රෝගීන් මරු කටට යවන ඖෂධ මාෆියාව

691

නිරෝගිමත් බව උතුම් සම්පතකි. නිරෝගිමත් ජාතියක් රටට හිමිවීම වාසනාවකි. එහෙත් මනුෂ්‍ය ශරීරයේ ස්වභාවය අනුව අප කොයි වෙලාවේ ලෙඩ වෙයිද කියා කාටවත් කිව නොහැකිය. වෛද්‍ය විද්‍යාවේ දියුණුව අනුව පුංචි පුංචි ලෙඩ පමණක් නොව අතිශය බැරෑරුම් ශල්‍යකර්මවලින් පවා මිනිස් ජීවිත සුවපත් කරන අවස්ථා අනන්තවත් වාර්තා වේ. අප රටේ ද එවැනි දක්‍ෂ වෛද්‍ය පරපුරක් සිටිති.

වෛද්‍යවරයකු කෙතරම් දක්‍ෂ වුවද ප්‍රමතියෙන් උසස් ඖෂධ සහ වෛද්‍ය උපකරණ නොලැබුණ හොත් ඔවුනට රෝගීන් සුවපත් කිරීමට අවස්ථාව නොලැබෙනු ඇත. සෞඛ්‍ය සේවය අතින් අප රටට කීර්තිමත් අතීතයක් තිබුණ ද වර්තමානය වන විට අසන්නට දකින්නට ඇත්තේ අතිශය සෝචනීය සිද්ධීන්ය. විශේෂයෙන් බාල ඖෂධ හා වෛද්‍ය උපකරණ ගෙන්වීම ඇතුළු ඖෂධ මාෆියාවේ සිදුවන අක්‍රමිකතා හා දූෂණ නිසා අපගේ සෞඛ්‍ය සේවය දිනෙන් දින පරිහානියට පත්වෙමින් තිබේ. එය රටට එතරම්ම සුබදායක පුවතක් නොවන අතර එම තත්ත්වය වහා නිවැරැදි කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි. මේ පිළිබඳව අප බොහෝ අවස්ථාවලදී පෙන්වා දුන්න ද ඒ පිළිබඳව අදාළ පාර්ශ්වවල අවධානය යොමුවී ඇති බවක් නොපෙනේ. පෙරේදා (20 දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේදී දිගහැරුණේ එවැනි කතාන්දරයකි.

එම සිද්ධියට අනුව ව්‍යාජ ලේඛන සකස් කර රුපියල් මිලියන 130ක ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වා ඇතැයි වාර්තා වී ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උසාවියට පෙන්වා දුන් කරුණු අනුව මීට සම්බන්ධ වී ඇත්තේ සෞඛ්‍ය සැපයීම් අංශයේ හතරදෙනෙකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්‍ෂ දේවශාන්ති සොලමන්ස්, තොග ගබඩා පාලක සුජිත් කුමාර සහ ගණකාධිකාරි (සැපයුම්) නෙරංජන් ධනංජය යන සිව්දෙනායි. සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ මෙම හතරදෙනාම මේ වනවිට රිමාන්ඩ් භාරයට පත්ව ඇත. මෙම සිද්ධියත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නවදෙනකුට විදෙස්ගතවීම තහනම් කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙම කල්ලියේ මැදිහත්වීම මත ගෙන්වූ මෙම ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් නමැති ප්‍රතිදේහ එන්නත ස්නායු රෝගීන් වෙත ලබාදෙන අතර දැනටමත් එය රජයේ රෝහල් වෙත ලබාදී ඇති බව ද වාර්තා වෙයි. රෝගී ජීවිත අනතුරේ හෙළමින් සිදුකර ඇති මෙම අක්‍රමිකතාවට සම්බන්ධ සියලුදෙනාටම උපරිම දඬුවම් ලබාදීම අනිවාර්යයෙන්ම කළ යුතුය. මොවුන් සිදුකර ඇත්තේ වැසිකිළි වළක් කඩා අනුභව කිරීමටත් වඩා පහත් නීච වැඩකි.

අප රටට ගෙන්වන ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් තමන්ගේ මඩිය තරකර ගන්නා කල්ලි ක්‍රියාත්මක වනුයේ අද ඊයේක නොවන බව අතීත සාක්‍ෂිවලින් පැහැදිලිය. 2021 සැප්තැම්බර් මාසයේදී හෝ ඊට ආසන්න දිනයකදී ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ මැකී යෑමක් වාර්තා විය. ඒ පිළිබඳව කළ පරීක්‍ෂණවලදී හෙළි වූයේ අදාළ දත්ත මැකී ඇත්තේ 2015-2019 යන වර්ෂවලට අදාළව බවයි. මේ පිළිබඳව එවකට සෞඛ්‍ය ඇමැතිව සිටි චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ දත්ත මැකී ඇති අදාළ කාලයේ හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන්වූ ඖෂධ තිස්පහක ලැයිස්තුවට අදාළ දත්ත මැකී ඇති බවයි. එම ඖෂධවල වටිනාකම රුපියල් මිලියන 1140ක් බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. අප රටේ ඖෂධ මාෆියාවේ තරම තේරුම් ගැනීමට මෙම සිද්ධිය වුවද ප්‍රමාණවත්ය. එනිසා අප අවධාරණය කරනුයේ ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුවේ සුලමුල සොයා, මේ පිටුපස සිටින් සොක්කන් ,ලොක්කන්, මහමොළකරුවන් ඇතුළු සියලුදෙනා නීතියේ රැහැනට හසුකර ගන්නා ලෙසයි.

සෞඛ්‍ය සේවයේ සිදුවන ඖෂධ මාෆියාව නිසිලෙස හෙළිදරව් කරගෙන එය නැවැත්වීමට පියවර නොගතහොත් දිගින් දිගටම ඊට වන්දි ගෙවීමට සිදුවනුයේ මෙරට අහිංසක රෝගීන්ට බව අප අමතක නොකළ යුතුය. 2023 ජූලි මාසයේදී වාර්තා වූ පුවතකින් අනාවරණය වූයේ තත්ත්වයෙන් බාල බවට හඳුනාගත් ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ 64ක් භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගත් බවයි. එසේම මෙම වසරේම ජූලි මාසයේදී අක්‍ෂි ශල්‍යකර්මයක් අතරතුරදී කොළඹ අක්‍ෂි රෝහලේදී කාන්තාවක මියයෑම මෙන්ම පේරාදෙණිය රෝහලේදී දරුවකු මියයෑම පිටුපස නිර්වින්දන ඖෂධවල යම් බලපෑමක් එල්ල වුණා ද යන්න සමාජය තුළ කතාබහක් ඇතිවිය.

සෞඛ්‍ය යනු අතිශය සංවේදී ක්‍ෂේත්‍රයකි. ඊට සම්බන්ධ බලධාරීන්, වෛද්‍යවරුන් මෙන්ම සෙසු පිරිස ගත යුත්තේ 100%ක් ම නිවැරැදි තීන්දුය. එසේ නොවුණහොත් සිදුවනුයේ රෝගීන්ට අකාලයේ දුක්විඳීමටය, නැතහොත් ජීවිතයෙන් වන්දි ගෙවීමටය. එනිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ ක්‍රියාදාමය දම්වැලක පුරුකක් මෙන් ශක්තිමත්ව යහපත්ව තිබිය යුතුය. ඒ අර්ථයෙන් ගත්විට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට විනකටින ඖෂධ මාෆියාව පැරදවීමට අප රටට ආදරය කරන සියලු පාර්ශ්ව එක මිටට එක පෙළට කෙළින් සිටගත යුතු කාලය එළැඹ ඇති බව අවධාරණය කරනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment