පසුගිය 11 වැනි දින සිට 15 වැනි දින දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති 72 වැනි වෙස්ට්මිනිස්ටර් සමුළුව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමග ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා සහභාගි වූහ.

72 වැනි වෙස්ට්මිනිස්ටර් සමුළුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලන්ඩනයට

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් 28ක් පමණ නියෝජනය කරමින් එම රටවල්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු ලේකම්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල්වල පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා බලතල, කාරක සභා ක්‍රමය, ව්‍යවස්ථාපිත අණපනත් පනවන ආකාරයන් හා ඒවායේ සම්ප්‍රදායන්, නූතන සමාජ මාධ්‍ය සහ තාක්ෂණය හා පර්යේෂණ උපක්‍රම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව තුළ භාවිතා කරන ආකාරය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් මෙහිදී සාකච්ඡාවට ගැනුණි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය සංගමය ආරම්භ කර 75 වසරක් සපිරෙන මේ වසරේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය 75 වැනි සැමරුමට ද, ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පවත්වන ලද දේව මෙහෙයට ද සහභාගි වීමට ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට අවස්ථාව ලැබුණි. මේ වන විට බි්‍රතාන්‍යයේ රජු වන තෙවන චාල්ස් රජු අසනීපයෙන් පසුවන නිසා කැමිලා බිසව, ඔටුන්න හිමි විලියම් කුමරු, එඩ්වඩ් කුමරු හා ඈන් කුමරිය ඇතුළු රාජකීයන් පිරිසක් ද වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයට පැමිණ සිටියහ.

****

ගැහැනු එක මිටට ලන්ඩනයේදීත්

ජාතික ජන බලවේගය මගින් ශ්‍රී ලංකාව පුරා පවත්වාගෙන යන “ගැහැනු එක මිටට” රැලියක් පසුගිය සතියේ ලන්ඩනයේදී ද පැවැත්වුණි. ඉතා විශාල පිරිසක් සහභාගි වූ එම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ 72 වැනි වෙස්ට්මිනිස්ටර් සමුළුවට සහභාගිවීම සඳහා පැමිණි සිටි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියයි. මෙහිදී ඇය කියා සිටියේ ජාතික ජන බලවේගය වටා ශ්‍රී ලංකාව තුළ එක්රොක් වෙමින් සිටින කාන්තාවන්ට ලන්ඩනයේ කාන්තාවන් ද එකතුවීම විශාල ශක්තියක් බවයි. මාලිමාවේ අරමුණ සමාජ පරිවර්තනයක් බවත් ඒ සඳහා දායක වීමට ගැහැනුන්ට තිබෙන එකම තැන ජාතික ජන බලවේගය බවත් ඇය අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත් දා සිට එයින් විශාල වශයෙන් මිරිකෙන්න ගත්තේ ගැහැනිය බවද ඇය කියා සිටියාය. ජාතික ජන බලවේගයේ රජයක් යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වන සමාජ පරිවර්තනයට දායක වන ලෙස පැමිණි සිටි සැමගෙන් ඇය ඉල්ලා සිටියාය.

advertistmentadvertistment
advertistmentadvertistment