ටුවරිස්ට් වීසාවලින් ඇවිත් අපේ රටේ බිස්නස් කරන සුද්දො

817

තුන්වේලටම මාළුපාන් කකා ජීවත්වෙන සුද්දෝ වැහි වැහැලා

පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතය නිසා මෙරට සංචාරක කර්මාන්තයට එල්ලවූයේ මරු පහරකි. කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තයේ යම් වර්ධනයක් ඇතිවෙමින් තිබුණි. එහෙත් රටේ පවතින දැඩි ආර්ථික අර්බුදයත් සමග මෙරට සංචාරක කර්මාන්තයේ නිරතවූවන් දැඩි අසරණ තත්ත්වයට පත්වූහ. මේ වනවිට රුසියානු සංචාරකයන්ගේ පැමිණීමත් සමග මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුළු වර්ධනයක් දැකගත හැකි වුවද සංචාරක කර්මාන්තය තවමත් යථාතත්ත්වයට පත්ව නැත. මහ බැංකු වාර්තාවට අනුව මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ මෙරටට විදේශීය සංචාරකයන් 29,802 දෙනකු පැමිණියහ. ඔක්තෝබර් මාසයේදී මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව 42,026ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. ඔක්තෝබර් මාසය තුළදී මෙරටට වැඩිම විදේශීය සංචාරකයන් පැමිණියේ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඔස්ටේ්‍රලියාව වැනි රටවලිනි.

මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ඉපයීම ඇමෙරිකානු ඩොලර් මිලියන 54කි. ඔක්තෝබර් මාසයේදී එය ඩොලර් මිලියන 76ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

කෙසේ වුවද පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ වැලේ වැල් නැතිව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටි මෙරට සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ට යම් අස්වැසිල්ලක් ලැබී තිබේ. මක්නිසාද යත් රුසියානු සංචාරකයන් මෙරටට කණ්ඩායම් වශයෙන් පැමිණෙන නිසාය. සංචාරක කර්මාන්තයේ නිරත වූවන් පවසන ආකාරයට රුසියානු සංචාරකයන් අත දිග හැර මුදල් වියදම් නොකරති. ඇතමුන් වෙළෙඳසල්වලින් ආහාර ද්‍රව්‍ය මිලදීගෙන උයා පිහාගෙන කති. මේ අතර දිගු කාලයක සිට මෙරට රැඳී සිටින ඇතැම් රුසියානුවන් මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයන් සඳහා සේවා සැපයීමට ද ඉදිරිපත්ව සිටිති. මේ නිසා බඩේ පහර වැදී ඇත්තේ මෙරට සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ටය. ඇතැම් රුසියානුවන් මෙරට සංචාරක ගමන් සංවිධානය කරති. අවන්හල් බදු පදනම මත ලබාගෙන රුසියානුවන්ට අවශ්‍ය සේවා ලබාදෙති. මේ නිසා සිදුවන්නේ අපේ රටට ලැබීමට තිබූ ඩොලර් ප්‍රමාණයක් අපිට අහිමිවීමයි. මේ ගැන සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අවධානය පවා යොමුවී නැත. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් සියයට 90ක්ම රුසියානු සංචාරකයන්ය.

ඇතැම් විදේශීය සංචාරකයන් චූන්පාන් වෑන් රථය එනතෙක් මගබලාගෙන සිටිති. චූන්පාන් රථයෙන් ගන්නා මාඵ පාන් ගෙඩියෙන් සප්පායම් වී රාත්‍රි කාලයේදීත් මාළු පාන් ගෙඩියෙන් සප්පායම් වීමට ඇතැම් විදේශිකයෝ කටයුතු කරති. රුසියානු සංචාරකයන් යම් පිරිසක් උණවටුන සංචාරක කලාපයට පැමිණ ඇති බව සැබෑවකි. එහෙත් උණවටුණේ සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ගේ අතමිට තවමත් සරුවී නැත.

මක්නිසාදයත් විදේශිකයන් අත දිගහැර මුදල් වියදම් කරන්නේ නැත. ත්‍රිරෝද රථ වෙනුවට ගමන් කරන්නේ යතුරුපැදිවල හා බස්රථවලය. මේ නිසා ත්‍රිරෝද රථ රියැදුරන්ටද බඩේ පහර වැදී ඇත්තේය. උණවටුණේ සංචාරක කර්මාන්තයේ නිරතවූවන් පවසන්නේ මේ නිසා තමන් ගැටලු රැසකට ලක්ව ඇති බවය. මෙවර සංචාරක සමය තුළ තමන්ට කිසිදු සුගතියක් මේ වනතෙක් අත්වී නොමැති බව ඔවුහු පෙන්වා දෙති. ඒ විතරක් නොව සංචාරක කලාපය තුළ රාත්‍රි කාලයට විදුලිය විසන්ධි කිරීම නිසා සංචාරක කර්මාන්තයේ නිරත වූවන් මෙන්ම විදේශිකයන්ද ගැටලු රැසකට ලක්ව සිටිති.

ඇතැම් රුසියානු සංචාරකයන් නිවාස, විලා බද්දට ගෙන රුසියානු සංචාරකයන්ට සේවා හා පහසුකම් සපයා එම ඩොලර් ටිකම යළි සිය රටට රැගෙන යනවා නම් එය සංචාරක ව්‍යාපාරයේ දියුණුව නොවේ. මෙය මංකොල්ල කෑමකි. මේ වනවිට රුසියානුවන් ඒ සඳහා විශේෂ App එකක් සකස්කර ගෙන ඇත. සේවා සැපයීම මෙන්ම සියලු ගනුදෙනු සිදුවන්නේ මෙම ඇප්එක හරහාය. රුසියානුවන් වෙනත් රටවලට ගොස් ව්‍යාපාර කටයුතු කිරීමට ශූරයන්ය. සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණෙන ඇතැම් රුසියානුවන් දිගු කාලයක් මෙරට රැඳී සිටිමින් සිය ව්‍යාපාර කටයුතු කරගෙන යති. ඇතමුන් මෙරටට පැමිණෙන්නේ සිය රටවල් තුළදීම ඩොලර් ගෙවා විලා වෙන්කරගෙනය. මේ නිසා මෙරට සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ට අන්නාසි ගෙඩිය, වතුර බෝතලය, විකිණීමෙන් සෑහිමකට පත්ව සිටීමට සිදුවී ඇත. ඒ විතරක් නොව මෙරට සංචාරක ආකර්ෂණීය ස්ථාන කරා යෑම සඳහා ප්‍රවාහන පහසුකම් සපයාගැනීම පවා සිදුකරගන්නේ ද මෙම App එක හරහාය. මේ නිසා ත්‍රිරෝද රථ රියැදුරන්ට පවා බඩේ පහරවැදී ඇත.

අනික් කාරණය වන්නේ මෙරට සංචාරක කර්මාන්තයේ නිරත පුහුණු ශ්‍රමිකයන් රට හැරයෑමයි. මෙරට සංචාරක කර්මාන්තය කඩාවැටීමත් සමග පුහුණු ශ්‍රමිකයන් වෙනත් රටවල රැකියා සඳහා ගොස් ඇත. මේ නිසා හෝටල් හිමියන් පුහුණු ශ්‍රමිකයන් සපයා ගැනීමේ දි ගැටලු රැසකට ලක්ව සිටිති. ඒ විතරක් නොව, නුපුහුණු ශ්‍රමිකයන්ගෙන් සංචාරක සේවාවන් සැපයාගැනීමේදී ප්‍රමිතිය පිළිබඳ ගැටලු රැසකට හෝටල් හිමියන්ට මුහුණ දීමට සිදුවී ඇත. ඉදිරියේ දී මෙරට සංචාරක කර්මාන්තය සඳහා පුහුණු ශ්‍රමිකයන් සපයාගැනීමේදී ගැටලු රැසකට මුහුණ දීමට හෝටල් හිමියන්ට සිදුවනු ඇත. අනාගතයේ දී මෙරට හෝටල්වල රුසියානුවන් බුරුතුපිටින් සේවය කළහොත් ඒ ගැන පුදුම වියයුතු නැත. දැන් උදාවී ඇත්තේ මෙරට සංචාරක කර්මාන්තයේ නිරත පුහුණු ශ්‍රමිකයන් රැකියා සඳහා විදේශගත වෙද්දී රුසියාව ආදී රටවල විදේශිකයන් මෙරටට පැමිණ මෙරට සංචාරක කර්මාන්තයේ නිරතවීමය.

මේ පිළිබඳ සංචාරක සංවර්ධන අධිකාරියට හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වගේ වගක් නැත. මෙකී ආයතනවල නිලධාරීන් මෙරටට විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම වෙනුවට සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සඳහා යන බව පවසමින් රජයේ මුදල් වියදම් කරමින් සුරසැප විඳිති.

මේ පිළිබඳ උණවටුන හොටෙල් හිමියන්ගේ සංගමයේ ලේකම් සුමිත් උබේසිරි මහතා කීවේ මෙවැනි කතාවකි.

පසුගිය දිනවල ඇතැම් රටවල් වලින් තම සංචාරකයන්ට පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට යනවා නම් සෞඛ්‍ය ගැන දෙවරක් හිතන්න කියාලා. ශ්‍රී ලංකාවේ බෙහෙත් හිඟයක් තිබෙන බවත්, පුද්ගලික රෝහල් කිහිපයක් කොළඹ නගරයට පමණක් සීමාවී ඇති බැව් ඔවුන් සඳහන් කළා.

මේ නිසා එම රටවලින් එන්න හිටපු විශ්‍රාම සුවයෙන් සිටින වයස අවුරුදු 55 ඉක්මවූ සංචාරකයන් අපේ රටට ආවේ නැහැ. ඔවුන් ළඟ තමයි ගොඩක් මුදල් තියෙන්නේ. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නමට පමණක් සීමා වෙලා. මේ අය සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න වෙළෙඳ සල්පිල්වලට කියලා පිටරට විනෝද චාරිකා යමින් රජයේ මුදල් නාස්ති කරනවා.

මේ නිසා රජයට ලැබිය යුතු ආදායම නැති වෙනවා වගේම සංචාරක ව්‍යාපාරයේ පිරිහීමටද හේතුවක් වෙනවා. යමෙක් ආගන්තුක සත්කාරය ගැන කතා කරනවා නම්, යුක්රේන රුසියානු යුද්ධය මුල් අවස්ථාවේ එම රටවලට යෑමට නොහැකිව මෙරට සිරවී සිටි සියලුම සංචාරකයන්ට නවාතැන් පමණක් නොව කෑම, බීම පවා නොමිලේ ලබාදීමෙන් අපගේ ආගන්තුක සත්කාරය ලොවටම ඔප්පු කළා. එහෙත් මේ අවස්ථාවේදී ඔවුන් එලෙසින් අසරණවී නැහැ. ඒ වගේම මෙවැනි අකටයුතු කම් පෙන්වා දෙන්නත් අප පැකිළෙන්නෙත් නැහැ. සුමත් උඹේසිරි කීවේය.

උණවටුන හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් ගීගනගේ මහතා මෙසේ කීවේය.

සංචාරක කර්මාන්තයට සලකපු විදිය ගැන අපි කනගාටු වෙනවා. ඩොලර් මගින් තෙල් ගහන්න දකුණු පළාතට එක් ඉන්ධන පිරවුම්හලක් ලබාදෙන්න කියලා අපි ඉල්ලීමක් කළා. එහෙම වුණා නම් විදේශීය සංචාරකයන් පමණක් නෙවෙයි. සංචාරක කාර්මාන්තයේ නිරත වූවන් කොහොම හරි ඩොලර් හොයාගෙන ගිහින් තෙල් ටික ගන්නවා. දැන් සංචාරක කලාපවල රාත්‍රියට විදුලිය කපන්නේ නැහැ. ඒක සාධනීය පියවරක්. රුසියානු සංචාරකයන් පැමිණෙනවා. ඒක හොඳයි. නමුත් දැනට අපිට පුහුණු ශ්‍රමිකයන් නැහැ. 2019 වර්ෂයේ දී දීපු සේවාව ඒ අයුරින් අපිට දෙන්න බැහැ. ඇතැම් ආහාර ද්‍රව්‍ය සීමා කිරීම නිසා මේ නිසා එදා දීපු ප්‍රමිතියෙන් යුතු ආහාර පාන අපිට සැපයීමට නොහැකිවෙලා තියෙනවා. පිහිනුම් තටාක සඳහා භාවිතා කරන ක්ලෝරින් බකට් එක අපි ගත්තේ රුපියල් 14,500යි දැන් රුපියල් 65000යි.

අපිට ගුණාත්මක අයුරින් සේවාවන් සැපයීමට නොහැකිවෙලා තියෙනවා. බිත්තර හිඟයත් සංචාරක කර්මාන්තයට දැඩිව බලපා තියෙනවා. අපිට ඕන දේ සංචාරකයන්ට දීලා ඒ අය ගෙන්වා ගැනීම අපහසුයි. ඉදිරියේදී බැංකුවලින් අපේ හෝටල් තක්සේරු කරලා මෙය රජය සතු දේපළක් කියලා බෝඩ් වදින්නත් බැරි නැහැ. පාස්කු ප්‍රහාරයට කලින් මගේ ළඟ 128 දෙනකු වැඩ කළා. මේ වනවිට ඒ 28වත් නැහැ. හෙතෙම පවසයි.

රුසියානු ජාතික තරුණයෙක් වන ක්‍රිපස් මොස්ට් (24) උණවටුන වෙරළ තීරයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ කීවාය..

ලෝකයේ වෙනත් රටවලට වඩා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට මා ඇතුළු රුසියානු සංචාරකයන් දැඩි කැමැත්තක් දක්වනවා. මේ වනවිට ලංකාවේ ආර්ථික අර්බුදයක් පැවතියද මෙරට සංචාරය කිරීමට එය බාධාවක් නෙවෙයි. ලෝකයේ වෙනත් රටවලට වඩා ශ්‍රී ලංකාව සුන්දර රටක්. මේ නිසා ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස තමන් වෙනත් රටවල සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මම ලංකාවට ආවේ පළමු වතාවට. ඇත්තටම ගොඩක් සතුටුයි. ආගන්තුක සත්කාර අතින් ලංකාව වෙනත් රටවලට වඩා ඉදිරියෙන් සිටිනවා. ලංකාව හරිම ලස්සන රටක්. උණවටුණ වෙරළ තීරය සුන්දර වෙරළ තීරයක්. ලංකාවේ ජනතාව මුහුණදී ඇති ආර්ථික අර්බුදය ඉක්මනින් අවසන් වී ඒ සඳහා මුහුණ දී දිරියෙන් නැඟී සිටීමට මෙරට ජනතාවට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා යැයි ඇය කීවාය.

උණවටුණ වෙරළ තීරයේ දී අපිට හමුවූ ජර්මන් ජාතික තරුණ යුවළක් අප සමග සඳහන් කළේ ශ්‍රී ලංකාව සංචාරය කිරීම සඳහා ඉතා සුදුසු රටක් බවයි. ඉදිරියේ දී මෙරට සංචාරක කර්මාන්තයට හොඳ කලදසාවක් උදාවනු ඇති බවද එම යුවළ කීවාය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment