මාස 11ට වල් අලි මරණ 449ක්

81

ගෙවුණු මාස 11ට අලි මිනිස් ගැටුම්වලින් වල් අලින් 449 දෙනකුගේ මරණ සහ පුද්ගලයන් 169 දෙනකුගේ මරණ වාර්තා වූ බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වැඩි පුද්ගල මරණ සහ අලි මරණ මහවැලි වනජීවී කලාපයෙන් වාර්තා වී ඇත. ඒ වල් අලින් 96ක් හා පුද්ගල මරණ 37ක් ලෙසිනි. නැගෙනහිර වන වී කලාපයෙන් වල් අලි මරණ 86ක් සහ පුද්ගල මරණ 35 ද අනුරාධපුර වන ජීවී කලාපයෙන් වල් අලි මරණ 82ක් සහ පුද්ගල මරණ 35ක් ද වාර්තා වූ බව දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මාස 11 ට බඳින තුවක්කු මරුවැල් පෑගීමෙන් සහ වෙඩි තැබීමෙන් වල් අලින් 81 දෙනකු ද විදුලිසර වැදීමෙන් 60 දෙනකු ද හක්කපටස් ගිල සැපීමෙන් 44 දෙනකු ද දුම්රියේ ගැටීමෙන් 22 දෙනකු ද විෂ ශරීර ගතවීමෙන් 04 දෙනකු ද වගා ළිංවලට වැටීමෙන් 04 දෙනකු ද මාර්ග අනතුරුවලින් එක අලියකු ද වෙනත් අනතුරුවලින් 14 දෙනකු ද මියගොස් ඇත. ස්වාභාවික මරණ, හේතු අනාවරණය නොවූ මරණ, ලෙඩ රෝග හේතුවෙන් වූ මරණ ලෙස ද වල් අලි මරණ වාර්තාවී ඇත.

අලි මංකඩ අහුරා සංවර්ධනය කිරීම, ජනාවාස ඉදි කිරීම, ගොවිපළ ආරම්භ කිරීම ඇතුළු කරුණු කීපයක් මත අලි ගමන් ගන්නා මාර්ග අහිමිවී යෑම අලි මිනිස් ගැටුම් ඉහළ යෑමට බලපා ඇති බවත් නීති විරෝධී අනවසර විදුලි වැට සවි කිරීම් අලි මරණවලට බලපා තිබෙන බවත් සඳහන්ය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment