ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකා

574

පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත වර්ධනය වෙමින් පවතින අර්බුදය සමස්ත සමාජයම වෙලා ගෙන ඇත. ශ්‍රී ලංකාවට අමුතුවෙන් හතුරන් අවශ්‍ය නැත. මේ රට අන්ත අසරණ සහ ව්‍යාකූල කිරීමේ කාර්ය භාරය ජනතාව ඡන්දයෙන් පත් කරන සියලුම ආණ්ඩු අපූරුවට කරන බැවිනි. විදේශීය අතපෙවීම්වලට අවශ්‍ය භූමිය සකස් කිරීම විධායකය සහ ව්‍යවස්ථාදායකය රාජ්‍ය නොවන සංවිධාන ජාලයට වඩා ජාත්‍යන්තරය පැත්තෙන් කරයි. ඊට වඩා හොඳින් යමක් කර ඇත්නම් ඒ ලෝකය පුරාම හිඟා කෑම පමණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වූ විට රතිඤ්ඤා දල්වමින් විකාර කළ වුන් ඉන්න වෙනත් රටක් ලෝකයේ තිබිය නොහැක.

ජාතික සාහිත්‍ය සම්මානලාභී සේන තෝරදෙණිය පසුගියදා ප්‍රකාශයට පත්කළ ‘Galle Face Protest (Systems Change or Anarchy?) ගාලු මුවදොර විරෝධතාව: ක්‍රමය වෙනස් කිරීමක් හෝ අරාජිකත්වයද ? “ශ්‍රී ලංකාව මුහුණ දෙන අතිශය සංකීර්ණ බටහිර අභියෝගය විමර්ශනයට භාජනය කර තිබේ. තවදුරටත් තිව්‍ර වෙමින් පවතින බටහිර මෙහෙයුම සම්බන්ධයෙන් තෝරදෙණිය ඉදිරිපත් කර ඇති කරුණු දැක්වීම විමසා බැලිය යුතු වන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අප්‍රේල් 25 වන දින ප්‍රකාශයට පත්කළ ‘නමය: සැඟවුණ කතාව’ ද ගැඹුරු අවධානයකට ලක් කිරීමෙන් පසුවය.

නමුත් අවාසනාවකට රට මුහුණ දෙන අභියෝගය සම්බන්ධයෙන් වික්‍රමසිංහ – රාජපක්ෂ රජය කිසිදු තැකීමක් කරන බව නොපෙනේ. සමගි ජනබලවේගය, ජවිපෙ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වූ උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ සහ කණ්ඩායම් බටහිර අභියෝගය සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරන බව නොපෙනේ. ජනතා ප්‍රතිචාරයද කනගාටුදායකය.

තම ආන්දෝලනාත්මක පොත ජාතික පුස්තකාල සේවා සහ ප්‍රලේඛන මණ්ඩලයේ ජුලි 05 වන දින ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදී තෝරදෙණිය මහතා සභාව අමතමින් අවධාරණය කළේ තමන් හදවතින්ම බලාපොරොත්තු වූ ජනතා සහභාගිත්වය ඊට නොමැති බවයි.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සහ පොහොට්ටු පක්ෂයෙන් වෙන්වූ කණ්ඩායමේ මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර ව්‍යවස්ථාදායක කවුන්සිලයේ සාමාජික වෛද්‍ය අනුලා විජේසුන්දර, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනිය නීතිඥ දර්ශනී ලහඳපුර, ජිනීවාහි සිටි නිත්‍ය නියෝජිත සී. ඒ. චන්ද්‍රප්‍රේම සහ කවදත් මෙවැනි අවස්ථාවන්හිදී පෙරමුණගත් වෛද්‍ය ගුණදාස අමරසේකර සහ නීතිඥ කල්යානන්ද තිරාණගම එම අවස්ථාවට සහභාගි විය. කතුවරයා පොත පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස සහ සාහිත්‍ය ශූරී අමරසේකරට පිරිනැමීය.

ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදය කළ මැදිහත් වීම නොවන්නට පිටු 286 සමන්විත මෙම පොත ජනාධිපතිවරයා පලවා හැරීමේ පළමුවන සංවත්සරය වෙනුවෙන් කිසිසේත් ප්‍රකාශයට පත් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.

ප්‍රධාන දේශනය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධානී වූ මොහාන් සමරනායක ඉදිරිපත් කළේය. ආචාර්ය අමරසේකර ද සභාව ඇමතීය. ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර තම කෙටි අදහස් දැක්වීමේදී බටහිර බලවේග දේශපාලනික – ආර්ථික – සමාජීය අර්බුදය හරහා බංකොළොත් ශ්‍රී ලංකාව ඔවුන්ට වුවමනා ආකාරයට දක්කා ගෙන යන ආකාරය අපූරුවට පැහැදිලි කළේය. ඔහු අවධාරණය කළේ එම බටහිර මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සුදුසුම පුද්ගලයා වන එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය හොබවන බවයි. නමුත් සභාවේ අවධානය වඩාත් යොමුවූයේ වෛද්‍ය බණ්ඩාර වික්‍රමසිංහ ජනාධිපතිවරයා වීරවංශ මන්ත්‍රීවරයා ‘නමය: සැඟවුණ කතාව’ හරහා එල්ල කළ ප්‍රබලම චෝදනාව වන ගෝඨාභය රාජපක්ෂ ඉවත් කර කථානායක මහින්ද යාපා අබේවර්ධන පත් කිරීමට බටහිර බලවේග (ඇමෙරිකානු තානාපතිනිය ජුලී චන්ග්) උත්සහය තම දේශපාලන වාසියට හරවා ගත් බවයි. එනම් තමන්ටද ඇමෙරිකාව සහ ඉන්දියාව අකමැති බව ජනතාවට ඒත්තු ගැන්වීම ජනාධිපතිවරයාගේ සටකපට ක්‍රියාදාමයේම කොටසක් බවට වෛද්‍ය බණ්ඩාර චෝදනා කළේය.

● ඇමෙරිකානු ව්‍යාපෘතිය ඉදිරියට

මිලියන 6.9 ජනතා ඡන්දයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය ජුලි 09 වන දින පලවා හැරීමට සමත් වූ මෙහෙයුම ආරම්භ වූයේ මාර්තු 31 වන දිනය. ඒ එවකට ජනාධිපතිවරයාගේ මිරිහානේ පැඟිරිවත්තේ පිහිටි පෞද්ගලික නිවාසය ඉලක්ක කර ගෙනය. නමුත් පැඟිරිවත්තේ පුපුරා ගිය ජනතා විරෝධය පිටුපස ඇමෙරිකාව නායකත්වය යටතේ බටහිර සහ ඉන්දියාව සිටි බවට වීරවංශ සහ තෝරදෙණිය කර තිබෙන චෝදනාව ලෙහෙසියෙන් බැහැර කළ නොහැක. (ඉන්දියාව ඇමෙරිකාවේ සංග්‍රාමික අවශ්‍යතා සපුරන රටවල් හතරකින් සමන්විත ූම්ා සංවිධානයේ සාමාජිකයෙකි. එහි අනෙකුත් සාමාජික රටවල් වන්නේ ජපානය සහ ඔස්ට්‍රේලියාවයි).

විදේශීය මැදිහත්වීමෙන් ව්‍යවස්ථාවෙන් බැහැරව ජනාධිපතිවරයකු බලහත්කාරයෙන් ඉවත් කිරීම සමග ඇතිවූ තත්ත්වය තව දුරටත් එලෙසින්ම පවතියි. ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් වසරකට පසුවත් රජය මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරු සහ අනෙකුත් පොහොට්ටු ක්‍රියාකාරීන් ඇතිවූ තත්ත්වය මැඩ පැවැත්වීමට එදා රජය අපොහොසත් වීමට එරෙහිව අභියාචනාධිකරණයේ පැවරූ නඩුව පසුගිය මැයි මාසයේ දී ඉල්ලා අස්කරගත් බව රහසක් නොවේ. ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශය එදා රටේ ඇතිවූ අතිශය විනාශකාරී තත්ත්වය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් කරන බවට අභියාචනාධිකරණයට දුන් පොරොන්දුවක් මත බව නඩුව ඉවත් කර ගත් කණ්ඩායමට අමතක වී ඇතිදැයි සැකයක් ඇතිවේ. එසේත් නැතහොත් වුවමනාවෙන්ම අමතක කර දමා ඇතිදැයි සිතේ. තත්ත්වය අතිශයින්ම ව්‍යාකූලය.

ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකා

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර, දේශීය සහ ජාත්‍යන්තර – දේශීය කුමන්ත්‍රණවලට තෝතැන්නකි. කුමන්ත්‍රණකරුවන්ට ක්ෂේම භූමියකි. විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙන්ම දේශපාලන – ආර්ථික – සමාජීය විශ්ලේෂක තෝරදෙණිය අවධාරණය කරන ඉතාමත් තියුණු ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දීමේ ශක්තියක් ශ්‍රී ලංකාවට තිබේද? ශ්‍රී ලංකාවට එවැනි අභියෝගවලට ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමට ශක්තියක් නැත. කිසිදු වුවමනාවක් ද නැත. පාර්ලිමේන්තුවේ ප්‍රතිචාරය කනගාටුදායකය. රටේ ආරක්ෂාවට එල්ලවී ඇති තර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැඩි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

නමුත් කථානායකවරයා ඇමෙරිකානු තානාපතිවරියගේ ප්‍රබල බලපෑමකට ලක්වූ බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කළ චෝදනාව අසත්‍යයක් බවට අද වනතුරු එතුමා පවසා නැත. තානාපතිවරියට අවශ්‍ය වූයේ ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීමෙන් පසුව තාවකාලික ජනාධිපතිවරයා ලෙස කථානායකවරයා පත් කිරීම බව මන්ත්‍රීවරයකු ප්‍රකාශ කිරීම කිසිසේත් සුළුකොට තැකිය නොහැක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට ද ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් උතසහ කළ බවට වීරවංශ මන්ත්‍රීවරයා කර ඇති ප්‍රකාශය බරපතළය. ජාතික නිදහස් පෙරමුණේ නායක වීරවංශ කර ඇති චෝදනා ගොන්න රඳා ඇත්තේ එක ප්‍රබල කරුණක් මතය. එනම් ඇමෙරිකානු තානාපතිවරිය එම යෝජනාව කිරීමට කථානායකවරයාගේ නිල නිවාසයට පැමිණි බවයි.

නමුත් පාර්ලිමේන්තුව විදේශ මැදිහත් වීම් සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර ඇති බව පෙනේ. ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදා සහ පොලිසිය 2015 ඔක්තෝබර් 01 වන දින ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ එදා යහපාලන රජය පාවාදුන් අවස්ථාවේදීත් පාර්ලිමේන්තුව මේ ආකාරයෙන්ම ක්‍රියා කළේය. අද වනතුරු රටට එරෙහි ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නිල වශයෙන් විරෝධතාවයක් දක්වා නැත. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන කිසිදු පක්ෂයක් නිසි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවට එරෙහි කුමන්ත්‍රණයේ පාර්ශ්වකරුවෙක් වී ඇත.

ජිනීවා පාවාදීම රටට එරෙහි ක්‍රියාදාමය වේගවත් කළේය. එම ක්‍රියාදාමය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අඩු වැඩි වශයෙන් දායකත්වය ඇතිව අතිශය තීරණාත්මක ස්ථානයකට පැමිණ ඇත. පසුගිය දශක දෙකක පමණ කාලයක් තුළ ආණ්ඩු රට බංකොළොත් කිරීම හේතුවෙන් ඇමෙරිකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව තම ග්‍රහණයට හසු කර ගෙන ඇත. එම තත්ත්වය සම්බන්ධයෙන් කතා දෙකක් නැත. බොහෝ දෙනා කෝකටත් තෛලය ලෙස සලකන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකාවේ අවශ්‍යතා සපුරන මෙවලමක් බව මුළු ලෝකයම දනියි. මීට පෙර 16 වතාවක් එම ආයතනයේ මැදිහත් වීම පැතූ ශ්‍රී ලංකාව 17 වරට ගිවිසුම්ගත වූයේ පසුගිය මාර්තු මාසයේදීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟවූ ක්‍රියාවලිය තුළ ජනතාව මහත් වික්ෂිප්තභාවයකට පත්වී තිබේ. සේන තෝරදෙණිය මෙන්ම වීරවංශ හිටපු අමාත්‍යවරයා අවධාරණය කරන ඇමෙරිකානු මැදිහත්වීම විමර්ශනය කළ යුතු වන්නේ වර්ධනය වෙමින් පවතින ආර්ථික -දේශපාලන – සමාජීය පරිහානියට අවධානය යොමු කරමිනි.

නමුත් අවාසනාවකට ගෘහස්ථ ගෑස් මිල රුපියල් 3,000ට අඩුවීම ආර්ථිකයේ නැගිටීමක් නැතහොත් ආර්ථිකය ස්ථාවර වීමක් ලෙස පවා අර්ථකථනය කිරීමට සූදානම් පිරිස් පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත සිටිති.

● ආරක්ෂක බලධාරීන්ගේ අවධානයට

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යුද අපරාධකරුවන් ලෙස නම්කර ශ්‍රී ලංකාව ද්‍රවිඩ ජනතාව සංහාරය කළ බවට කැනඩාව තම පාර්ලිමේන්තුව හරහා කර ඇති චෝදනාව සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව දැනට ගෙන ඇති සමස්ත ක්‍රියාදාමය සිහියේ තබාගෙන සේන තෝරදෙණිය කර ඇති අවධාරණය කිරීම විමසා බැලිය යුතුය. ඒ ජාතික ආරක්ෂාව භාර දේශපාලන සහ දැනට සේවයේ නියුතු මෙන්ම විශ්‍රාමික නිලධාරීන්ගේ වගකීමයි. ජාතික ආරක්ෂාව භාර පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ සභාවටද මෙහිදී සැලකිය යුතු කාර්යයක් කළ හැකිය. අභියෝග ජය ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රධාන වගකීම දේශපාලන නායකත්වය ගත යුතුය.

ජුලි 05 වන දින සභාව අමතමින් සේන තෝරදෙණිය ඇඟ කිලිපොලා යන අනතුරු ඇඟවීමක් කළේය. ඇමෙරිකානු මැදිහත් වීම තුළ වතුකරයේ ඇතිවිය හැකි අතිශය භයානක තත්ත්වය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කළේය. ලංකා කම්කරු කොංග්‍රසයේ (පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රී) ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා මෑතකදී බොගවන්තලාව නගරයේදී පොලිසියට එල්ල කළ තර්ජනයට රජයේ අවධානය යොමුකළ එතුමා වතුකරයේ නැතහොත් කඳුකරයේ සිදු කරනු ලබන ඇමෙරිකානු උසිගැන්වීම පෙන්වා දුන්නේය. ආරක්ෂක අංශ වතුකරයේ ඇතිවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.

ලක්ෂ 69 ක ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා පැය කිහිපයක් තුළ පලවා හැරිය තත්ත්වය යටතේ මේ රටේ ඕනෑම දෙයක් විය හැකිය. ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම ගත් ඉතාමත් අනුවණ තීන්දු තීරණ සහ රාජපක්ෂ පවුලේ මැදිහත්වීම හේතුවෙන් ඇතිවූ විනාශකාරී තත්ත්වය බටහිර මෙහෙයුම වඩාත් වේගයෙන් නිශ්චිත අරමුණු කරා ගෙන ගිය බව අමතක කළ යුතු නැත. නමුත් එම හේතු මත බටහිර සහ ඉන්දියානු බලපෑම නැතහොත් මැදිහත් වීම සුළුකොට තකන තත්ත්වයකට රට කිසිසේත් පත් විය යුතු නැත. ද්‍රවිඩ ත්‍රස්තවාදය කිසිදා නොකළ තර්ජනයක් ශ්‍රී ලංකාවට එල්ල වී ඇත. නමුත් වගකිවයුත්තෝ නිහඬය. නැතහොත් කුමන්ත්‍රණයේ කොටස්කරුවන්ය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment