විධායකයට යටවන ව්‍යවස්ථාදායකය සහ අධිකරණය

487

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විපක්ෂයට පමණක් නොව ඔහුව විධායක පුටුවට පත්කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් (පොහොට්ටු පක්ෂයට) ප්‍රබල අභියෝගයකි.

හැත්තෑ තුන් හැවිරිදි එජාප නායක වික්‍රමසිංහගේ දේශපාලන උපාය මාර්ගය අතිශය ප්‍රශ්නකාරිය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන සියලුම දේශපාලන පක්ෂවලට සැබෑ අභියෝගයකි. යටපත් කළ නොහැකි බරපතල අනතුරකි.

වික්‍රමසිංහ විධායකය ලෙස සමස්ත විපක්ෂයට නොනවත්වා ඇති කරන තෙරපුම සුළුපටු නොවේ. එය විශේෂ තත්ත්වයකි. වික්‍රමසිංහගේ මෙහෙයුම විමසා බැලිය යුතු වන්නේ එජාපයට වර්තමාන පාර්ලිමේන්තුවේ ඇත්තේ එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් බව අමතක කරය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ හිමිකරු වජිර අබේවර්ධනය. ඒ 2022 ජූලි සිටය. ඊට පෙර එම අසුනේ සිටියේ වික්‍රමසිංහ ය. එම දෙදෙනාම පිළිවෙළින් ගාල්ල සහ කොළඹ ඡන්දදායකයින් 2020 අගෝස්තුවේ මහ මැතිවරණයේදී ප්‍රතික්ෂේප කළ දිස්ත්‍රික්ක නායකයින්ය.

විපක්ෂයට එරෙහිව ක්‍රියාත්මක වික්‍රමසිංහ – රාජපක්ෂ උපාය මාර්ගය මෙන්ම වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස ගන්නා තනි තීන්දු තීරණ සමස්ත දේශපාලන චිත්‍රය තුළ විග්‍රහ කළ යුතුය. ශ්‍රී ලංකාව මුහුණ දෙන දේශපාලන – ආර්ථික – සමාජීය අර්බුදය වෙනමම විමසා බැලිය යුතුය.

සිවිල් සංවිධාන ඉදිරිපත් කරන විරෝධතා ජනාධිපතිවරයාට අදාළ නැත. පොලිසියේ අවසරය නොමැතිව මහා මාර්ගවල විරෝධතා කිරීමට අවස්ථාවක් නැත. අවශ්‍ය නම් පොලිසියේ සහයට මුගුරුවලින් සන්නද්ධ යුද සෙබළුන් යෙදවීමට ද ජනාධිපතිවරයා පැකිලෙන්නේ නැත. යුද හමුදාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළත්, මාර්තු 08 වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය පැවැත්වූ විරෝධතාව මර්දනය කිරීමට මුගුරුවලින් සන්නද්ධ යුද සෙබළුන් කැඳවූ බව සහතිකය. දෙපාර්ශවයේම වාසනාවට එම සෙබළුන් කිසිදු අවස්ථාවක තත්ත්වය පාලනය කිරීමට යෙදවූයේ නැත.

හැටනව ලක්ෂයක් ඡන්ද ලබා 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය 2020 ඔක්තෝබර් මාසයේ ක්‍රියාත්මක කළේය. ඒ විධායකය තවදුරටත් ශක්තිමත් කිරීමටය. එලෙස ව්‍යවස්ථානුකූලව විධායකය ශක්තිමත් කළ ගෝඨාභය රාජපක්ෂ 2022 ජුලි මාසයේ ගුවන් මගින් රටින් පිටවූයේ ජනාධිපති ලෙසය. ඔහු ජනාධිපති ධුරය අත්හැරියේ විදේශයකදීය. ඒ එජාප ප්‍රධානියාට විධායකය ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමෙන් පසුවය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය 2019 නොවැම්බර් මාසයේ බදු ගොන්නක් කපා හැරීමට ගත් ඉතාමත් අනුවණ තීරණය හත්වන විධායක ජනාධිපතිවරයාගේ අවසානයේ ආරම්භය වූ බව අමුතුවෙන් කිව යුතු නැත. එම තීරණය ගත් අවස්ථාවේදී කැබිනට් අමාත්‍ය ධුර දැරූ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම අද විපක්ෂයේය.

හත්වැනි ජනාධිපතිවරයා බලයෙන් පහකළ ‘අරගල’ ක්‍රියාදාමය ව්‍යවස්ථානුකූල නොවීය. නමුත් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස අටවන ජනාධිපතිවරයා ලෙස පසුගිය ජුලි මාසයේ පත්වන්නේ ව්‍යවස්ථාවට අනුකූලවය. ඒ ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බරයේ දිනාගත් වසර පහේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීමටය. නමුත් එජාප නායකයා පොහොට්ටු පක්ෂයේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ධුරය 2022 ජුලි 20 දින ලබාගත් දිනයේ සිට ක්‍රියාත්මක කර ඇති උපාය මාර්ගය තමන් අටවන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීමට ගත යුතු තීන්දු තීරණවලට එහා ගොස් ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග අවධාරණය කරන්නේ ඔහුගේ අනාගත දේශපාලන සැලසුමයි. ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කළ 20 වැනි සංශෝධනය නිශේධනය කිරීමට 21 වැනි සංශෝධනය වික්‍රමසිංහ 2022 ඔක්තෝබර් ව්‍යවස්ථාවට ඇතුළු කළේ පාර්ලිමේන්තුවට බලය දීමටය. පොහොට්ටු පක්ෂය (බැසිල් – මහින්ද ට හිතවත් කණ්ඩායම ඡන්දය දීමෙන් වැළකී සිටියේය). නමුත් භූමියේ තත්ත්වය හාත්පසින්ම වෙනස්ය.

දරදඬු මුරණ්ඩු ජනාධිපතිවරයකු ලෙස දේශපාලන විරුද්ධවාදීන් හැඳින්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගැනීමට මැලිවූ තීන්දු තීරණ වික්‍රමසිංහ එක නිමේෂයකින් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ඔප්පු කර ඇත. ගෝඨාභය රාජපක්ෂට කිසිසේත් ලබා ගැනීමට නොහැකි වූ බටහිර බලවතුන්ගේ සහයෝගය වික්‍රමසිංහ ජනාධිපතිවරයාට නොමඳව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 විස්තීර්ණ ණය පහසුකම එම බටහිර සහයෝගය අවධාරණය කරයි. නමුත් ශ්‍රීලනිප සහ එජාප නායකත්වය දැරූ ආණ්ඩු ශ්‍රී ලංකාව පත්කළ බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට අවශ්‍ය අඩිතාලම දැමීමට එම ණය පහසුකමට නොහැකිය. ආණ්ඩුව සහ විපක්ෂය එම තත්ත්වය වටහා ගත යුතුය.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. දැනටම ඇමෙරිකානු ඩොලර් බිලියන 55 ණය ගෙවීම පැහැර හැර ඇති ශ්‍රී ලංකාවට ඊට අමතරව තවත් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා ණය ගැනීමට අවස්ථාව ලැබීම කිසිදු වගකීමක් නැති ශ්‍රී ලංකා දේශපාලන ක්‍රමය තුළ අවභාවිතා විය හැකිද? එවැනි බියක් ඇතිවීම සාධාරණය. දහසය වතාවක් මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතු ශ්‍රී ලංකාව නැවත ඒ මාර්ගයේම යෑම අවාසනාවන්ත තත්ත්වයක් නොවේද?

යහපාලන සමයේ නිකුත් කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 ජාත්‍යන්තර බැඳුම්කර අමතක කර කටයුතු කළහොත් ඇති විය හැකි තත්ත්වය භයානකය. ශ්‍රී ලංකාව 2007 සිට 2019 දක්වා මෙම ක්‍රියාමාර්ගය තුළ ලබා ගෙන ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 15.5 න් 12.5 ලබා ගෙන ඇත්තේ 2015-2019 කාලය තුළය.

ආර්ථිකය නැවත ස්ථාවර කිරීමට අවශ්‍ය දේශපාලන සහ සමාජීය වටපිටාව නිර්මාණය කිරීම විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ වගකීමය. එම ආයතන තුනම එම තත්ත්වය ඇතිකිරීමට වගවිය යුතුය. නමුත් පළාත් පාලන ඡන්දය කල් දැමීම සම්බන්ධයෙන් රටේ ඉහළම අධිකරණය මාර්තු 03 වන දින ලබා දුන් තීන්දුව ව්‍යවස්ථාදායකය අභියෝගයට ලක් කිරීම තුළ නව අර්බුදයක් නිර්මාණය වී ඇත.

ජාත්‍යන්තර අරමුදලෙන් ලැබෙන ණය කෝකටත් තෛලය ලෙස පෙන්වා දීම දේශපාලනික වංචාවකි. සමස්ත ජනතාව මුලා කිරීමකි. බටහිර උපාය මාර්ගයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නොනවත්වා ණය ලබා ගත් ශ්‍රී ලංකාව ආර්ථිකය ස්ථාවර කිරීමට අපොහොසත් විය. මෙවර 17 වැනි වරට එම ආයතනය ඉදිරියේ දණ ගැසූ ශ්‍රී ලංකාව මෙවර වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව යටතේ ආර්ථික උපාය මාර්ග උඩු යටිකුරු කිරීමට සූදානම්ද?

හැටන් ප්‍රදේශයේ ජනතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ කළ මැදිහත්වීමට සතුට ප්‍රකාශ කිරීමට රතිඤ්ඤා දැල්වීය. එවැනි දෙයක් වාර්තා වූයේ හැටන් ප්‍රදේශයෙන් පමණක් වීම ඇත්තවශයෙන්ම සතුටට හේතුවකි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපය අන්ත අසරණ විය. ජනතා ඡන්දයෙන් එක මන්ත්‍රීවරයකු තේරී පත්වූයේ නැත. නමුත් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා ලෙස එජාප නායකයා මෙම තීරණාත්මක කාල පරිච්ඡේදයේ ගත් ක්‍රියාමාර්ග තුළ එජාපය නැවත ගොඩනැගීමට අවශ්‍ය ප්‍රවේශය ලබා ගෙන ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ මැදිහත් වීමත් සමගම යහපාලන මුදල් අමාත්‍යවරයා ලෙස (2015 ජනවාරි 12 සිට 2015 ජුනි 26 දක්වා සහ 2015 සැප්තැම්බර් 04 සිට 2017 මැයි 22 දක්වා) රවී කරුණානායක ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. එම මාධ්‍ය නිවේදනයට ශීර්ෂය වූයේ ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්මුතියෙන් ධනාත්මක ආර්ථික වාසි ලැබෙන බව රවී කියයි.’ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය අතරේ වුවද බාහිර ණය ගෙවීම් සහ සාර්ව ආර්ථික ගැලපීම් හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් මෙන්ම විදෙස් සංචිත ඉහළ නැංවීමට එම විස්තීරණ ණය මුදල භාවිතා කෙරෙන බව හිටපු අමාත්‍යවරයා පවසා ඇත.

මෙම නිවේදනයට අනුව ශ්‍රී ලංකාව 16 වැනි වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විදෙස් සංචිත ඉහළ නැංවීමට සහ ගෙවුම් ශේෂ ගැටලුවක් මග හරවා ගැනීම සඳහා 2019දී ලබා ගත් ඩොලර් බිලියන 1.5ක ණයක් ඵලදායී ලෙසින් හැසිරවීම සඳහා කරුණානායක මහතා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. හිටපු අමාත්‍යවරයා කළ මෙම ප්‍රකාශය විමසා බැලිය යුතු වන්නේ 2017 මැයි 22 දින එවකට මුදල් සහ විදේශ අමාත්‍යවරුන් වූ රවී කරුණානායක සහ මංගල සමරවීර අමාත්‍යාංශ දෙක මාරු කර ගැනීම ද අවධානයට ලක් කරමිනි.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ජිනීවා මානව හිමිකම් කොමිසමට පාවාදීම (2015 ඔක්තෝබර්) සහ මහ බැංකු බැඳුම්කර වංචා (2015 පෙබරවාරි සහ 2016 මාර්තු) පසුව මෙම ඇමැති මාරුව සිදුවිය. ඒ එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එකඟත්වයෙනි.

යහපාලන ජනාධිපති සිරිසේන අද පොහොට්ටු මන්ත්‍රීවරයෙකි. කැඩී විසිරි ගිය ශ්‍රීලනිපයේ නායක සිරිසේන 2019 පාස්කු ඉරිදා තව්හිත් ජමාත් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නඩු කටයුතුවල හිරවී ඇත. ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරු 14 දෙනාගෙන්, වැඩි ප්‍රමාණයක් වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුවට එකතු වී ඇත. සමහරු අමාත්‍ය ධුර ලබා ගෙන ඇත. මෑතකදී විමල් වීරවංශ චෝදනා කළේ වර්තමාන කෘෂිකර්මාන්ත අමාත්‍ය ශ්‍රීලනිපයේ මහින්ද අමරවීර එල්. ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් පවා ඇමැති ධුරයක් ගැනීමට පැකිලෙන්නේ නැති බවයි. ඒ අම්බලන්තොට පැවැති රැස්වීමකදීය. සම්පූර්ණයෙන්ම කඩා වැටුණ එජාපයේ නායක වික්‍රමසිංහ අද ජනාධිපති පුටුවේය. පක්ෂය ගොඩනැගීම ද ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පළමුවරට රට බංකොලොත් වීම සහ එම තත්ත්වයෙන් ගොඩ ඒමට තවත් ණය වීම දේශපාලන තුරුම්පුවක් බවට පත්වී ඇත.

මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත් ණය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට නොහැකි වූයේ මන්ද? දහසය වතාවක් අසාර්ථක වූ ක්‍රියාදාමයක් මෙවර සාර්ථක කර ගන්නේ කෙසේද? රට බංකොලොත් කිරීමට වගකිව යුතු දේශපාලන නායකත්වය වර්තමාන අභියෝග සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යනයක් කළ යුතුය. පාර්ලිමේන්තුව ආයතනයක් ලෙස තම වගකීම් ඉටු කළ යුතුය. ණය පිට ණය ගැනීමෙන් ආර්ථිකය ස්ථාවර කළ නොහැකි බව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයටම මතක් කර දීමට අවශ්‍ය නැත. ආර්ථික ඝාතකයෝ කවුරුදැයි රටම දනිති. නමුත් ආර්ථික ඝාතකයෝ රටේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිති.

ශ්‍රී ලංකාව ඛේදවාචකයක් නොවේද?

අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු), ජනාධිපති ලේකම් කාර්යාලය රජිත් කීර්ති තෙන්නකෝන් මාර්තු 21 දින අන්තර්ජාලයට ලියා තිබූ ‘IMF පාර වහන්න පුළුවන් කාටද?’ ශීර්ෂය සහිත ලිපිය මූල්‍ය අර්බුදය සම්බන්ධව උනන්දුවක් දක්වන අය කියවිය යුතුමය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කියවිය යුතුමය. විස්තීර්ණ ණය මුදල හෝ ඒ ඇසුරේ ක්‍රියාත්මක ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු, ද්වි පාර්ශ්වික හෝ බහු පාර්ශ්වික සහනයන් ලබා ගැනීමට වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව කළ යුතු ප්‍රධාන කරුණු කාරණා 11 තෙන්නකෝන් පෙන්වා දී ඇත. හිටපු ඌව, දකුණ සහ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරය දැරූ තෙන්නකෝන් පවසන්නේ ආණ්ඩුව කළ යුතු කාර්ය සරල නොවන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට දුන් ණය සහන 6 ක් අතරමඟ ඉවත් කර ගත් බවට ද ඔහු අවධාරණය කර ඇත. තෙන්නකෝන් එම ලිපිය අවසන් කර ඇත්තේ “අද අප සිටින්නේ ඒ සියල්ලට වඩා දුෂ්කර අවස්ථාවක ය. දැන් අපට යන්නට IMF මාවත තිබේ. එයට අකැමැති නම් නැවත, මාස 6 කට පෙර පෝලිමේ මැරී වැටුණු යුගයට නැවත යා හැකිය. ඉන්ධන ගෑස් නැති යුගයට යා හැකිය.”

රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මීට මාස කීපයකට පෙර චමුදිත සමරවික්‍රම සමඟ හිරු නාලිකාවේ ‘සලකුණ’ දේශපාලන සංවාදයේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රැවටූ බවට ප්‍රකාශ කළේය. මුදල් නියෝජ්‍ය අමාත්‍ය සහ කැබිනට් නොවන රාජ්‍ය ආදායම් සහ මුදල් අමාත්‍ය ලෙස (2007 සැප්තැම්බර් සිට 2010 අප්‍රේල් දක්වා) කටයුතු කළ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයා කරන එම ප්‍රකාශය කෙතරම් බරපතලද? අමාත්‍යවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන වශයෙන් හේතුවූයේ මීට පෙර රජයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම් පොරොන්දු වූ පරිදි ක්‍රියාත්මක නොකිරීම සහ එම ආයතනයට ශ්‍රී ලංකා ආණ්ඩු වංක වීම නිසා බවයි. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වගකීම පිළිබඳව ද බරපතල ගැටලුවක් මතුවේ. රාජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුව තිබිණි. දහසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත් ශ්‍රී ලංකාව කී වරක් එම ආයතනය රැවටුවාද? ඔහු මුදල් නියෝජ්‍ය ඇමැති සහ රාජ්‍ය ආදායම් සහ මුදල් ඇමැති ලෙස (කැබිනට් නොවන) එලෙස කී වරක් ගිවිසුම කැඩුවාද? සියඹලාපිටියගේ ප්‍රධානියා වූයේ එවකට මුදල් අමාත්‍යවරයා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂයි.

පසුගිය වසරේ සැප්තැම්බර් 01 දින නිලධාරී මට්ටමින් එකඟවූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ණය එයින් මාස හතකට පසුව යථාර්ථයක් වී ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 56 ණය ගෙවාගැනීමට නොහැකි ශ්‍රී ලංකාවට තවත් බිලියන 2.9 ණය ප්‍රදානය කර ඇත. ඒ හරහා තවත් ඩොලර් බිලියන හතක ණය ගැනීමට අවස්ථාව ලබා දී ඇත. ශ්‍රී ලංකාව ඉතාමත් තීරණාත්මක සහ අනතුරුදායක තත්ත්වයකට මුහුණ දෙන බව පැහැදිලිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 18 වැනි ණය පහසුකම ලබා ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවන බව ජනතාව සිහියේ තබා ගත යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment