මැතිවරණ කොමිසම ඉදිරිපිට ඡන්දය ඉල්ලා ඊයේ විරෝධතාවක්

90

මෙවර පළාත් පාලන මැතිවරණය ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ලෙස සලකා නියමිත දිනට පවත්වන ලෙසට බලකරමින් ජාතික ජනබලවේගයේ සාමාජිකයෝ රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට ඊයේ (22) සවස විරෝධතාවයක නියැලී සිටියහ.

මෙම විරෝධතාවය සඳහා විශාල පිරිසක් එක්ව සිටීම හේතුවෙන් අධික රථවාහන තදබදයක් ඇති වී තිබෙන ආකාරය ද දැක ගන්නට හැකි විය.

මැතිවරණය පැවැත්වීම කල් දමන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් ජාතික ජන බලවේගය පක්ෂයේ කෝට්ටේ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී අරෝෂ අතපත්තු මහතා සහ ජාතික ජන බලවේගය ක්‍රියාකාරී එරංග ගුණසේකර මහතා ප්‍රමුඛ පිරිස මැතිවරණ කාර්යාලයේ දොරටුව ඉදිරිපිට සිට මෙම

ගැටලුවට විසඳුමක් ලබාගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමට අවශ්‍ය බව පවසමින් විරෝධතාවයේ නියැලි සිටියහ.

රැස්ව සිටි පිරිසෙන් දෙදෙනකුට පමණක් මැතිවරණ කාර්යාලයට ඇතුළු වී නියෝජිතයකු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දීමත් සමග එම පුද්ගලයින් දෙදෙනා නැවත එළියට පැමිණෙනතුරු විරෝධතාකරුවන් රාජගිරිය, බොරැල්ල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලි සිටින ආකාරය දැක ගැනීමට හැකි විය.

විරෝධතාකරුවෝ විවිධ පුවරු සහ වෙස් මුහුණු පළඳමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නියැලි සිටියහ.

විරෝධතාවය පාලනය කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.බී.එස්. ජයමහ මහතා නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් ඕවිටිගල යන මහත්වරුන්ගේ උපදෙස් මත වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ රථවාහන නිලධාරීන් විශාල පිරිසක් කැඳවා තිබිණි.
ජූඩ් ඩෙන්සිල් පතිරාජ සහ මහරගම එස්.ඩී. අබේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment