අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් රෝහලේදීම ගුටි කෙළියක

5206

තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා වාට්ටු දෙකකට

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරුන් දෙදෙනකු රෝහල් පරිශ්‍රය තුළදී ඊයේ (19 දා) දහවල් ඇතිකරගත් ගුටිබැට හුවමාරුවක් හේතුවෙන් තවාල ලබා එම රෝහලේම වාට්ටු දෙකක ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙලෙස නේවාසික ප්‍රතිකාර ලබන්නේ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරයකු හා සාමාන්‍ය වෛද්‍යවරයෙකි.

රාජකාරිය සම්බන්ධයෙන් කලක සිට පවතින ගැටලුවක් හේතුවෙන් දෙදෙනා අතර වචන හුවමාරුවක් ඇතිවී එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇත.

මෙය අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සැලසුම් කාර්යාලය අසලදී සිදුව තිබේ. මෙම වෛද්‍යවරුන් දෙදෙනා ඊයේ පස්වරුව වන විට රෝහලේ වාට්ටු අංක 20 හා 11 ප්‍රතිකාර ලබන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ පිළිබඳ කරුණු විමසීමට රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යාර්ථ විය.

මෙම සිදුවීම රෝහල් කාර්ය මණ්ඩලය හා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් විශාල පිරිසක් ඉදිරිපිටදී සිදුව ඇතැයි ද අනාවරණය වෙයි.
මිහින්තලේ-රංගු චතු

advertistmentadvertistment
advertistmentadvertistment