බිලට බය නැති රටට බර නැති සූර්යාලෝක පූජාව

172

ක්‍රෝධ සිතින් පානා විරෝධය වෙනුවට හත්බෝධි විහාරය රටට ලබාදුන් ආදර්ශය

“බිලට හෝ අඳුරට ශාප කර කර ඉන්න එපා. අපේ රටේ මුදල් වෙනත් රටකට ගලා යන්න
දෙන්නත් එපා. අපේ ආලෝකයෙන්ම, අපි විදුලිය නිපදවාගෙන ආලෝකමත් වෙමු.
සූර්ය බලයෙන් රටේම පන්සල් එළිය කරමු.”
විහාරාධිපති කනවැරැල්ලේ කස්සප හිමි

“මට පුංචි ඉල්ලීමක් මේ ගැන කරන්න තියෙනවා. අනිත් පන්සල්වල ඉන්න දායක
දායිකවන්ගෙනුත් මම මේ පූජාව සිදු කරන ලෙස ඉල්ලනවා. විශේෂයෙන්ම පන්සලේ
සල්පිලක් හරි පවත්වලා කමක් නැහැ, ගමේ සියලු දෙනා එකතුවෙලා,
මේ වගේ සූර්ය පැනල ගමේ පන්සලට සවි කරන්න.”
සූර්යාලෝක පූජාවේ දායිකා උදේනි පෙරේරා

දීපදෝ හෝති චක්ඛුදෝ යනුවෙන් ආලෝකය දෙන තැනැත්තා ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ඇස් ඇත්තේද, ආලෝකය නැති තැන අන්ධය. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණය. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝක පූජාව, ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. උපනුපන් ජාති මනා ලෙස ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, හේතු වන පින්කමකි. රටේ පවතින වාතාවරණය අනුව ආලෝක පූජාව ප්‍රඥාවන්ත ආකාරයෙන් ඉටුකිරීමට හෙවත් ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්තව ආලෝක පූජාවක් සිදු කිරීම පිළිබඳව අපට දැන ගැනීමට ලැබුණේ කළුබෝවිල ප්‍රදේශයෙනි.

බිලට බය නැති රටට බර නැති සූර්යාලෝක පූජාව

කළුබෝවිල හත්බෝධිය විහාරය මෑත භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ දියුණුවට පාත්‍ර වූ විහාරස්ථානයකි. බෝධීන් වහන්සේ සත් නමකින් යුක්තවූ, හත්බෝධි විහාරය අද ආලෝකමත් වන්නේ රටට බරක් නොවී, සූර්යය බලයෙනි. වසර නවයකට පසු පසුගිය සමයේ, විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ මත පළ කළහ. එයින් බොහොමයක් අදහස් විරෝධා කල්ප මත පදනම් වූ ඒවා විය. විශේෂයෙන්ම විහාරස්ථානයන්හි විදුලි බිල ඉහළ යෑම සම්බන්ධයෙන් චෝදනා මතු වන්නට විය. එවැනි ඇලීම් ගැටීම සඳහා යනවා වෙනුවට, රටේ ජාතික බලශක්තිය සඳහා සවිබලයක් වීමේ ආදර්ශය, හත්බෝධි විහාරය පෙන්වා දී තිබේ.

මේ, අඳුරට ශාප කරනවා වෙනුවට, එක් පහනක් දැල්වීම යහපති යන ගණයේ සමාජ සත්කාරයකි. ඊටත් වඩා අගනා, ආලෝක පූජාවකි. ත්‍රිවිධ රත්නය උදෙසා, සිය ගෞරවය, පිංකමක් කොට ගත් මෙම පූජාව පිළිබඳව ‘දිවයින’ සටහන් ගොනු කරනුයේ, විවේචනය ඉක්මවා පිළියම් යෙදීමේ දායක කාරකාදීන්ගේ උසස් ගුණය විදහා දැක්වීමට පමණක් නොවේ.

තම තම හැකි පමණින්, ජාතික බලශක්තිය පෝෂණය උදෙසා හත් බෝධි විහාරය ගත් මග, අනෙක් ආගමික ස්ථාන සඳහා ද ආදර්ශයක් වනු පිණිසය.

“අපේ විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ හත් අට නමක් වාසය කරනවා. රටේ අර්බුදයක් ඇතිවූ විට, ඒ පිළිබඳව අපත් මහා සංඝරත්නය ලෙස දැනුවත් විය යුතුයි. විශේෂයෙන්ම මෙම බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් අපි මූලික වශයෙන්ම අවධානය යොමු කරන විට, තේරුම්ගත යුත්තේ, අපිට සම්පූර්ණ විදුලිබලය ජල විදුලියෙන් පමණක් පිරිමසා ගැනීමට හැකියාවක් නැහැ කියන එක. අපේ විදුලි බල සැපයුම සඳහා තෙල් සහ ගල් අඟුරු කියන දෙකම ගෙන එන්නේ, පිට රටින්… ඒ සඳහා වැය වෙන්නේ අපේ රටේ මුදල්. හැමදෙනාම කටට එනවාට කියනවා “අපේ රටේ හිරු එළිය තියෙනවා, ඇයි අපි එයින් විදුලිය ගන්නේ නැත්තේ කියලා”

ඒත් කවුරුත් ඒ සඳහා යොමුවෙන්නේ නැහැ. මේක ආණ්ඩු පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි. අපේ රට ගැන ප්‍රශ්නයක්. අපි විශේෂයෙන්ම ඒ රටේ මහාසංඝයා වහන්සේ ලෙස, රටේ ජනතාවට ආදර්ශ සම්පන්න ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. රටට බරක් නොවන, අපේ රටේ සම්පත් මගින්, අපේ අවශ්‍යතා විසඳා ගැනීමේ ක්‍රමවේද සඳහා අප යායුතු වෙනවා. අපේ විහාරස්ථානයේ මාසික විදුලි බිල, මීට පෙර රුපියල් 12000ක් පමණ වුණා. නව ගාස්තු සංශෝධනය යටතේ අපේ විදුලි බිල රුපියල් හතළිස් පන්දාහක් පමණ වුණා.

බිලට බය නැති රටට බර නැති සූර්යාලෝක පූජාව

ඒ බිල පැත්තෙන්… ඒ වගේම සමහර කාලවලදී පැය ගණන් විදුලිය විසන්ධි වුණා. එතැනදී අපි හැමෝම අපහසුතාවයට පත්වුණා. මේ පන්සලේ නොකඩවාම සවසට ආගමික වතාවත් කෙරෙනවා. ඒ සඳහා වැඩම කරන මහා සංඝරත්නයට සහ දායක දායිකාවන්ට එම විදුලි විසන්ධිය ලොකු දුෂ්කරතාවයක් වුණා. මේ පිළිබඳව මගේ දැක්ම වුණේ, අපි සූර්යය කෝෂ මගින් විදුලිය ලබා ගැනීම සඳහා යායුතු බවයි. එම ස්ථාවරයේ මම සිටින විට තමයි, දායිකාවක් මේ සඳහා මුල් වුණේ. එතුමිය තමයි උදේනි පෙරේරා මහත්මිය… යම් මුදලක් අතේ තියාගෙන, ජෙනරේටරයක් ගැනීම සඳහා ඇය ගොස් තිබෙනවා. ඇය එම ස්ථානයට මේ විස්තරය කියලා තියෙනවා… “මේක මම මිලදී ගන්නේ, අපේ පන්සලට…” කියලා. ඒ සාප්පුවේ හිමිකාර මහත්මයා, මේ දායිකාවට අනගි අදහසක් දීලා තියෙනවා. “ඔබතුමිය මේ විදුලි ජනක යන්ත්‍රය අරගෙන යන එක අපිට හොඳයි. ඒත්, ඔබ සොයන ප්‍රශ්නය සඳහා මෙම යන්ත්‍රය විසඳුමක් නෙමෙයි. දැනටමත් රටේ ඉන්ධන අර්බුදයක් තියෙනවනේ… මේ එන්ජිම අරගෙන ගියත්, තෙල් නැතිවුණොත් මොකද කරන්නේ…? කියලා, ඒ මහත්මයා අහලා තියෙනවා.

එතුමාම උපදෙස් දීලා තියෙනවා, මේකට හොඳම උත්තරය තමයි, සූර්ය කෝෂ පද්ධතිය කියලා. එතැනින් තමයි, ඇයටත් මෙම අදහස ඇති වුණේ… එතුමිය පන්සලට මුදල් ගෙනහල්ලා, වෙනත් කවුරුත් ඕනේ නැහැ… මම මේ සඳහා සම්පූර්ණ දායකත්වය දරනවා, කියලා කිව්වේ. මේ සඳහා එතුමියට රුපියල් ලක්ෂ විස්සක පමණ මුදලක් වියදම් වුණා. දැන් අපි මේ රටට අලුත් ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. “ බිලට හෝ අඳුරට ශාප කර කර ඉන්න එපා. අපේ රටේ මුදල් වෙනත් රටකට ගලා යන්න දෙන්නත් එපා. අපේ අලෝකයෙන්ම, අපි විදුලිය නිපදවාගෙන ආලෝකමත් වෙමු.” කියන ඒ පණිවිඩය මේ රටේ සෑම විහාරස්ථානයකටම හොඳ පණිවිඩයක්.

අපි ඉන්නේ බලශක්ති අර්බුදයක. ඒ කියලා අපිට අපේ ආගමික වැඩ කටයුතු අහිමි කරගන්න බැහැ. ඒ වගේම තමයි මේ වගේ විදුලි ක්‍රමවේද සඳහා යෑමට සෑම විහාරස්ථානයකටම වැය බර දරන්න බැහැ. පන්සල් නඩත්තු කරන්නේ දායක පිරිස. අපි හැමවිටම දායක පිරිස ගැනත් සිතන්න ඕනේ. විශේෂයෙන්ම සුවිශාල විදුලි බිලක් දැරීමේ හැකියාවක් සමහර විහාරස්ථාන හී දායක පාර්ශ්වයට නැහැ. මොකද ඒ අයටත් ආර්ථික ප්‍රශ්න තිබෙනවා. අපි හැමවිටම මෙම දායක පිරිස ගැනත් කල්පනා කරන්න ඕනේ. මෙම පරිත්‍යාගය කරපු උදේනි පෙරේරා මහත්මිය වගේ හැමෝම කල්පනා කරලා, එකතුවෙලා, තමන්ගේ විහාරස්ථානය සඳහා මේ වගේ රටට බරක් නැති, දායකයන්ට බිලක් නැති ක්‍රමවේදයක් හදාගන්න ඕනේ. මෙම උපකරණ ගෙන්වීම සඳහා යන බදු ආදී ගාස්තු අඩු කරලා, ආණ්ඩුවත් මේ සඳහා සහනයක් ලබාදෙන්න ඕනේ.

කළුබෝවිල හත්බෝධිය විහාරාධිපති කනවැරැල්ලේ කස්සප ස්වාමීන්වහන්සේ, රටටම ආදර්ශයක් වූ මෙම ව්‍යායාමය පිළිබඳව එසේ වදාළ සේක.

පසුගිය කාලය පමණක් නොව සෑම කාලයකදීම, විදුලිය සම්බන්ධයෙන් අප රටක් ලෙස ගත යුතු මග වුවේ, පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වීමය. බොහෝ දෙනාගේ අදහස වූයේ ඒ සියල්ල රජයට භාරදී තමන් කයිවාරු ගැසීම වුවත්, අද වන විට, අපට ද ඒ සඳහා මෙහෙවරක් ඉතිරිව ඇති බව සපථ වී හමාරය. ඒ අනුව හත්බෝධි විහාරයේ ආලෝක පූජාව සඳහා දායක වූ උදේනි පෙරේරා මහත්මිය සමග ද අපි කතා බහ කළෙමු.

බිලට බය නැති රටට බර නැති සූර්යාලෝක පූජාව
විහාරාධිපති හිමි සම්මුඛව අදහස් හුවමාරුව

“ඇත්තටම මේ පන්සලේ සවසට බුද්ධ පූජාව තබනවා. එම අවස්ථාවන්හි විදුලිය නොමැති වූ විට, එම දායක පිරිස විශාල අපහසුතාවයකට පත් වෙනවා. ස්වාමීන්වහන්සේලා ද එසේම සිය කටයුතු කර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්වෙනවා. මව් බව මම අත් දැක තිබෙනවා. ලොකු ස්වාමීන්වහන්සේ පවා. ඒ වගේ වෙලාවට, අතිරේක විදුලි ලාම්පු පත්තු කරන්න සහ ඒවා එල්ලීම සඳහා මහන්සි ගන්නවා. මේ නිසා පන්සලට ජෙනරේටරයක් අරගෙන දෙන්න කියලා තමයි මම ගියේ. එතැනදී තමයි මට කිව්වේ, පන්සලට ජෙනරේටරයක් අරගෙන දීලා, තෙල් ගේන්න යන්නේ හාමුදුරුවෝද කියලා මගෙන් එතැන හිටපු මහත්තයෙක් ඇහැව්වා. ඒ මහත්තයා මට කිව්වා “ පන්සලකට ගැලපන්නේ, සෝලා සිස්ටම් එකක්…” කියලා. ඒ අනුව තමයි මම ලොකු හාමුදුරුවන්ට මේ ගැන කිව්වේ. මහගෙදර විකුණලා, මට ලැබුණු මුදලින්, මම පුංචි ගෙයක් අරගෙන සල්ලි ඉතුරු කරගෙන, තමයි මේ පූජාව සිද්ධ කළේ. අපේ අම්මා මේ පන්සලට තමයි සිල් ගන්න එන්නේ. මම පන්සලට ආවේ, අපේ මල්ලිට බෝධි පූජාවක් තියන්න. එතකොට මම දැක්කා, මේ නායක හාමදුරුවෝ හරිම කරුණාවන්තයි කියලා. අපි මුදලක් දෙන්න, පූජා කරන්න ගියත්, ඒක ගන්නේ නැහැ.

කොරෝනා කාලේ දායක පිරිස මුදලක් දුන්නත් ඒවා උන්වහන්සේ ගන්නේ නැහැ. එතරම්ම දායක පිරිස ගැන උන්වහන්සේ කරුණාවයි. මෙතැන දහම් පාසලකුත් තියෙනවා. ස්වාමීන්වහන්සේලාට පමණක් නොවේ, දහම් පාසලට, පෝය දවසට සිල් ගන්න පිරිසටත් මේ වැඩේ ප්‍රයෝජනවත්… මේ මුදල දෙන්න කලින්, මම පුතා ගෙනුත් ඇහැව්වා… එයා විතරයි මට ඉන්නේ. එයා ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නේ… ජීව විද්‍යා අංශයෙන්… පුතාගේ නම සදිල් ජයසිංහ… පුතත් මේ පූජාව සඳහා කැමති වුණා. දැන් මට දැනෙන්නේ නිරාමිස සුවයක්. මට පුංචි ඉල්ලීමක් මේ ගැන කරන්න තියෙනවා. අනිත් පන්සල්වල ඉන්න දායක දායිකවන්ගෙනුත් මම මේ පූජාව සිදු කරන ලෙස ඉල්ලනවා. විශේෂයෙන්ම පන්සලේ සල්පිලක් හරි පවත්වලා කමක් නැහැ, ගමේ සියලු දෙනා එකතුවෙලා, මේ වගේ සූර්ය පැනල ගමේ පන්සලට සවි කරන්න. මේ විදුලි අර්බුදය අපේ රටේ විසඳුමකින්ම, අපි ජය ගන්න ඕනේ. අපි ලෝකයට බරක් වෙන්න ඕනේ නැහැ. අපි ඒ පූජාව ගමේ පාසලෙන් පටන් ගමු. ඒක අපේ පන්සල්වට සහනයක් වේවි. අප පන්සල් වැහෙන්න නැතුව තියා ගන්න, මේ වගේ රටට බරක් නැති විසඳුම් අපිට දෙන්න පුළුවන්. ලයිට් ගියහම, මගේ ගේ කරුවලේ තිබ්බත්, පන්සලේ ආලෝකය තියෙනවා. ඒ ගැන හිතනකොටත් මට හරි සතුටුයි. “ උදේනි පෙරේරා මහත්මිය අප සමග සිය උත්තුංග පූජාව පිළිබඳව සඳහන් කළේ කිහිපවරක්ම දෑසේ නැගුණු කඳුළු පිස දමමිනි.

බිලට බය නැති රටට බර නැති සූර්යාලෝක පූජාව
සූර්යාලෝක පූජාව නිලවශයෙන් එළිදක්වමින්

ඒ මහා පූජාවක, නිරාමිස සුවයය. ආලෝක පූජාවක ආලෝකය ඇයගේ ජීවිතය ආලෝකවත් කර ඇත්තේ, දිට්ඨ ධ්ම්මවේදනීය කුසල විපාකයක් ජනිත කරමිනි.

සදිල් ජයසිංහ පුතණුවන් ද ඒ මොහොතේ පන්සලට සිය පින්බර මව සමග පැමිණ සිටි හෙයින් අපේ කතා බහට ඔහුද සම්බන්ධ කර ගතිමු.

ගෙදර ගොඩක් අවශ්‍යතා තිබියදී, මේ වගේ ලොකු මුදලක පූජාවක් කිරීම අනවශ්‍යයයි කියලා සදිල්ට හිතුණේ නැද්ද…? ප්‍රශ්නයකින්ම සදිල්ගේ අදහසට අපි මුල පුරා දුන්නෙමු.

“ මට එහෙම අදහසක් ඇති වුණේ නැහැ. මේ අපේ පන්සල… අපේ පන්සලට විතරක් නෙමෙයි, මේ රටේ සියලු පාසල් සඳහා මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරමු කියන එක මම යෝජනා කරනවා. ඇත්තටම ගත්තොත් මේ රටේ සමහරු කියනවා, තරුණ පරපුර ආගම දහමට ලැදියාවක් නැහැ කියලා. ඒක ඇත්තටම එහෙම නෙමෙයි, මගේ වයසේ බොහෝ දෙනා ආගම දහමට ලැදියි. මමත් දහම් පාසලේ උගන්වනවා. ඒ වගේ තරුණ පිරිස් මේ වගේ දේවල් සඳහා වැඩි වැඩියෙන් දායක වෙන්න ඕනේ කියන එක තමයි මගේ ඉල්ලීම.”

ශ්‍රද්ධාවත්, පිංකමක් ලෙස මෙම සූර්යාලෝක පූජාව, ශාසනය සඳහා පූජා කිරීම උත්සවශ්‍රීයෙන් පසුගියදා, හත්බෝධි විහාරයේදී සිදු කෙරිණි. ප්‍රථම අදියර ලෙස පූජනීය ස්ථාන 1000ක, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

බිලට බය නැති රටට බර නැති සූර්යාලෝක පූජාව
සූර්යාලෝක පූජාවට දායකත්වය දැක්වූ උදේනි පෙරේරා මහත්මිය සමග සුහද සාකච්ඡාවක යෙදෙන සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන්

උත්තරීතර ආලෝක පූජාවක කතාවය. ආකාරවතී ශ්‍රද්ධාව අනුව සිදු කරන අද කුසල කර්මයකි. ආකාරවතී ශ්‍රද්ධාව යනු ප්‍රඥාවන්තයෙකු ලෙස යමක් තේරුම් ගැනීමය. බුදුරජාණන් වහන්සේ වදාරණ ලද්දේ, මේ ආකාරවතී ශ්‍රද්ධාවට පැමිණෙන ලෙසයි. ආකාරවතී ශ්‍රද්ධාවට පැමිණි පුද්ගලයා, ධර්මාවබෝධය අනුව සිය මාර්ගය සකසා ගැනීම සිදු කරයි. උදේනි පෙරේරා මහත්මියගේ පූජාව සිය විහාරස්ථානයට, තෙරුවන උදෙසා සිදු කළ පින්කමක් පමණක් නොවේ. මේ රටේ බලශක්තිය උදෙසා ද සිදු කරන ලද මාහැඟි පිංකමකි.

එතෙර සිට ගෙන එන තෙලක් සහ ගල් අඟුරු දෙස බලමින්, අප විදුලි බිලට එරෙහි වෙනවා වෙනුවට, මේ මහ පොළොවට වැටෙන රන් හිරු කිරණ විදුලියට හරවා ගැනීම කළහොත් එය ජාතිය වෙනුවෙන් සිදු කරනා මහ පිංකමක් වනු ඇත.

****

සූර්යබල ව්‍යාපෘති විදුලි අර්බුදයට තවත් හොඳ විසඳුමක්

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න

බිලට බය නැති රටට බර නැති සූර්යාලෝක පූජාව

“අපේ රට බලශක්ති අර්බුදයකට මුහුණදී ඉන්න වෙලාවක් මේක. රටට අවශ්‍ය විදුලිය සපයා ගැනීම අප විසින් සිදුකර ගත යුතුයි. වහල මත සූර්යකෝෂ ඉදිකර, විදුලිය ලබා ගැනීම ආරම්භ කළේ 2010 වසරේදී මමයි. ඇමරිකාවේ වොෂින්ටන්වල සිදුකළ සංචාරයකදී ලබාගත් දැනුම උපයෝගී කරගෙන අපේ රටේ එය සාර්ථකව කළා. මේක හඳුන්වා දෙන්න යනවිට, විවිධ පාර්ශ්ව විවිධ අදහස් ප්‍රකාශ කර මෙය වැළැක්වීමට කටයුතු කළත්, එය මැඩගෙන මම මෙම හඳුන්වාදීම සාර්ථකව කළා.

සූර්ය පැනල මිල අධික ලෙස ඉහළ යෑම නිසා ව්‍යාපෘතිය අඩපණ වුණත්, 2016 සිට එය නැවත සාර්ථකව නිවාසවල වහල මත ආරම්භ කළා. දැනට වහල මත සූර්ය කෝෂ පැනල සවිකළ නිවාස 45,000ක් පමණ තියෙනවා. ඉන් මේ වනවිට මෙගාවොට් 700 ක් පමණ ලබා ගන්නවා. මේ ප්‍රමාණය දහවල් කාලයට අපිට අවශ්‍ය විදුලි ධාරිතාවයෙන් තුනෙන් එකක් පමණ මේ හරහා ලබා ගන්නවා. මෙය මෙගාවොට් 2000 ක් කර ගැනීමයි අපේ බලාපොරොත්තුව.

ලබන වසර තුළ මෙගාවොට් තවත් 400 ක් පමණ ලබාගැනීම අපේ අරමුණයි. ගල්අඟුරු, ඉන්ධන වැනි දේවල් විදෙස් රටවලින් ලබා ගැනීම නිසා විශාල මුදලක් වසරින් වසර වැය වෙනවා. නමුත් සූර්ය, සුළං වැනි ව්‍යාපෘතිවලට යොදන පිරිවැය විශාල වුණාට ඉන් දීර්ඝකාලීන වාසි අපිට ලැබෙනවා. වෙනත් විදුලි ව්‍යාපෘති කරන්න වසර 2ක් 3 ක් ගත වුණත්, අපිට මාස තුන හතරින් සූර්ය බල ව්‍යාපෘති ක්‍රියාත්මක කර විදුලිය ලබාගන්න පුළුවන්.

රටේ ආගමික ස්ථාන 40,000 කින් 9800 ක් පමණ විදුලි ඒකක 180 ට වැඩිය භාවිත කරනවා. ඒවාට මෙම ව්‍යාපෘතිය මුලින්ම හඳුන්වා දීමයි, අපේ අවශ්‍යතාවය පවතින්නේ. පුනර්ජනනීය බලශක්තිය 2030 වනවිට මෙගාවොට් 3800 ක් කරන්න සැලසුම් සකස් කර තිබෙනවා. 2026 වනවිට එය මෙගාවොට් 2580 ක් ලබා ගැනීම අපේ අරමුණයි.”

සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – සමන් රණවීර,
ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment