අවුරුදු 75 ක් තිස්සේ දිගින් දිගටම දූෂණය වූ මෙරට දේශපාලනයට තිත තබමු

259

තීරණාත්මක දේශපාලන වෙනස අපි ඇති කරනවා – මව්බිම ජනතා පක්ෂ සමුළුවේදී දිලිත් ජයවීර කියයි

ශ්‍රී ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන, සමාජ, ආර්ථික වෙනස ඇති කිරීමට සූදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට සහභාගී වූ ජනතාව අමතමින් ප්‍රතිඥා දුන්නේය.

සතුටු දැයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවසායකත්ව රාජ්‍යක් ගොඩනැගීම අරමුණු කර ගත් මෙම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීය. හිටපු අමාත්‍යවරුන් වන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර සහ විශේෂයෙන්ම හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ද දිලිත් ජයවීර මහතාගේ සතුටු දැයක් වෙනුවෙන් සහය පළ කරමින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. පසුගිය මාස කිහිපය පුරා දිස්ත්‍රික් සමුළු රාශියක් පැවැත්වීමෙන් අනතුරුව පැවති මෙම සමුළුව සඳහා විශාල පිරිසක් එක් වී සිටිනු දක්නට ලැබිණි.

එහිදී පැමිණ සිටි දහස් ගණනක ජනතාව ආමන්ත්‍රණය කරමින් දිලිත් ජයවීර මහතා මෙසේ අදහස් දැක්වීය.

“මම දේශපාලනයට එන්න හිටි පුද්ගලයෙක් නෙමෙයි. නමුත් අපි විවිධ පුද්ගලයින්ට දේශපාලන ප්‍රවාහයන් විශ්වාස කරමින් සහයෝගය ලබා දුන්නා. අකමැත්තෙන් පය ගැහුවත් ඉතාම කැමැත්තෙන් මම දැන් මේ ගමන ඔබ වෙනුවෙන්, රට වෙනුවෙන්, මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යනවා. අපි මීට පෙර කාට සහය දැක්වුවත් ඒ විශ්වාසයක් මත පදනම්වයි ඒ දේ කළේ. ඒ වෙන කිසිවක් නොවෙයි. මේ ආදරණීය ශ්‍රී ලංකාව කවද හරි දවසක ගොඩනගා ගෙන දියුණු රටක් බවට පත් කර ගන්නට හැකිවේවි යන විශ්වාසය.

මේ රටට, ඔබ සියලු දෙනාගේම ජීවිතවලට වහාම දැනෙන වෙනසක් සිදුවන විප්ලවීය වෙනසක් සිදු කළ යුතුව තිබෙනවා. අපිට වැරදුනු ප්‍රධානම තැන අපි හැමදාම ආණ්ඩු ගෙනාවේ තවත් ආණ්ඩුවක් පෙරළන්න. එහෙම නැත්නම් තවත් ආණ්ඩුවක වැරදි කියාගෙන. නමුත් අපි එන්නේ රටත් ඔබත් ඉදිරියට ගෙනයන ජීවිතය නගාසිටුවන ලෝකයේ සියලුම දියුණු රටවල් භාවිතා කරන ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පයත් එක්ක. මේ රටට නැවත එක තැන පල්වෙන රටක් නොවෙයි. වඩා වේගවත්ව ඔබේ ජීවිතය දියුණුව කරා ගෙන යන විද්‍යාත්මක හා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් එය.

මේ රටේ සිටින සියලුම නිර්මාණශීලි පුද්ගලයින් එකට එකතු කරගත් ඔබගේ ආත්ම ශක්තියෙන් ඔබගේ ධෛර්යයෙන් ඒ වගේම ශ්‍රී ලාංකික අපිට හැමදාම තිබුණු ඒ නිර්මාණශීලීත්වයෙන් සංවර්ධනය කර යන ගමනක් අපට තිබෙන්නේ. අපි ප්‍රලාප කියන්න නෙමෙයි ජනතාව රැස් කරන්නේ. ප්‍රලාප අසන්නට වත් මඩ රස විඳින්නවත් නොවෙයි ජනතාව අප වටා රැස් වන්නේ. මේ ඔබේ ජීවිතය වෙනස් කරන දින වකවානු සහිත සැලසුම් සහගත වැඩ පිළිවෙලක්. අන්න ඒ ප්‍රායෝගික ක්‍රමවේදය සමගයි ඔබ සැම එකතු වෙලා ඉන්නේ. මේ කොළඹ ජනතාව වගේම මුළුමහත් ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාම පාට පක්ෂ ආගම් ජාති බේදයකින් තොරව එම වැඩපිළිවෙළ හා එක්වන බව අපි විශ්වාස කරනවා. එම වැඩ පිළිවෙල ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි සාර්ථකව මේ රට ගොඩනැංවිය හැකි එකම ආදරණීය, ගෞරවනීය විසඳුම බව ඔප්පු කර පෙන්වනවා. එය නිසි වෙලාවට ඔබ හමුවේ තැබීමට අපි සූදානම්.

අපි මේ සම්ප්‍රදායික දේශපාලනය අවසන් කළ යුතුයි. එකෙන් අදහස් වන්නේ නෑ සංකල්පයක් හැටියට අපි කතා කරන මේ දෙසිය විසිපහම එපා කියන එක හරියි කියලා. මම හිතන්නේ ඔවුනුත් එකතු කරගන්නට පුළුවන්නම් තැනක් වේ නම් අපගේ වැඩ පිළිවෙළට එකතු වෙන්න. අපි බලමු කොහොමද අපි එකතුවෙලා ගමනක් යන්නෙ කියලා. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මිත්‍රවරුනේ වෙන සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට අපි මේ මුක්කු ගහනවා කියලා. අපිට එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ. මේ වැඩ පිළිවෙළ අපේ මව්බිම වෙනස් කරන්නට කැපවෙන වැඩපිළිවෙළක්. එතෙන්ට ඕන කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. හැබැයි අවංක හදවතින් පමණයි.

අපි එක්ක එකතුවෙලා ඉන්න මේ තාරුණ්‍ය ශක්තිමත්, නිර්මාණශීලි, ධෛර්ය සම්පන්න පරපුරේ බොහොමයක් දෙනා මම හඳුනාගත්තෙ මේ අරගල කාලයේදී. මම කියන්නේ සද්භාවයෙන් අරගලයට සම්බන්ධ පුද්ගලයින් ගැන මිසක් දේශපාලන උවමනාවලට එතනට ආපු අය නෙවෙයි. රතු, රෝස පක්ෂවල දේශපාලන උවමනාවට මිනිස්සුන්ට නිවන්සුව පතන සමාජ මාධ්‍ය සංස්කෘතියෙන් එළියට ඇවිල්ලා අපි ප්‍රාර්ථනය කරමු සතුටු දැයක් නිර්මාණය කරගෙන සන්තෝසෙන් ඉන්න පුළුවන් රටක් නිර්මාණය කරගමු කියලා. එහෙම නැතුව මිනිසුන්ගේ මරණය ප්‍රාර්ථනා කරමින් කොමෙන්ටු ගහමින් මේ කොමෙන්ටු බළකාය හදලා මේ තාරුණ්‍යය වෙත ගෙන යන සෘණාත්මක චින්තනය කිසිසේත්ම මේ රට ගොඩ යන මාර්ගයක් නෙමෙයි.

ඒ වගේම හොරු අල්ලනවාය කියන සටන් පාඨ වලින් එළියට එන්න. මේ රට දූෂණයෙන් මුදා ගැනීමට නම් අපි මේ මූණ දෙන මේ දූෂණයේ විෂම චක්‍රයෙන් එළියට එන්න නම් අපි සතුටින් සිටිනට කැමති ජාතියක් හැටියට අභිප්‍රේරණය වෙමින් එයට මුහුණ දිය යුතුයි. හොරු එකා එකා අල්ලන්න, හොරු අල්ලගෙන ගිහිල්ලා හොර බඩු ටික හොයාගෙන මේ රට ගොඩ දාන්නට බැහැ. ඒක බොරු කතාවක්.

මෙහිදී කතා කළ හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, උපාලි විජයවර්ධන වැනි නායකයන් රටට කරන්නට වෙර දැරූ මෙහෙවර ඉටුකළ හැකි පිරිසිදු නිවැරදි දැක්මක් දිලිත් ජයවීර සතුව තිබෙන බව සඳහන් කළේය. තවත් කිහිපදෙනෙකුම සමුළුව ඇමතූහ.

advertistmentadvertistment
advertistmentadvertistment