බෙල්ලම හිරවෙච්ච මිනිසුන්ගේ සේසතම හූරන් කන පිරමීඩ සෙල්ලම

885

එන්නෙ නෙට්වර්ක් මාර්කටින්වලට මුවා වෙලා
මහ බැංකුවෙන් පිරමිඩ් ජාවාරම්වලට ටොක්කක්

මේ වන විට රටේ ජනතාව කෙසේ වෙතත් පාලකයන් සිටින්නේ රටක් රාජ්‍යයක් දිනූ ආකාරයෙනි. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිරිනමන විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය ලැබීමත් සමගය. ජනතාවගේ වුවමනාවට හෝ එසේත් නැතිනම් දේශපාලකයන් ගේ බල කිරීම නිසා හෝ සමහර නගර තුළ රතිඤ්ඤා පවා දල්වා ප්‍රීතිවන ආකාරය දක්නට ලැබිණි. රටේ ජනතාව තදින් සිතට ගත යුතු කරුණ වන්නේ මේ අපට ලැබුණේ මහාමේරුව නොව බිලියන පනස් ගණනක් වන ණය කන්ද තවත් අඩියකින් වැඩි වීම පමණක් බවය.

කෙසේ වෙතත් මේ රටේ ජනතාව සිතනවානම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබීමත් සමග රටේ සියලු ප්‍රශ්න, අර්බුද අවසාන වෙයි කියා එය තරම් මුළාවක් තවත් නැත. ඒ කෙසේ වෙතත් මේ සියල්ලටම පෙර රටේ ඇති මුදල් සූරාගෙන කෑම නැවැත්විය යුතුය. විදෙස් පාර්ශ්වයන්ගේ ආධාර උපකාරයෙන් ම රටේ මිනිසුන් සූරා කන ව්‍යාපෘති සිදුවේ. මේවා සිදුවන්නේ ශ්‍රී ලංකාව තුළ තහනම් පිරමීඩ ජාවාරමක් වශයෙනි. කාලයෙන් කාලයට විවිධ නම් වලින් කරළියට පැමිණෙන එවැනි ජාවාරම් පිළිබඳ පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කළේය. එහි සඳහන් වන ආකාරයට ආයතන තුනක් මෙරට බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට තීරණය කර තහනම් යෝජනා ක්‍රම ලෙස නම් කර තිබේ. එම ආයතන තුන වන්නේ

(1) Fast 3Cycle International (pvt)Ltd

(2) Sport Chain App, Sports Chain ZS Society Sri Lanka

(3) OnmaxDT යන ආයතනයි.

● මොකක්ද මේ පිරමිඩ ජාවාරම

සරලවම කියනවා නම් මහ බැංකුව අර්ථ නිරූපණයට අනුව “පිරමීඩ යෝජනා ක්‍රමයක් යනු යම් යෝජනා ක්‍රමයක් යටතේ කිසියම් පුද්ගලයකු එම යෝජනා ක්‍රමයට වෙනත් අය බඳවා ගැනීමේ හිමිකම ලබා ගැනීම සඳහා ගෙවීමක් කර ඒ සඳහා ආදායමක් ලබා ගන්නා ක්‍රම යයි.” එසේත් නැතිනම් අයෙක් තවත් දෙදෙනෙක් පස් දෙනෙක් හෝ දස දෙනෙක් වැනි සංඛ්‍යාවක් මෙම ජාවාරම සඳහා හවුල් කරගන්නා අතර ඒ පුද්ගලයන් මෙයට ඇතුළුවීමට මුදලක් ගෙවිය යුතුය. එසේ සම්බන්ධ වන පුද්ගලයන් සංඛ්‍යාව 10 දෙනෙක් නම් එම දසදෙනා තවත් දස දෙනා බැගින් මෙයට හවුල් කර ගත යුතුය. එවිට ඔවුන්ගෙන් ලැබෙන මුදලින් කොටසක් කොමිස් මුදල් ලෙස පළමු පුද්ගලයාට ලැබේ. මෙය දිගින් දිගටම පවත්වාගෙන යා නොහැකි ක්‍රමයකි. මුලින් දහයකින් පටන් ගත්තොත් 10, 100, 1000, 10000, 100000, 100000000 වශයෙන් ගුණනය වේ. හයවැනි අදියර වන විට මිලියනයකුත් හත් වන අදියර වන විට මිලියන 10 ක දහයකුත් නමවන, දහවන අදියර වන විට මෙරට ජනගහනය පමණක් නොව සමස්ත ලෝකයේම ජනගහනය තරම් විශාල වේ. මේ ආකාරයට දිගින් දිගටම මේ මෙය පවත්වාගෙන යා නොහැකි බැවින් මේ අවස්ථාව වන විට මෙම පිරමිඩ ජාවාරම පුපුරා ගොස් පිරමිඩයේ අවසන් අවස්ථාවල මුදල් තැන්පත් කළ පුද්ගලයන්ට මුදල් අහිමි කර ගැනීමට සිදුවෙයි.

පිරමිඩ ජාවාරම වෙනත් ක්‍රමයකින්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිගින් දිගටම මෙවැනි වංචාකාර ආයතන පිළිබඳ දැනුවත් කිරීමත් සමඟ ඒවා පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්වූ විට වංචාකාරයන් විසින් නව ක්‍රම ඒ සඳහා භාවිතා කිරීමට පෙළඹී ඇත. ඉන් එක් ක්‍රමයක් වන්නේ සෝලා පද්ධති විකිණීමයි. රුපියල් පනස් දහසක් වටිනා පද්ධතියක් ලක්ෂයක මුදලකට විකිණීම එවන් එක් ක්‍රමයකි. එසේත් නැතිනම් ජංගම දුරකථනයක්, ඔරලෝසුවක් වැනි දෙයක් වුවද මේ ක්‍රමය යටතේ අලෙවි කරනු ලැබේ. මෙලෙස භාණ්ඩ අලෙවි කිරීමේ දී දස දෙනකු වෙනුවට බොහෝ විට නම් කරනුයේ දෙදෙනකු මේ සඳහා ඈඳා ගන්නා ලෙසයි. භාණ්ඩ අලෙවි කළ ද ඒවා අලෙවි කරන්නේ භාණ්ඩයේ මිල මෙන් තුන් හතර ගුණයකට ය. මුදලින් කොටසක් මෙම පුරුකේ ඉහළ සිටින අයට කොමිස් වශයෙන් ලැබේ. මෙම ක්‍රමයේදී ඔබට හැකි තරම් භාණ්ඩය අලෙවි කිරීමට අවශ්‍යතාවක් ඇති නොවේ. විකුණන ප්‍රමාණයට නොව ඔබෙන් පසුව මේ සඳහා සම්බන්ධ කරන ප්‍රමාණය අනුව ඔබේ කොමිස් මුදල තීරණය වේ. මෙම ක්‍රමය බැලූ බැල්මට නීති විරෝධී යැයි නොපෙනුනත් මෙය සැබවින්ම නීති විරෝධී පිරමීඩ ජාවාරමකි.

මෙම ක්‍රමයේදී පහළම ස්ථරයේ අය භාණ්ඩ මිලදී ගැනීමේ දී අහිමි වන මුදල් ඉහළ ස්ථරයේ අයට ලැබේ. මේ සඳහා ජනතාව දායක කරගන්නේ ඉතා වටිනා ඇඳුම් පැළඳුම් හැඳ පැළඳ මෝටර් රථ වලින් පැමිණ සම්මන්ත්‍රණ පැවැත්වීමෙනි. එහිදී බොහෝ විට මෙම පුද්ගලයන් මීට පෙර ඉතා දිළිඳු අයෙකු බවත් මෙයට සම්බන්ධ වීමෙන් පසු මෙවන් ජීවිතයක් ගත කරන බවත් පවසමින් ජනතාව මුළාවේ දමයි. මොවුන්ගේ වැඩිපුරම ඉලක්ක වන්නේ වැඩිදුර අධ්‍යාපනයක් නැති ඉක්මනින් මුදල් ලිපි ඉපයීම ආසාව අවශ්‍යතාව කරගත් පුද්ගලයන් ය.

● නෙට්වර්ක් මාර්කටින් (network marketing)

කොරෝනා වසංගතය පැමිණීමත් සමග බොහෝ දෙනා නිවසේ සිටම තම අවශ්‍යතා සපුරා ගැනීමට වැඩි වැඩියෙන් යොමු වීමක් සිදු වුණි. නිවසේ සිටම online හරහා අධ්‍යාපනය හැදෑරීමට, නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය සුපර් මාර්කට් නොගොස් නිවසේ සිටම ගෙන්වා ගැනීම ආදී නොයෙකුත් දේ online ආකාරයෙන් සිදු කිරීමට පෙළඹීමත් සමග නෙට්වර්ක් මාර්කටින් වැඩි වැඩියෙන් මෙරට ජනතාව අතර ජනප්‍රිය වන්නට විය. නෙට්වර්ක් මාර්කටින් යනු මෙරට තුළ තහනම් ව්‍යාපාරික ක්‍රමයක් නොවේ. යම්කිසි ආයතනයක් නිපදවන භාණ්ඩ අතරමැදියන්ගෙන් තොරව කෙළින්ම පාරිභෝගිකයා අතට පත්කිරීම direct sale වන අතර නෙට්වර්ක් මාර්කටින් යනු direct sale සිදුකරන ලොව පවතින ජනප්‍රියම ක්‍රමයයි. මෙහිදී යම් අලෙවිකරුවෙකුට ආයතනයක භාණ්ඩයක් අලෙවි කිරීමෙන් කොමිස් මුදලක් ලබාගත හැකි අතර අලුතින් අලෙවිකරුවන් බඳවාගෙන ඔවුන් පුහුණු කර ඔවුන් හරහා තවදුරටත් භාණ්ඩ අලෙවි කිරීමෙන් තමන්ට වැඩි කොමිස් මුදලක් ලබාගත හැකි අලෙවිකරණ ජාලයක් තමන් විසින්ම නිර්මාණය කිරීම නෙට්වර්ක් මාර්කටින් වේ. යම් පුද්ගලයෙක් ආයතනයක භාණ්ඩයක් තනිව විකුණනවාට වඩා තමන් විසින් නිර්මාණය කරන ලද ජාලයක් හරහා විකිණීමෙන් වැඩි කොමිස් මුදලක් ලබා ගත හැකි වීම නිසා අද වන විට මේ කෙරෙහි වැඩි වැඩියෙන් යොමු වීමට පටන් ගෙන තිබේ. උත්සාහය, ධෛර්ය හා කැපවීම පවතී නම් මේ හරහා කෙනෙකුට දියුණු විය හැක. මෙම ක්‍රමයත් පිරමීඩ ක්‍රමයට බොහෝ සෙයින් සමාන වුවත් ඊට වඩා වෙනස්කම් රාශියක් පවතී.

● පිරමීඩ ක්‍රමයෙන් network marketing වෙනස් වන්නේ කොහොමද?

මෙම ක්‍රම දෙකේදීම අලෙවිකරණ ජාලයක් නිර්මාණය වන නමුත් මේ දෙකෙහි වෙනස්කම් පවතී. පිරමීඩ ක්‍රමයේ දී මෙම ජාලය තුළට ඇතුළු වීමට විශාල මුදලක් ගෙවිය යුතු වන අතර එසේ නොවන අවස්ථාවලදී යම්කිසි භාණ්ඩයක් අධික මිලකට මිලදී ගත යුතුය. නමුත් නෙට්වර්ක් මාර්කටින් තුළ එසේ වැඩි මිලක් ගෙවා භාණ්ඩ මිලදී නොගත යුතු අතර නියමිත මිලට පමණක් භාණ්ඩ මිලට ගෙන අවශ්‍යතාව ඇති අයට වැඩි වැඩියෙන් විකිණීම තුළින් ලැබෙන කොමිස් මුදල වැඩි වේ. නමුත් පිරමිඩ ක්‍රමය තුළ දී බඳවා ගන්නා සාමාජිකයන් වැඩි වන තරමට තමන්ට ලැබෙන කොමිස් මුදල වැඩි වේ. එහිදී භාණ්ඩ වැඩි වැඩියෙන් අලෙවි කිරීමක් අවශ්‍ය නොවන අතර එසේ අලෙවි කළත් ඔබට වැඩි මුදලක් ලැබෙන්නේ නැත. නෙට්වර්ක් මාර්කටින් තුළ පාරිභෝගිකයා ඉලක්ක කර භාණ්ඩ හා සේවා සැපයීම සිදු කරනු ලබන අතර පිරමිඩ ක්‍රමය තුළ ඉලක්ක කරනුයේ අලුතින් අලෙවි නියෝජිතයන් බඳවා ගැනීමට ය. නෙට්වර්ක් මාර්කටින් තුළ අලෙවි කරනු ලබන භාණ්ඩවල මිල සාමාන්‍ය වෙළඳ පොලේ මිලට සමාන වන අතර පිරමීඩ යෝජනා ක්‍රමයක් තුළ විකිණෙන භාණ්ඩ නියමිත මිලට වඩා හතර පස් ගුණයකින් වැඩිය. මේ ආකාරයෙන් පිරමිඩ ජාවාරම හා නෙට්වර්ක් මාකටින් අතර වෙනස්කම් රාශියක් පවතී.

පිරමීඩ ජාවාරම් පිළිබඳ මහ බැංකුව විසින් නිරන්තරයෙන් සොයා බලන නිසා පිරමිඩ ජාවාරම්කරුවන් භාණ්ඩ අලෙවි කරනුයේ තම අලෙවි නියෝජිතයන්ටම ය. කිසියම් නියෝජිතයෙකු ලෙස බඳවා ගැනීමේදී හෝ පුහුණුව ලබා දීමේදී මුදලක් අය කරනවා නම් හෝ යම්කිසි භාණ්ඩයක් වැඩි මිලට මිලදී ගැනීමට යැයි පවසනවා නම් එය අනිවාර්යයෙන්ම පිරමිඩ ජාවාරමක් වේ.

● මොකක්ද මේ OnmaxDT

ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් රවටමින් ක්‍රියාත්මක වූ OnmaxDT නමැති සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට තහනම් අවසන්ය. මෙහිදී ගනුදෙනුකරුවන් හට මෙහි මුදල් ආයෝජනය කිරීමෙන් මාස 15 කට පසු ආයෝජනය කළ මුදල මෙන් තුන් ගුණයක ලාභයක් ලැබිය හැකි යැයි පවසා ගනුදෙනුකරුවන් රවටමින් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ආයතනය පිළිබඳ සොයා බැලීමේදී මෙම ආයතනය ලියාපදිංචි ලිපිනයේ පිහිටා ඇත්තේ හෝටලයකි. මෙම ආයතනයට වසර 15 ක ඉතිහාසයක් ඇති බවත් කොරෝනා වසංගතයෙන් පසු මෙහි ව්‍යාපාර කටයුතු වෙනස් කරමින් මෙවැනි ව්‍යාපාරයකට සම්බන්ධ වූ බව දැක්වෙන වීඩියෝ පටයක් ඔවුන් නිකුත් කර තිබේ. මෙහිදී ඔවුන් පවසා ඇත්තේ ජනතාව ආයෝජනය කරන මුදල් සමාගම මගින් cryptocurrency (ගුප්ත ව්‍යවහාර මුදල්) ආයෝජනය කිරීම මගින් ලැබෙන ලාභයෙන් කොටසක් ගනුදෙනුකරුවන්ට ගෙවන බවයි.

මෙහි මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ට මෘදුකාංගයක් (app) එකක් හඳුන්වා දී ඇති අතර ඒ හරහා ඔවුන්ට ගිණුමක් ලබා දී එම ගිණුමේ මුදල් ආයෝජනය කළ පසු මුදල් වර්ධනය වන ආකාරය පෙන්වා තිබේ.

ඒ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට හා සූක්ෂමව ඔවුන් රැවටීමටය.

මෙය ඔස්ටේ්‍රලියා සමාගමක් ලෙස හැඳින්වුවත් මුල් පුරුක්වල සාමාජිකයන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇත්තේ ඩොලර් වලින් නොව මෙරට බැංකු පද්ධතිය හරහා රුපියල් වලින් ය. එසේම කිසිදු අවස්ථාවක මුදල් තැන්පත් කිරීමට ගිණුම් අංකයක් පවා ලබා නොදීමට මෙම වංචාකරුවන් පරිස්සම් වී ඇති අතර ගනුදෙනුකරුවන්ගේ මුදල් ලබාගෙන ඇත්තේ මෙම දබප්ංෘඔ ආයතනයට සම්බන්ධ නියෝජිතයන් හරහා ය. මෙම ආයතනය ලංකාවේ ලියාපදිංචි ආයතනයක් නොවනවා පමණක් නොව මුදල් ආයෝජනය කිරීම සඳහා මහ බැංකුවෙන් අවසර නොලත් ආයතනයකි. ලොව පිළිගත් වංචා හෙළි කරන ආයතන වලට අනුව ද මෙම ආයතනය ගනුදෙනු කිරීමට අධි අවදානම් ආයතනයක් ලෙස නම් කර තිබී ඇත.

මේ වන විට මෙම ආයතනය තුළ පහළොස් දහසකට අධික සංඛ්‍යාවක් මුදල් ආයෝජනය කර ඇති අතර මේ තුළ මෙරට නියෝජිතයන් විශාල සංඛ්‍යාවක් ක්‍රියා කර ඇති අතර ඔවුන් නුවර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලට අයත් වෙති.

මෙහි වැඩිපුරම මුදල් ආයෝජනය කර ඇත්තේ ෆේස්බුක් වට්ස්ඇප්, යූටියුබ්, වයිබර් වැනි සමාජ ජාල තුළ දවසින් වැඩි හරියක් නිකරුණේ කාලය කා දමන අතපය සොලවා රැකියාවක් කිරීමට අකැමැති ඉක්මනින් කෝටිපතියන් වීමට සිහින දකින ශරීර හොරු ටිකකි. ඊට අමතරව රජයේ කාර්යාලවල සහ ආරක්ෂක අංශවල නිලධාරීන් ද මෙහි මුදල් ආයෝජනය කර ඇත.

වෙනදා ගම්මානවලට ගොස් කුඩා කණ්ඩායම් රැස්කර දේශන පවත්වා මෙම වංචාවට හවුල් කර ගත්තත් ජනතාව මේ වනවිට විට නෙට්වර්ක් මාකටින් ලේබලය යටතේ ලෙහෙසියෙන්ම zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගත හැකිය. මෙම ආයතනයේ දේශන පවත්වන තරුණ නිලධාරීන්ගේ දේශනයකට සම්බන්ධ වුවහොත් ඕනෑම කෙනෙකුට එහි මුදල් ආයෝජනය කිරීමට සිතෙන තරමටම ආකර්ෂණීය ලෙස ඔවුන් දේශන පවත්වයි. දිනපතාම කොතරම් ජනතාව දැනුවත් කළත් මෙවැනි වංචා සඳහා ජනතාව තවමත් හසුවෙයි.

● පිරමීඩ ජාවාරමට ජනතාව හසුවන්නේ ඇයි

මෙවැනි වංචා සඳහා ජනතාව වැඩිපුරම යොමු වන්නේ බැංකු වලින් ලැබෙන පොලී අනුපාත අඩු වන විටය. එසේම ජනතාව සතුව පවතින මුදල් සීමිත වන අවස්ථාවලදීද කණකර උගස් කර හෝ ඉක්මනින් මුදල් සොයා ගැනීමට ජනතාව පෙළඹේ. මේ හරහා සිදුවන්නේ අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති වීමය.

● පිරමීඩ ජාවාරම්කරුවන්ට දිය හැකි දඬුවම්

මෙවැනි වංචාවකට කුමනාකාරයෙන් හෝ සම්බන්ධ පුද්ගලයෙකුට බරපතළ වැඩ ඇතිව හෝ නැතිව වසර තුනක සිර දඬුවමක් හෝ උපරිමය මිලියනයක දඩයකට හෝ එම දඬුවම් දෙකම පැනවිය හැක.

තවත් පුද්ගලයෙකු අමාරුවේ දැම්මේ ඒ පුද්ගලයාට අලාභයක් වන බව දැන දැනම නම් බරපතළ වැඩ ඇතිව හෝ නැතිව වසර තුනක් සහ උපරිමය වසර 5ක් දක්වා සිර දඬුවමකුත් රුපියල් මිලියන දෙකක් හෝ බඳවාගත් අය යෙදූ මුදල් මෙන් දෙගුණයක් යන දෙකෙන් වැඩි අගයට සමාන දඬුවමක් හෝ මේ දඬුවම් දෙකම හිමි වේ.

මේ ආකාරයෙන් උපයා ගන්නා මුදල්, මුදල් විශුද්ධිකරණය සඳහා හෝ ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදා ගන්නා බවට තීරණය කළ හැකි අවස්ථාවකදී එම මුදල් රජයට පවරා ගත හැකිය.

● ආයතන තුනටම නඩු

(1) Fast 3Cycle International (pvt)Ltd

(2) Sport Chain App, Sports Chain ZS Society Sri Lanka

(3) OnmaxDT

යන ආයතන 3 ට 1988 අංක 30 දරන බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය කරමින් කරමින් කටයුතු කර ඇති බැවින් එහි අධ්‍යක්ෂවරු ප්‍රවර්ධකයන් සහ නිර්මාණකරුවන්ට අපරාධමය නඩු කටයුතු පැවරීමට නීතිපතිවරයා වෙත යොමුකර ඇත.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment