උතුර – නැගෙනහිර දාගැබ් බැඳීම සහ දාගැබ් බිඳීම

262

දීර්ඝකාලීනව පැවති කොටි ත්‍රස්ත යුද්ධය නිමාවීමෙන් පසුව යටිතල පහසුකම් සංවර්ධනය වීමත් සමග ඇති වූ පරිවර්තනය වඩාත්ම බලපෑම් ඇති කරන ලද්දේ වෙහෙර විහාරස්ථාන ගොඩනැන්වීම සම්බන්ධයෙනි. නිදහස ලැබූ අවදියේදී නාග ද්පීපය සේරුවිල දහ දීඝවාපිය වැනි අතිශය වැදගත් බෞද්ධ සිද්ධස්ථානයන් නැවත පිළිසකර කරනු ලැබූවේ දකුණේ විසූ සැදැහැවත් බෞද්ධ පින්වතුන් ගේ දායකත්වයෙනි.

මේ පරිවර්තනයත් සමග විහාරස්ථානයන් සමග දකුණේ වෙළෙඳ ව්‍යාපාරයන් පවා උතුරේ විවෘත විය. දකුණේ බේකරි කර්මාන්තය යාපනයට පැමිණියේ මෙලෙසිනි. නමුත් අසූව දශකයේ දී විහිදුවන ලද දෙමළ ඊළාම් ද්‍රවිඪීකරණ සංකල්පය මත ඇවිලවූ යුද්ධය නිසා 1987 වන විට උතුරේ සිටි සිංහලයන් පළවා හැරීමේ ව්‍යාපාරයක් බවට පත් විය. මෙම යුද්ධය අවසන් වීම මත නැවත පෙර පැවති තත්ත්වයට යා යුතුව තිබුණි. උතුරු නැගෙනහිර ජීවත් වූ දෙමළ ජනතාව සමග පෙර පැවති සහෝදරාත්මක ජීවන රටාව නැවත ගොඩනැන්විය යුතු විය. මේ සඳහා උතුරට වැඩම කරලූ ගරුතර මහා සංඝරත්නයෙන් ඉටු වූයේ මහඟු යුතුකම් සමුදායකි. යුද හමුදාවත් අනෙකුත් ආරක්ෂක අංශත් තමන්ගේ කඳවුරු භූමියෙන් පිට ජීවත් වන ජනතාවට සලකන ලද්දේ බේදයකින් තොරවයි. ඒ නිසා උතුරේ විහාරස්ථාන ගොඩනැඟීම යනු දෙමළ ජනතාවට විරුද්ධ වීමක් ලෙසට ඔවුහු කල්පනා නොකළහ.

උතුර සහ නැගෙනහිර ප්‍රදේශයන්හි 2009 වර්ෂයෙන් පසු විශේෂයෙන්ම 2012 වර්ෂයේදී පමණ ආරම්භ කරන ලද පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවලදී අනාවරණය වූ පුරාවිද්‍යා ස්ථාන 1700 කට වැඩි තරම්ය. 1981 දී සිරිල්මැතිව් මහතා විසින් පළ කළ යුනෙස්කෝවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තිබුණේ 276 ක් පමණි. නමුත් ඒ සීමාවට වඩා එහායින් මෙම ස්මාරකයන් විසිරී පවතින බවට තොරතුරු හෙළි විය. මේවායින් සාතිශය බහුතරයක් බෞද්ධ ස්මාරකයන් බවටද හෙළි විය. ඒ තත්ත්වය තුළ අරිසිමලේ සෙම්බු මලේ කුච්චවේලි මාතොට විහාරය කුරුන්දි විහාරය සපුමල්ගස්කඩ කන්කසන්තුරේ තිස්ස විහාරය මුහුදු මහා විහාරය සහ දීඝවාපිය ආදී ඉතා වැදගත් බෞද්ධ සිද්ධස්ථාන රැසක් පිළිසකර වන්නට විය. දීඝවාපියට ප්‍රථම වරට හමුදාවේ දායකත්වය ලබා දෙමින් එහි ගර්භය බැඳීමේ කොටස නිමා කරන්නට උත්සුක වී තිබේ.

දාගැබ් බඳින්නෝ දෙවිලොට යති දාගැබ් බිඳින්නෝ අපායගාමී වෙති. වෙතරණි නම් නරකයේ උපදිති. මේ පිළිබඳ පොතපතින් පමණක් නොව අපේ ගම්වල විහාරස්ථානයන් තුළ බිතු සිතුවම් මගින් ද පෙන්නුම් කර තිබේ. විහාරස්ථානයක තිබෙන වැදගත් අංග අතරින් බෝධිය සහ චෛත්‍ය ප්‍රධාන වෙති, පිළිම ගෙය හැදුණේ පසුකාලීනවයි. සිරිපතුල් ගල් ආසනඝර ආදී බෞද්ධ වාස්තු විද්‍යාවේ වැදගත් සන්ධිස්ථානයන් පසු කර යන විට මේ විහාර අංග පිළිබඳ වැදගත් කමත් ඒවා වන්දනාමානයෙන් සිදුවන කුසල් පිළිබඳවත් අපට දැනුමක් ලබා දේ. මිහිඳු මහරහතන් වහන්සේ කලක් බුදුරඳුන් නොදුටු බැවින් දඹදිව වඩිනු කැමතිව දේවානම් පියතිස්ස රජුට සැළකර සිටියහ. මිහිඳු මා හිමියන් මෙයින් අදහස් කරන ලද්දේ සර්වඥ ධාතු නුදුටු හෙයින් බව අවබෝධ කරගත් රජු ධාතු නිධාන කොට ගත් චෛත්‍යයක් ගොඩනංවා යොදුනෙන් යොදුනටද කුඩා චෛත්‍ය ගණනාවක් ද කරවූ බැව් සඳහන්ය. ධාතු පිහිටුවා දාගැබක් කරවීම බුදු රඳුන් ඒ විහාරස්ථානයෙහි වැඩ වාසය කරවා ගැනීමක් ලෙස සලකා තිබේ. චෛත්‍යය වැඳ බෝමළුවට පිවිස බුසුරඳුන් හමුවෙහි මෙන් යටහත් පහත් පැවතුම් දක්වා බෝධිය වැඳිය යුතු යැයි සූත්‍ර දේශනාවල සඳහන් ය. චෛත්‍යයක් වන්දනා කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමයක් විය. එම වන්දනා ක්‍රමය සකස්ව තිබෙන්නේ බුදුන් වහන්සේට වන්දනා මාන කළ පිළිවෙල අනුව යැයි සිතිය හැකිය.

උතුර - නැගෙනහිර දාගැබ් බැඳීම සහ දාගැබ් බිඳීම

සැරියුත් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේට කළ අවසන් වැඳුම පිළිබඳව ධර්මග්‍රන්ථයන්හි විස්තර වෙයි. තෙරුන් වහන්සේ තුන් වරක් බුදුරඳුන් පැදකුණු කොට සිව් තැනක සිට වැඳ වැටී හිමියනි මම ඔබගේ දැකීම පැතුවෙමි. මාගේ ප්‍රාර්ථනාව සමෘධ වී යැයි කීය. ඔබ වහන්සේ දුටු වෙමි. ඒ මුල් දැකීමයි. මේ අන්තිම දැකීමයි. මෙසේ වදාරා දොහොත් මුදුන් තබා වැඳගෙනම පේන තෙක් දුර මුහුණ බලාගෙනම පසුපසට ගොස් මෙතැන් පටන් චුති ප්‍රතිසන්ධි වශයෙන් නැවත කිසිම තැනක ඉපදීමක් නැතැයි වැඳ වැටුණු බව දක්වා ඇත.

මේ සම්ප්‍රදාය අනුගමනය කළ සිංහල බෞද්ධයන්ට ඔවදන් දුන් භික්ෂූන් වහන්සේලා මෙසේ කීහ. මහා සෑයක් නම් තෙවරක් පැදකුණු කොට සතර තැනක පසඟ පිහිටුවා වැඳිය යුතුය. කුඩා සෑයක් නම් එසේම ප්‍රදක්ෂිණා කොට අට තැනක සිට පසඟ පිහිටුවා වැඳිය යුතුය. දුටු ගැමුණු මහ රජතුමා විසින් කරවන ලද රුවන්වැලි මහා චෛත්‍යය මහා චෛත්‍යය නමින් හැඳින්වේ. අන්‍ය චෛත්‍යවලට වඩා පූජනීය වස්තු නිධන් කොට ඇති හෙයින් අසදෘස මහා සෑය නමින්ද ප්‍රකට ය. මෑත කාලයේ දී අසදෘස සෑයක් බැඳු වී නම් ඒ කූරගල අසදෘස ශාක්‍ය සිංහ චෛත්‍ය රාජයාණන් වහන්සේය. චෛත්‍ය විකාශනයේ දී නොයෙක් අංග එකතු වී තිබේ. බුබ්බුලාකාර ධාන්‍යාකාර පද්මාකාර ඝණ්ඨාකාර ඝඨාකාර ආදී වශයෙන් හැඩයන් කීපයකි. මල් පිදීමේ තැන් වශයෙන් පුප්ඵදාන නැතිනම් මල් පියවසා යනුවෙන් වේදිකාවකි. මෑතකදී සංරක්ෂණය කරන ලද කුරුන්දි විහාර පද්මාකාර ස්ථූපයේ තුන් මහල් පේසාවක් ඇත. පොළොන්නරු යුගයේ දී තවත් අතකින් චෛත්‍ය නිර්මාණයන් විකාශනය විය. රන්කොත් වෙහෙර සහ කිරිවෙහෙරේ පාදයන් වටා බුදු පිළිම සහිත කුඩා පිළිම ගෙවල් අටක් පිහිටා තිබේ. අනුරාධපුර මුල් යුගයේ එසේ නැත.

චෝල අක්‍රමණයන් නිසාද කාලිංග මාග උපක්‍රම නිසාවෙන්ද නටඹුන්ව ගිය චෛත්‍ය නැවත ගොඩනැන්වීම ආරම්භ කරන ලද්දේ විසිවන සියවස්හි මුල් භාගයේ සිටය. සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් කරන මේ කටයුතු බුදුරඳුන් වෙනුවෙන්මය යන පැරණි මග සිංහල බෞද්ධයන් අතින් අනුගමනය විය. රුවන්මැලි සෑය කතරගම කිරි වෙහෙර ආදිය නැවත එලෙස පිලිසකර කර සුදෝ සුදුවන්ව බබළන ස්වරූපයෙන් කොත් පැළන්දුවද පුරාවිද්‍යාවට පවරා ගැනීමෙන් පසු ජේතවනයත් අභයගිරියත් පමණක් නොව පොළොන්නරු රන්කොත් වෙහෙර කිරි වෙහෙර ආදියද කපලාරු කිරීමටද නොහැකි විය. ජේතවනාරාම පුවරු ලිපියෙහිදී සතරවන මිහිඳු රජු පවසා ඇත්තේ නවකම් කිරීමටය. නොබෝසත්හු නොරජ් වම් යැයි එතුමා පවසා ඇත්තේ මෙවැනි පුණ්්‍යකර්මයන් නොකර රජකම් කළත් පළක් නැතැයි හඟවන්නටයි. ඉතින් ජේතවනයත් අභය ගිරියත් සුණු පිරියම් කොට කොත් පැළැන්දූ දිනයට රටම එකසේසත් වනවා නිසැකය.

වර්තමානයේ දී විශේෂයෙන්ම උතුරු නැගෙනහිර චෛත්‍යයන් තහවුරු කරවන්නටද බාධක පවතී. නීතිමය බාධා පවතී. කිලිනොච්චියේ උරතිපුරම් දාගැබත් කන්නියා උණු වතුර ළිං ළඟ තිබෙන දාගැබත් තහවුරු කරවීමට ගිය නිලධාරීන්ට බැණ තර්ජනය කොට ආපසු එවූහ. නඩු දැමූහ. මේ දාගැබ් හි පේසාව ළඟින්ම ගිහියන්ගේ ටොයිලට් වළවල් හෑරීමටද නිවෙස් සෑදීමටද උත්සුක වී සිටිති. සමලන්කුලම දාගැබ සහ යාපනයේ වෙහෙර පිටිය දාගැබ් උදාහරණ වෙති. මේ ඉඩම් මැන වෙන් කිරීමට ආරක්ෂා කිරීමට ඇමැතිවරුන් පමණක් නොව ජනපතිවරුන්ද අගමැතිවරුන්ද තහංචි පණවති. යහපාලන සමයේ දී එවැනි තහංචියක් පැණවූ පුද්ගලයා අද ජනපති වී සිටී. මේ තත්ත්වය නිසා දාගැබ් හැදීමේ ශීඝ්‍රතාවයට වඩා දාගැබ් කැඩීමේ ඩෝසර කිරීමේ ක්‍රියාවලිය යස රඟට සිදු වේ. මඩකලපුවේ තිරුකෝවිල් දාගැබ දෙපළු කරලූයේ ඉඩම් තණ්හාවටයි. ප්‍රථමයෙන් පැහැදිලි කළ ලෙස දාගැබ් සෑදීමෙන් දෙව්ලොව වෙතද දාගැබ් බිදීමෙන් නරකයෙහිද උප්පත්තිය ලැබීමට හේතු වෙයි. මේ ගැන නිමි ජාතක කතා වස්තුවෙහි හොඳින් පැහැදිලි කර දී තිබේ. ඉතින් අද උතුරෙහි සෑදෙන දාගැබ් දෙස බලමින් අප සාධුකාර නොදෙන්නේ මන්ද.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment