කපා… කපා… කෑලිකපා… ත්‍රිකෝණමඩු හිතවතුන්ට…
මේ දිනවල රටේ සිදුවන මහා පරිමාණ වනාන්තර විනාශයට එකතුවී ඇති අලුත්ම කතාව ත්‍රිකෝණමඩු වනාන්තර විනාශයයි. දළ වශයෙන් මෙහිදී වනාන්තර අක්කර 1500 ක් සහමුලින්ම කපා විනාශකර පළමුව එම භූමියේ බඩඉරිඟු වගාව සිදුකෙරේ. ඒ බොහෝවිට මෙසේ වනාන්තර හෙළිකරන්නේ රට මේ මොහොතේ පත්ව ඇති ආර්ථික අර්බුදය ඉදිරියට දමා පළමුව මෙම වනාන්තර හෙළිකරගැනීම සඳහාය. ඒ අනුව අපට පෙනීයන්නේ ආර්ථික අර්බුදය නමැති “හිඟන්නාගේ තුවාලය” අද රටේ වන සම්පත් ඇතුළු සියලු ස්වභාවික සම්පත් විනාශය සඳහා ආණ්ඩුව මගින් ඉතා හොඳින් ප්‍රයෝජනයට ගන්නා බවයි.
ත්‍රිකෝණමඩු වනාන්තර ප්‍රදේශයේ වැඩි කොටස පිහිටා ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළය. එනමුත් ත්‍රිකුණාමලය හා මඩකළපුව දිස්ත්‍රික්කයේ කන්තලේ, සේරුනුවර හා වෙරුගල්, වාකරේ ප්‍රදේශ දක්වා ත්‍රිකෝණමඩු වන රක්ෂිතය දිවේ. ශ්‍රී ලංකාවේ පැරණිතම වනාන්තර රක්ෂිතයක් වන ත්‍රිකෝණමඩුවේ වැඩි කොටස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් (රජයේ ඉඩම් පමණක් ඇති) ස්වභාවික රක්ෂිතය (Nature Reserve) යි. එනම් ත්‍රිකෝණමඩු ස්වභාවික රක්ෂිතයයි. හෙක්ටයාර් 25,019.3 ක් විශාල මෙය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇත්තේ 1986 ඔක්තෝබර් 24 වැනිදාය. ත්‍රිකෝණමඩුවේ ඉතිරි වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා පුරාවිද්‍යා රක්ෂිත ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද අයත් වේ. මහවැලි ගංගාවට මායිම කරගනිමින් සෝමාවතිය ජාතික උද්‍යානයේ නැගෙනහිර සීමා ඉර දිගේ ඉහළට ඇදී යන ත්‍රිකෝණමඩු ස්වභාවික රක්ෂිතයේ බටහිර සීමාව උතුරින් මාවිල්ආරු ප්‍රදේශය දක්වා විහිදේ. අනතුරුව වෙරුගල් ගඟ දිගේ නැගෙනහිර දෙසට ඇදී යන මෙම ත්‍රිකෝණමඩු රක්ෂිත මායිම වාකරේ දක්වා ගොස් එතැනින් මඩකලපුව-ත්‍රිකුණාමලය මාර්ගයට සමාන්තරව දකුණු දෙසට පැමිණ දකුණින් යළිත් මහවැලි ගඟ දක්වා සීමාවන්නේ අද මෙසේ මහා පරිමාණ වන විනාශයක් සිදුවන සූරියවැව, සිංහපුර – ත්‍රිකෝණමඩු ප්‍රදේශයෙනි.
මෙම ත්‍රිකෝණමඩු දකුණු ප්‍රදේශයේ තවත් ඉඩම් කොටසක් පැරණි ත්‍රිකෝණමඩු හා කන්දකාඩුව යන සත්ත්ව ගොවිපළ අයත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට යොදා ගත් ඉඩම් බව කියනු ලැබේ. එහෙත්, 30 වසරක යුද්ධයෙන් ගණ වනාන්තර බවට පත්වුණු මෙම ඉඩම් අද එකම ත්‍රිකෝණමඩු වනාන්තරයක් බවට පත්ව ඇති බව අද එහි යන ඕනෑම කෙනකුට දැකගත හැකි දෙයකි.
සරලව කියන්නේ නම්, ත්‍රිකෝණමඩු ස්වභාවික රක්ෂිතය මැදින් දකුණු-උතුරු දිශානුගතව වැටී ඇති සිංහපුර-සේරුවාවිල මාර්ගයේ පහළ දකුණු කොටසේ (පාදමේ) අක්කර 1500 කට ආසන්න වනාන්තර ඉඩම් ප්‍රදේශයක් මෙසේ තර්ජනයට ලක්ව මහා පරිමාණ වන විනාශයකට ගොදුරු වී ඇති බවයි. මෙම මාර්ගයේ හමුවන සිංහපුර පිහිටි රත්න සහල් නිෂ්පාදකයන්ගේ පොලිසැක් කර්මාන්තශාලාවෙන් පසු පටන්ගන්නා වන විනාශය දළ වශයෙන් සේරුවාවිල වනගත මාර්ගයේ දකුණු දෙසින් ඉදිරියට විහිදෙන අතර කිලෝමීටරයක පමණ දුරකින් මාර්ගය අයිනේ හමුවන “පන්සල්ගල” පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශය දක්වා විහිද යන යයි. නැගෙනහිර දෙසින් එය සූරියවැව ගම්මානයේ කෙළවර විදුලි වැට දක්වා විහිදෙන බව අප විසින් නිරීක්ෂණය කරන ලදී.
සිංහපුර – සේරුවාවිල වනගත මාර්ගයේ වම් පස හමුවන ත්‍රිකෝණමඩු ස්වභාවික රක්ෂිතයට යාවන (වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එනමින් සවිකරන ලද නාම හා දැනුවත්කිරීමේ පුවරු මෙහි ඇත). මුල් ප්‍රදේශයේ ඉඩම් කොටස්ද වන ජීවී සංරක්ෂණයට අයත් නොවන විදුලි වැට ඉදිකිරීමක් මගින් සීමා කර වෙනත් ආයතන මගින් (ගම්මුන් පවසන පරිදි යුද හමුදාව) තම භාරයට ගෙන ඇත. නමුත් එය වෙනම කතාවකි. අපට ප්‍රශ්නය ඇත්තේ මෙම මාර්ගයෙන් දකුණු පසින් ඇති ත්‍රිකෝණමඩුව දක්වා යාවන වනාන්තර කොටස පිළිබඳවය. හුදෙක් අඩි 30-40 පළලකින් යුතු මාර්ගයකින් වෙන්වී දකුණු පසට වෙන්වන ගණ වනාන්තර කොටසක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් යැයි පවසා හෙළි – පෙහෙළි කර විනාශ කරන්නට ඉඩ දෙන්නට නීතියෙන් අයිතියක් තිබේද..? වන සතුන්, විශේෂයෙන් රජයේ අලි වැට මගින් මායිම් කර ඇති මෙම වනාන්තර කොටස තුළ සැරිසරන අලින් ඇතුළු වන සතුන්ගේ නිජබිමක් විනාශ කරන්නට හෝ විනාශ කිරීම සඳහා අවසර දෙන්නට කාට හෝ (NLDB) හැකියාවක් තිබේද…? හෝ ඇත්තටම මෙම විනාශයට ගොදුරු වන බිම් ප්‍රදේශය අයත් වන්නේ ඔය කියන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයටද, නැතහොත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතයටමද…? යන ප්‍රශ්න, ගැටලු රාශියක් අද අපට පමණක් නොව සිංහපුර, සූරියවැව ප්‍රදේශයේ ගැමියන්ටත් මෙම මහා වන විනාශය අනුමත නොකරන සැමදෙනාටත් ඇති ප්‍රශ්නයකි. ඒවාට උත්තර දීම මේ සියලු ආයතනවල වගකීමකි. විශේෂයෙන්ම වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්වරිය මීට පැහැදිලි උත්තරයක් ලබා දිය යුතුව ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
ඝන වනගහනයක් දක්වා වැඩී ඇති මෙම ප්‍රදේශය සමාගම් 13 ක් ඇතුළු ව්‍යාපාරිකයන් 29 දෙනකු අතර බෙදා දී ඇත්තේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සමග ඇතිකරගත් ගිවිසුම් පරිදි බව දැනගන්නට ඇත. (මේ ව්‍යාපාරිකයන් අතර කොළඹ ප්‍රදේශය නියෝජනය කරන දේශපාලකයන්ද සිටින බව වාර්තා වේ.) නමුත් මෙහි සියලු මෙහෙයුම් කටයුතු හා මූලික කටයුතු (මාර්ග ඉදිකිරීම හා මායිම් පෙන්වීමේ කටයුතු) සිදුකරනු ලබන ආයතනය ලෙස ගම්මුන් හඳුනාගෙන ඇත්තේ මහවැලි අධිකාරියයි. මහවැලි අධිකාරිය මගින් ප්‍රදේශවාසීන්, ගොවි සංවිධාන සහ විවිධ ආයතන සමග ගනුදෙනු කිරීම සිදුකරන බව අප කළ ක්ෂේත්‍ර සංචාරයේදී සිංහපුර හා සූරියවැව ගම්මානවල ගොවීහු පැවසූහ.
මේ වන විට මහවැලි අධිකාරිය මගින් ඔවුන්ගේ පනත ප්‍රකාරව අදාළ ගැටලුව පවතින අක්කර 1500 කට වැඩි භූමි ප්‍රදේශය මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඇති බව මේ පිළිබඳව මූලික අධ්‍යයනයක් සිදු කළ පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. එසේම, ඔවුන් රැස්කරගෙන ඇති තොරතුරු අනුව අලි-ඇතුන් 300-400 කට වැඩි පිරිසක් සෝමාවතිය, කවුඩුල්ල, මින්නේරිය, වස්ගමුව යන වනෝද්‍යාන අතර සංචාරයේදී ත්‍රිකෝණමඩු ස්වභාවික රක්ෂිතය හා ඍජුවම මෙසේ වනාන්තර විනාශය සිදුකරන ප්‍රදේශය භාවිත කරන බවට ඔවුන් අධ්‍යයනය කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ දිලෙන පාත්‍රාගොඩ සහ ප්‍රතිපත්ති හා දැනුවත් කිරීමේ නිලධාරී ජනක විතානගේ මහතා ප්‍රකාශ කරන්නේ මෙවන් කතාවකි.
“මේ වනාන්තර විනාශය සිදුවන්නෙ ත්‍රිකෝණමඩු රක්ෂිතය ආශ්‍රිත ප්‍රේරණ කලාපය ඇතුළත. මේක හොඳින් ගස් වැදුණු ඝන වනාන්තරයක්. ඒවගේම අලි ඇතුන් තුන් හාරසියයක් විශේෂයෙන්ම මාදුරුඔය ජාතික උද්‍යානයේ සිට සෝමාවතියට, කවුඩුල්ලට, මින්නේරියට, වස්ගමුවට යන මාර්ගය තමයි මේ ඉවක් බවක් නැතිව ඩෝසර් දාගෙන බිමට සමතලා කරන්නෙ. සිංහපුරත්-සූරියවැවත් අතර පිහිටා ඇති මේ අතිශය වටිනා වනාන්තරය මහාවැලි අධිකාරියේ සූක්ෂම වැඩපිළිවෙළක් යටතේ පශු සම්පත් මණ්ඩලය ඉදිරියට දාගෙන ව්‍යාපාරිකයන් 29 දෙනෙක් අතරේ අක්කර 50 බැගින් බෙදා දෙන්න කටයුතු කරලා තියනවා. මේ වෙනකොට අහල පහල විතරක් නෙමේ කොළඹින් පවා ආපු සමාගම් කිහිපයක් කැලෑව ඩෝසර් කරල බඩඉරිඟු වගාකරන්න පටන්ගෙන තියෙනවා. කියන්නෙ සත්ත්ව ආහාර සඳහා කියල. නමුත් ලංකාවේ ඕනෑතරම් මහවැලිය සතු මුඩු ඉඩම් තියනවා බඩඉරිඟු නෙමෙයි ඕනෑම දෙයක් ඉන්දගන්න. නමුත් මහවැලිය හැමදාම කරන්නෙ අලි ලගින මහා ඝන වනාන්තර තමයි තෝරගන්නෙ ඉඩම් දෙන්න. මොකක්ද මේකෙ තේරුම. කෝ ලංකාව ලෝකෙට පොරොන්දු වෙලා තියන තිරසාර සංවර්ධනේ. කෝ ජනාධිපතිතුමාගේ සියයට 32 වන ගහනය වැඩිකිරීමේ ප්‍රතිපත්තිය. මේක සම්පූර්ණයෙන්ම බොරුවෙන් රට කරන වැඩක්. මේ හිතවතුන්ට ඉඩම් බෙදා දෙන වැඩසටහනක්. බලන්න වැලිකන්ද නගරයේ අද තත්ත්වෙ. රෑට නගරයේ අලි ගැවසෙනවා. වැලිකන්ද පොලිසියේ, රෝහලේ, ටෙලිකොම් ආයතනයේ තාප්ප අලි පෙරළලා. මෙච්චර අලි කරදර තියන තැනක අක්කර 1500 ක් දෙනවා කැළේ විනාශ කරන්න. මේ වනාන්තර විනාශ කළොත් මේ ගම්මානවල මිනිස්සුන්ට ගම් දාල යන්න වෙනවා. ඒ නිසා පරිසර යුක්ති කේන්ද්‍රය විදිහට අපි බලධාරීන්ට, නිලධාරීන්ට කියන්නෙ කරුණාකර මේ විනාශය නවත්වන්න. නැත්නම් අපි අධිකරණයෙ පිහිට පතල මේ විනාශය නවත්වනවා. කවුද මේ පිටිපස්සෙ ඉන්නේ. මොකක්ද මේ න්‍යාය පත්‍රය. රට කරන අය මේව රටට කියන්න ඕන.” ඔහු පවසයි.
මෙම වනාන්තර විනාශය පිළිබඳව අදහස් දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මේ පිළිබඳව වැඩිදුරටත ් මෙසේ තත්ත්වය පැහැදිලි කළේය.
“රක්ෂිතය තුළ වනය හෙළි පෙහෙළි කරනවානම් තත්ත්වය බරපතළයි එක තහනම් ක්‍රියාවක්. එසේ නම් අදාළ ආයතන ඒ පිළිබඳව වහා මැදිහත්ව කටයුතු කළ යුතුයි. රක්ෂිතයෙන් පිටත, ඒ වුණත් රක්ෂිත මායිමේ සිට අඩි 30-40 ක පාරකින් වෙන්වුණු වනාන්තරයක් වුවත් මේ වන හෙළීම කරන්න බැහැ. මොකද රක්ෂිත වනාන්තරයක මීටර් 100 ක් ඇතුළත ප්‍රේරණ කලාපයක් තියනවා. මෙහෙම වනාන්තර හෙළීම නීති විරෝධීයි. පුරාවිද්‍යා ස්ථාන තියනවානම් පුරාවිද්‍යා හානිය පිළිබඳ තක්සේරුවක් කරන්න ඕන. ඒ නැතත් මේ ඉඩම් පශු සම්පත් මණ්ඩලයට හෝ වෙන කුමන ආයතනයකට අයත් වුණත්, 1980/අංක 47, ගැසට් අංක 772/22 ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන යටතේ හෙක්ටයාර් 1 කට වැඩි කැලෑ ඉඩමක් කැලෑ නොවන කාර්යයක් සඳහා භාවිත කරන්නේ නම්, අනිවාර්යයෙන්ම පාරිසරික බලපෑම් ඇගයීමක් (EIA) කරන්න ඕන. ඒ විතරක් නෙමේ මේ පනත අනුව රජයේ හෝ පෞද්ගලික ඉඩමක් වුණත් හෙක්ටයාර් 50 කට වැඩි භූමියක තණකොළ කැපුවත් පාරිසරික ඇගයීම් තක්සේරුවක් කරන්න ඕන. ඒ අනුව මේ කරන වැඩේ කරන්න බැහැ. මේක නීති විරෝධීයි.”
මෙම වනාන්තර විනාශය පිළිබඳව සිංහපුර හා සූරියවැව ගම්මානවල ජනතාව සිටින්නේ දැඩි කෝපයකින් හා කළකිරීමකිනි. ගම්මුන්ට උදළු මිටක්වත් කපන්නට නොදුන් මහා කැලෑව දැන් බිමට සමතලා වෙමින් පවතී. එසේම, අලින්ගේ නිජබිම් අහිමිවීමෙන් වන අලි ගම් වැද ගම්වලම දිවිගෙවන දිනය වැඩි ඈතක නැති බව ඔවුහු කියති.
මේ පිළිබඳව අදහස් දැක්වූ සෙවණපිටිය දිඹුලාගල සීලාලංකාර හිමි ප්‍රකාශ කළේ සිදුකරන මේ මහා වනාන්තර විනාශය ආනන්තරිය පාපකර්මයක් තරමට දරුණු බවයි. “මේ මහා වනාන්තර විනාශය පාලකයන්ට කියලත් වැඩක් නැහැ. අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ඒ සඳහා පරිසර යුක්ති කේන්ද්‍රයේ මැදිහත්වීම අපි බලාපොරොත්තු වෙනවා. වැලිකන්ද ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී මේ විනාශය නවත්වන්න ඒකමතික තීන්දුවකට ඇවිත් පහුවදා සිට ආපහු කැලේ ඩෝසර් කරනවා. මේ රටේ පාලකයන් මේ රට විනාශයෙන් විනාශයට ඇදගෙන යනවා. රට බංකොලොත් වෙලා තිබියදීත් තවත් රටේ සම්පත් ගසා කනවා” යයි උන්වහන්සේ පැවසීය. සිංහපුර කොට්ඨාස ගොවි සම්බන්ධීකාරක එම්. එම්. රාෆික් මහතා ඇතුළු ගොවි නියෝජිතයන්, ගොවීන් රැසක් මෙම වනාන්තර විනාශයට විරුද්ධව අදහස් දැක්වූහ.
පරිසර යුක්ති කේන්ද්‍රය සංවිධානය කළ ක්ෂේත්‍ර සංචාරයක් ඇසුරෙනි.
ජගත් කණහැරආරච්චි
ඡායාරූප- විශ්ව සජිත්