒ විතරක් නොව වෛද්‍ය සැපයුම් අංශය සඳහා තත්ත්වයෙන් අසමත් සහ හානිවූ ඖෂධ සපයනු ලැබූ සැපයුම්කරුවන්ගෙන් රුපියල් මිලියන 1,529.83ක මුදලක් අයවීමට ඇතත් එම මුදල 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිටත් අයකර ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් කටයුතු කර නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වන්නේය. මේවා රට්ටුන්ගේ බදු මුදල්ය. එහෙත් එකී මුදල් අයකර ගැනීමට වගකිවයුතු බලධාරීන්ට වගේ වගක් නැත. එමෙන්ම අසාදු ලේඛනගත සැපයුම්කරුවන්ගෙන් අයකරගත යුතුව ඇති රුපියල් මිලියන 306.11 මුදල අයකිරීම අවිනිශ්චිත තත්ත්වයක පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. තත්ත්වයෙන් අසමත් සහ හානිවූ ඖෂධ සපයා තිබීම වෙනුවෙන් දරනු ලැබූ පිරිවැය, පරිපාලන ගාස්තු හා එම තොග විනාශ කිරීමේ වියදම වශයෙන් මෙකී මුදල ඖෂධ සැපයුම්කරුවන්ගෙන් සංස්ථාවට අයවීමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2021, 2022 යන වර්ෂවලදී ඖෂධ කල්ඉකුත් වීම හා හානිවීම නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැරීමට සිදුවූ මුළු අලාභය රුපියල් මිලියන 156.50කි.

එමෙන්ම 2022 වර්ෂය සඳහා වෛද්‍ය සැපයුම් අංශය වෙනුවෙන් මිලදීගෙන තිබූ ඖෂධ තොග අතුරින් රුපියල් මිලියන 265.88ක වටිනාකමින් යුතු අයිතම් 19ක් තත්ත්වයෙන් අසමත් වී තිබුණි. ඉන් රුපියල් මිලියන 146.61ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකරගෙන නොතිබුණි. කෙසේ වුවද මේ පිළිබඳ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාරිත්වය විසින්

විගණනයට සඳහන් කොට ඇත්තේ මින් රුපියල් මිලියන 54.19 ක මුදලක් 2023.04.26 වැනි දින වනවිට සැපයුම්කරුවන්ගෙන් අයකරගෙන ඇති බවය. ගෙවීම් පැහැර හැරීම නිසා රුපියල් මිලියන 692.78ක හරපත් සඳහා අදාළ වන සැපයුම්කරුවන් අසාදු ලේඛනගතකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් සංස්ථාවේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. එමෙන්ම ඖෂධ සැපයුම්කරුවන් සඳහා හරපත් නිකුත් කිරීමේ සහ අයකර ගැනීමේ කටයුකු කඩිනමින් ඉටුකිරීමට උපදෙස් ලබාදී ඇති බවද සංස්ථාවේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

එමෙන්ම සංස්ථාවේ අලෙවිය සඳහා මිලදීගෙන තිබූ නමුත් 2022 දෙසැම්බර් මස 31 දිනට තත්ත්වයෙන් අසමත් කල්ඉකුත් වූ සහ හානිවූ ඖෂධවල මුළු පිරිවැය රුපියල් මිලියන 344.23කි. ඉකුත් වර්ෂයේදී තත්ත්වයෙන් අසමත් කල්ඉකුත් වූ සහ හානිවූ ඖෂධවල මුළු පිරිවැය රුපියල් මිලියන 60.40කි. 2021, 2022 යන වර්ෂවල තත්ත්වයෙන් අසමත් ඖෂධවල මුළු පිරිවැය රුපියල් මිලියන 32.29කි. මින් රුපියල් මිලියන 23.68ක් 2023 මාර්තු මස 31 දින වන විටත් අයකරගෙන නොතිබුණි. 2021, 2022 යන වර්ෂයන්වලදී ඖෂධ කල්ඉකුත්වීම හා හානිවීම නිසා සංස්ථාවට දැරීමට වූ මුළු අලාභය රුපියල් මිලියන 156.50කි.

වෛද්‍ය සැපයුම් අංශය සඳහා ඉකුත් වර්ෂයේ දී (2022) රුපියල් මිලියන 26.225ක් වටිනා Trastuzumab (440 mg) පිලිකා එන්නත් ඒකක 500ක් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවා තිබුණි. එහෙත් මෙකී ලංසුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය නොසලකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වලංගු ලියාපදිංචි බලපත්‍රයක් ඉදිරිපත් නොකළ ලංසුකරුවකු වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුව විසින් කටයුතු කර තිබුණි.

මේ සඳහා තෝරාගත් ලංසුකරු විසින් ලංසුව සමග ඉදිරිපත්කොට තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය, ඖෂධ නියාමන අධිකාරිය විසින් එම ආයතනය සඳහා නිකුත් කළ සහතිකයක් නොවූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙය ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මගින් සියලු මිලදී ගැනීම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කරන ලෙස දැනුම් දුන් ආයතනයක් වෙත නිකුත්කර තිබූ සහතිකයකි. එමෙන්ම ඉදිරිපත්කොට තිබූ ලියාපදිංචි සහතිකයද කල්ඉකුත් වී තිබුණි. ලංසු මිල ගණන් ඇගයූ තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශකර තිබුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ වලංගු ලියාපදිංචි සහතිකයක් ඉදිරිපත් කිරීමට යටත්ව පමණක් අවම මිල ඉදිරිපත් කළ ලංසුකරු වෙත ලංසුව පිරිනැමිය යුතු බවය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ මිලදී ගනු ලබන ආයතනයට බලය පවරනු ලබන ලේඛනයක් ලංසුව සමග ඉදිරිපත්කොට ඇති බවය. ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශයට පත්කළ නිවේදනයක් මගින් ලංසුවේ වලංගු කාලය දීර්ඝ වී ඇති බවත් තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ සමග එකඟවීම හා නොවීම සඳහා ප්‍රසම්පාදන කමිටුවට බලයක් ඇති බවය.

එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා පුද්ගලික ආයතන වෙනුවෙන් ඖෂධ වර්ග 67ක් හා වෛද්‍ය උපකරණ 140ක් සඳහා ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි 2021 වර්ෂය තුළදී නිකුත්කොට තිබුණි. ජීවිතයක්

බේරාගැනීමට, බෝවන රෝග හෝ වසංගත රෝගයක් පැතිරීම වැළැක්වීමට ජාතික අවශ්‍යතාවයක් හා ජාතික ආරක්ෂාව වැනි විශේෂිත අවස්ථාවලදී පමණක් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමට අධිකාරිය වෙත බලය ලැබී තිබුණි. එහෙත් එවැනි තත්ත්වයක් යටතට නොවැටෙන ලියාපදිංචිය අවලංගුවීම, ලියාපදිංචි සැපයුම්කරුවන් නොසිටීම වැනි හේතුමත මෙකී ඖෂධ හා වෛද්‍ය උපකරණ වෙනුවෙන් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත්කොට තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

කෙසේ වුවද ඖෂධ නියාමන අධිකාරිය විසින් විගණනයට සඳහන්කොට ඇත්තේ මෙකී නිරීක්ෂණ සමග එකඟ නොවන බවය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඖෂධ හිඟවීම නිසා රට තුළ ඖෂධ සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීම වැනි විශේෂ අවස්ථාවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය මත පනතේ 109 වැනි වගන්තිය ප්‍රකාරව කටයුතු කර ඇති බවය. ලියාපදිංචිය අවලංගුවීම, ලියාපදිංචි සැපයුම්කරුවන් නොසිටීම, ඖෂධ ආනයනය නොකිරීම, ලියාපදිංචිය ලබා ගැනීමේ ප්‍රවණතාව අඩුවීම වැනි කරුණු හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය මත පනතේ 109 වැනි වගන්තිය ප්‍රකාරව කටයුතු කළ හැකි බවද අධිකාරියේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. පනතේ සඳහන් විශේෂ අවස්ථාවලදී පමණක් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමට කටයුතු කිරීම තුළින් තත්ත්වය පිළිබඳ සහතිකයක් නොමැති ඖෂධ රට තුළට ඇතුල්වීම අවම කරගත හැකි බවය. එහෙත් ඒ පිළිබඳ ඖෂධ නියාමන අධිකාරියේ අවධානය යොමුවී නොතිබුණි.

ඒ විතරක් නොව ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ ලියාපදිංචිය හා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය විනිවිධභාවයකින් සිදුකොට නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ මිලදී ගැනීමේදී අවම මිල වෙනුවට වැඩි මිලක් ගෙවා ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදීගෙන තිබුණි. ඒ විතරක් නොව ඖෂධ සඳහා සැපයුම්කරුවන් වෙත ඇණවුම් ලබාදීමේදී ප්‍රසම්පාදන කටයුතු විධිමත්ව සිදුවී නොතිබුණි. මෙකී ප්‍රසම්පාදනයන් සම්බන්ධයෙන් විධිමත් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රාජ්‍ය ඔසුහල්වල අලෙවිය සඳහා Etoricoxilo Tablats 60mg ඖෂධයේ ඇසුරුම් ඒකක 30000ක් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවා තිබුණි. මෙකී ඇනවුමට අදාළව අවම, දෙවන හා පස්වන ලංසුකරුවන් වෙත පිළිවෙළින් ඇනවුමෙන් සියයට 25ක් හා සියයට 75ක් වශයෙන් ලංසු පිරිනමා තිබුණි. කෙසේ වුවද දෙවන අවම මිලට වඩා සියයට 153ක මිල වැඩිවීමක් සහිතව පස්වන ලංසුකරුට මෙම ප්‍රසම්පාදනයෙන් සියයට 75ක් ප්‍රදානය කිරීම විගණනයට ප්‍රශ්නයක් වී තිබුණි. මෙම අයිතමයේ අවම මිල හා උපරිම මිල අතර ඒකකයක රුපියල් 345ක මිල වැඩිවීමක් නිරීක්ෂණය වී තිබුණි. මෙකී ප්‍රසම්පාදනයෙන් සියයට 75ක් දෙවන අවම ලංසුකරුගෙන් බැහැරව පස්වන ලංසුකරුට ප්‍රදානය කිරීම හේතුවෙන් සංස්ථාවට රුපියල් මිලියන 6.2ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී තිබුණි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අරමුණ ජනතාවට අවම මිලකට ඖෂධ සැපයීමය. එහෙත් ඖෂධ ඇනවුම් කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සංස්ථාව එම අරමුණින් බැහැරව තිබුණි.

එමෙන්ම සංස්ථාව විසින් වෛද්‍ය සැපයුම් අංශයේ අවශ්‍යතාවය මත Cefotaxime Injection USP 1g එන්නත් කුප්පි 250,000ක් දේශීයව මිලදී ගැනීම සඳහා ලංසු කැඳවා තිබුණි. එහෙත් රුපියල් 70.70ක් ලෙස අවම මිල ඉදිරිපත් කළ ලංසුකරුට ඇනවුම ලබා දී නොතිබුණි. මෙකී ලංසුකරුට ඇනවුම සැපයිය හැකි කාලසීමාව දීර්ඝ බව සඳහන් කරමින් ඇනවුම අවලංගු කොට නැවත ලංසු කැඳවීමට ප්‍රසම්පාදන කමිටුව තීන්දුකොට තිබුණි. ඒ අනුව ඒකකයක මිල රුපියල් 540ක් ලෙස ඉදිරිපත් කළ ලංසුකරු සමග සාකච්ඡාකොට (එන්නත් 65000ක් නොමිලේ සැපයීම මත) එන්නත පලදායි මිල රුපියල් ලෙස රුපියල් 399.60ක මිලකට මිලදී ගැනීමට එකඟවී තිබුණි. එන්නත් කුප්පියක ඇස්තමේන්තුගත මිල රුපියල් 45.71කි. පළමුව තෝරාගත් සැපයුම්කරුගේ ඒකකයක මිල රුපියල් 70.70කි. මේ නිසා තෝරාගත් සැපයුම්කරුගේ මිල පිළිවෙළින් සියයට 774ක සහ සියයට 465ක වැඩිවීමක් විය. මේ අයුරින් වැඩි මිලට ඖෂධ ඇනුවම් කළ අවස්ථා ඕනෑ තරම් සඳහන් කළ හැකිය. ඒ පිළිබඳ විගණන වාර්තා මගින්ද අනාවරණය කොට ඇත. කෙසේ වුවද ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා රෝගීන්ට රජයේ රෝහල්වලට යෑමට සිදුවී ඇත්තේ මර බියෙනි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment