කුඩු කළ යුතු අසංස්කෘතිය(රක්වානේ ලැගුම්හලකදී මියගිය තරුණිය)

1153

මීට දෑවුරුද්දකට පෙර 2021 පෙබරවාරි 28 වැනිදා විශාල බෑගයක් ඇදගෙන කොළඹ ඩෑම් වීදියට පැමිණි මිනිහෙක් එය එහි දමා අතුරුදන් විය. මේ සිද්ධිය වෙන්නේ හවස් වරුවේ ය. පැය ගණනක් තිස්සේ බෑගය එතැනම තිබෙනු දුටු සාප්පු හිමියෙක් එය බෝම්බයක් යැයි සැකකොට පොලිසියට ඔත්තුවක් දුන්නේය. පොලිසිය පැමිණ බෑගය විවෘත කරන ලදි. හිස නැති ගැහැනියකගේ මළකඳක් එහි විය. පැය 24 ක් තුළ බෑගයේ තිබූ මියගිය කාන්තා සිරුර ගැන සියලු දේ සොයා ගැනීමට ඩෑම් වීදියේ පොලිසියට හැකි විය. ඇය තිස් හැවිරිදි කාන්තාවකි. මිය යෑමට පෙර දින රැයේ ඇය පනස් එක් හැවිරිදි පොලිස් පරීක්‍ෂකවරයෙක් සමඟ කඩුවෙල හෝ හංවැල්ලේ හෝටල් කාමරයක රැය ගතකර තිබිණ. ඉතාම පුදුම සිද්ධිය වනුයේ ඇය සහ පොලිස් පරීක්‍ෂකවරයා අතර කිසිම කායික සම්බන්ධයක් එදා ඇති නොවීම ය. කෙසේ වුවද කාන්තාවගේ හිස සොයා ගැනීමට පොලිසියට කවදාවත් බැරි විය. එසේම අපරාධය කළ පොලිස් පරීක්‍ෂකවරයා පණපිටින් අල්ලා ගැනීමට ද පොලිසියට බැරිවිය. දෙදරු පියකු වූ ඔහු සිය නිවස පිටුපස පිහිටි වන ලැහැබකට ගොස් ගෙල වැලලාගෙන තිබිණි.

මේ අවුරුද්දේ මැයි මාසයේ දවසක උදේ වරුවේ කළුතර ලැගුම්හලක් පාමුල බාල වයස්කාර තරුණියකගේ නිරුවත් මළසිරුරක් තිබිණ. ඇය පෙර දා රැයේ සිය පාසල් මිතුරියකත්, ඇගේ පෙම්වතාත්, තවත් තරුණයෙකුත් සමඟ ලැගුම් හලට ගොස් තිබිණ. බාල වයස්කාර දැරිය ගෙදරින් පැමිණ තිබුණේ දන්සලකින් කෑමට යන බව මවට කියමිනි. ඇය කැඳවාගෙන යෑම සඳහා පෙර කී මිතුරිය ඇගේ නිවසට පැමිණ තිබිණි. පෙර කී මිතුරියගේ චර්යාව පිළිබඳව නොපැහැදුණු මව ඇය හා ඇසුරු කිරීම දියණියට තහනම් කර තිබූ නමුදු අවසානයේදී දන්සල් වන්දනාවේ යෑමට බාලවයස්කාර දැරියට ඉඩ ලැබිණ. ලැගුම්හලට ගොස් මත්පැන් පානය කළ බාලවයස්කාරිය ඇතුළු සියලුදෙනා කාමර දෙකක් කුලියට ගෙන ඒවාට ගිය බවත්, පසුව දැරියගේ මළසිරුර ලැගුම්හල පාමුලින් හමු වූ බවත් දැන ගන්නට තිබේ. තවදුරටත් හෙළි වූ කාරණාවලට අනුව මිතුරියගේ පෙම්වතා විසින් මෙම දැරිය පෙර කී පුද්ගලයාට විකුණා තිබිණ. මේ සිද්ධියෙන් පසු බාලවයස්කාරිය සමග කාමරයට ගිය තරුණයා සොයා ගැනීමට අපහසු වූ නමුත් ෆේස්බුක් එකේ තිබූ ඔහුගේ පින්තූරයක් මාධ්‍යයට මුදාහරින ලෙස පොලිසිය මගින් නියම කළ බැවින් සැකකරු හසුවිය. සැකකරුගේ අතේ සහ ශරීරයේ සැලකියයුතු පරාසයක විශාල පච්ච කොටා තිබිණ. ඒ අනුව ඔහුගේ සම පිඹුරු හමක් වැනි විය. එකී පිඹුරු හම හඳුනාගත් සැකකරුගේ මිතුරෝ ඒ බව පොලිසියට දැන්වූහ.

රක්වානේ පොලිස් වසමට අයත් මාදම්පේ ලැගුම්හලක් තුළ මීට දෙතුන් දිනකට පෙර විසි දෙහැවිරිදි තරුණියක් මියගියා ය. ඇය මිය යන්නේ සිය පෙම්වතා සමඟ ලැගුම්හල තුළ සිටියදී ය. පෙනෙන්නට තිබුණේ ඇය ලැගුම්හල් කාමරයේ වැසිකිළිය තුළ එල්ලී මළ බවකි. එහෙත් ඇයට පහර දී ඇති බවත් හෙළිවිය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා දැක්වූ ප්‍රතිචාරය බෙහෙවින් සැක කටයුතු විය. මෙවැනි අවස්ථාවකදී ඉහත සඳහන් පෙම්වතා සිද්ධියට අදාළ ප්‍රමුඛ සැකකරු ලෙස හඳුනාගනු ලැබේ. මන්ද මරණය සිදු වූ කාමරයේ සිටියේ ඔහු හා ඇය පමණි. රක්වාන පොලිසිය මගින් අදාළ තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇප දී නිදහස් කරන ලදි. මෙය ඉතා අභව්‍යය ය. සාමාන්‍යයෙන් පොලිසිය බලන්නේ පොල් ගෙඩියක් හොරෙන් කැඩූ අයකු පවා රිමාන්ඩ් කිරීමට ය. සැකකරු ඇප පිට නිදහස් කිරීම නිසා බලවත් කෝපයට පත් ප්‍රදේශවාසී ජනතාව තරුණියගේ දේහය රැගත් පෙට්ටිය පාර මැද තබා විරෝධතා පවත්වන්නට විය. මේ වෙලාවේදී රක්වාන පොලිසියේ ස්ථානාධිපතිද එහි පැමිණියේ ය. කෙසේ වුවද සෑහෙන වෙලාවකට පසු මියගිය තරුණිය මිහිදන් කරන ලදි.

ඉහත සඳහන් කතන්දර තුනෙන් අප කියන්නට උත්සාහ කරන්නේ රක්වාන පොලිසියේ සියලුම දෙනා ඉන්ටඩික් කළ යුතු බව හෝ වෙනත් පොලිසිවලට මාරු කළ යුතු බව නොවේ. එය පොලිස් දෙපාර්තමේන්තුව විසින් බලාගත යුත්තකි. අපේ අරමුණ වන්නේ ලැගුම්හල් තුළ සිදුවන මිනීමැරුම් සම්බන්ධයෙන් අපේ මතය ඉදිරිපත් කිරීම ය. කළුතර සිද්ධියේදී මියගිය දැරිය බාලවයස්කාරියකි. ඇගේ මිතුරිය ගැන පැහැදීමක් මියගිය දැරියගේ මවට නොතිබුණේ නම් එම ගමනට කිසිසේත්ම ඉඩ නොදීම මව සහ පියාගේ වගකීම විය යුතු ය. එම වගකීම පැහැර හැරීම නිසා මේ දැරියගේ මරණය සිදුවිය. මෙහිදී පිඹුරු සම සහිත සැකකරු නිවැරදි බවත් අප කියන්නේ නැත. ඒ සම්බන්ධයෙන් නීතිය ගනුදෙනු කරනවා ඇත. මේ මව සහ පියා සිය අනිත් දරුවන් සම්බන්ධයෙන් දැඩි චර්යාත්මක ගනුදෙනුවක නිරත විය යුතු බව අපි විශ්වාස කරමු. එය මේ මවට හා පියාට පමණක් සීමා නොවී මුළු ලංකාවේම දෙමාපියන් වෙත පැතිර යා යුතු ය. රක්වානේ ලැගුම්හලේදී මියගිය තරුණියට ලැගුම්හලකට යෑමට තරම් ලිහිලක් ලැබුණේ කොහොමද? ඇය දෙමළ දැරියකි. හින්දු සංස්කෘතිය ඉතා බලවත් ය. විනයානුකූලය. එබඳු විනයානුකූල සංස්කෘතියක් තුළින් පෙර කී තරුණිය පැන යෑම සිදුවිය නොහැක්කකි. එහෙත් මාරදිව්‍ය පුත්‍රයාගේ උපදෙස් අනුව හෝ කර්ම ශක්තිය අවවාද අනුශාසනා මැද හෝ එය සිදුවිය. අපේ රටේ තවත් සංස්කෘතික අවුලක් තිබේ. ඇතැම් පවුල්වල මව්පියෝ කුඩු ගසති. වෙනත් අපචාර ක්‍රියාවල නිරත වෙති. ගෙදරදීම මත්පැන් පානය කරති. මේ සියල්ල දකින දරුවන්ට ජීවිතය යනු අලුත් දෙයක් නොවන ජරාවාස වූ නරා වළකි. එහිදී ඔවුන් කරන්නේ අවසන් සතුටක් ලෙස කම්පැස සොයා ලොජ්වලට රිංගීමය. එතැනදී කළ යුත්තේ ලොජ්එක කුඩු කිරීම නොව දෙමාපියන්ගේ අසංස්කෘතිය කුඩු කිරීමය.

advertistmentadvertistment
advertistmentadvertistment