ඉන්දුනීසියාවේදී ඔනේෂ් ඝාතනය ගැන සීඅයිඩී විමර්ශනයක්

191

‘ඔපෙක්ස් සමූහ ව්‍යාපාරයේ’ අධිපති ඔනේෂ් සුභසිංහ මහතා ඉන්දුනීසියාවේදී අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පොලිසිය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සුභසිංහ මහතා ඝාතනයට අදාළ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගෙන තිබේ.

ඔනේෂ් සුබසිංහ මහතා විවාහ වී සිටි බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ මිතුරියක වූ තවත් බ්‍රසීල ජාතික කාන්තාවක් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මෙම ඝාතනයෙන් පසු සැකකාර බිරිඳ ඇගේ යෙහෙළිය ඔනේෂ් සුභසිංහ මහතාගේ සිව් හැවිරිදි දියණියද රැගෙන බ්‍රසීලයට පලා ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

විමර්ශන කණ්ඩායම් පවසන අන්දමට සැකකාර බ්‍රසීල ජාතික කාන්තාවන් දෙදෙනා මෙම ඝාතනය කාලයක සිට සැලසුම් කර ඇති බවයි.

ඔනේෂ් සුභසිංහ මහතා සිය බිරිඳ, ඇගේ යෙහෙළිය සහ සිව් හැවිරිදි දියණිය සමඟ ඉන්දුනීසියාවේ චාරිකාවක නිරතවී සිටියදී සුපිරි මහල් නිවාසයකදී මෙම අභිරහස් ඝාතනය සිදුවිය.

මෙම ඝාතනය පිළිබඳ තොරතුරු සෙවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලය සහ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද මැදිහත්ව කටයුතු කරමින් සිටියි.

මියයන විට 41 වැනි වියේ පසු වූ ඔනේෂ් සුභසිංහ මහතා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment