දෙවියන්ගේ පිහිට නැතත් දෙවියන්ට මල් ගොතන මාලාකාර ඇත්තෝ

415

මල් ගන්නවද? හාල් ගන්නවද? මිනිස්සු දෙපාරක් හිතනවා

අනාදිමත් කාලයක සිට මිනිස්සුන් දෙවියන් පුදති. මේ දේව පූජාවේ විචිත්‍රම පූජා විධි හින්දු භක්තිකයන් සතුය. හින්දුවරු වෙසෙන බොහෝ පෙදෙස්වල කෝවිල් ආශ්‍රිතව දෙවියන් පිදීම පිණිස පැමිණෙන බැතිමතුන්ට අලෙවිය පිණිස විවිධ පූජා භාණ්ඩ දක්නට ඇත. ඒ අතර දෙවියන් පිදීම පිණිස මල් ගොතන පිරිසක් ද වේ. පරම්පරාගතව සිදුකරන මෙම මාලාකාර රැකියාව ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන අතර විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිත ස්ථාන කීපයකදී මෙවැනි පිරිස් බහුලව දැක ගත හැක. ඒ අතර වැල්ලවත්ත, කිරුලපන, ගෑස්පහ හන්දිය, හෙට්ටිවීදිය, කොච්චිකඩේ, ජින්තුපිටිය ප්‍රධාන තැනක් ගන්නේය.

මඟතොට යන එන අතර මෙලෙස දෙවියන්ට මල් ගොතන මිනිසුන් කොතෙකුත් දැක ඇතත්, විවිධ හැඩයෙන් සහ පැහැයෙන් යුතු මල් මාල පිළිබඳත්, පැහැය සහ සුවඳින් යුත් මල්මාල ගොතන මිනිසුන් පිළිබඳත් මෙතෙක් අප නොදත් තොරතුරු රැසක් තිබේ.

මල් තරම් සුවඳ නැති, මල් මෙන් සිනිදු සුසිනිදු නැති ඔවුන්ගේ කථාන්දරය පරිච්ඡේද ගණනාවකින් යුක්තය.

කොළඹ හෙට්ටිවීදියත් කදිරේෂන් වීදියත් යා කෙරෙන කෙටි මං පෙතට මුහුණලා හෙට්ටිවීදියට ළංව එක ළඟ එකක් වන්නට පිහිටා ඇති කෝවිල් ගණන තුනකි. ඉන් පළමුවැන්න පරණ කතරගම කෝවිල වන අතර, අනෙක නම් කොට ඇත්තේ මැද කෝවිල නමිනි. අනෙක නව කදිරේෂන් කෝවිලයි. දිනපතා උදේ සවස දෙවියන් පිදීම පිණිස පැමිණෙන දහස් සංඛ්‍යාත හින්දු බැතිමතුන්හට මල් මාලා විකුණන මිනිසුන් දහපහළොස්දෙනෙක් කෝවිල් තුන අභියස දැක ගත හැකිය. විවිධ වර්ගයන්ගෙන් යුත් මල් බඳුන් කීපයක්, ගොතන ලද මල් මාලා රැසක් ඉන් පිටුපසට වෙන්නට යන්ත්‍ර මෙන් ක්‍රියා කරන පිරිමි අත් රාශියක් ඒ ආශ්‍රිතව දැක ගත හැකි සුලභ දසුනක් වන්නේය. ඔවුන් නියැලි රැකියාවත්, ඒ ආශ්‍රිත තවත් කරුණු රාශියක් පිළිබඳවත් ඔවුන් සමඟ කළ කථා බහෙන් වැටහුනේ දෙවියන්ට පෙනෙන මානයක සිට ජීවත් වීම පිණිස කොතෙක් මල්මාලා ගෙතුවද මෙතෙක් කල් කිසිදු දෙවියකු ඇසක් ඇර ඔවුන් දෙස බැලීමට තරම් කරුණාවන්ත වී නැති බවය.

ශිවා තම උපන් බිම වන මල් පිපෙන දුුල්ල අතහැර මල් ගොතන්නට කොළඹ පැමිණ මේ ගෙවමින් පවතින්නේ දහවැනි වසරය. අපගේ කතාබහ පළමුව ඔහුත් සමඟ සිදුකළ අතර නොපැකිළිව ඔහු ඒ සඳහා ඉදිදිපත් විය.

“මේක තමයි මහත්තය අපේ රස්සාව. දවසෙ වැඩි හරියක් ගෙවෙන්නේ මේ ටකරන් තහඩුව අස්සෙ. රස්සාව පටන් ගන්නේ උදේ පාන්දර. ඒක උදේ පහට වෙන්නත් පුළුවන්. හයට වෙන්නත් පුළුවන්. මල් එන හැටියට තමයි වෙලාව තීරණය වෙන්නේ. කොහොම උනත් උදේ හත අට වෙනකොට මල් ගොතල තියන්න ඕන. මේ අවට මේ රස්සාවෙන් ජීවත්වෙන පවුල් හැට හැත්තෑවක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. අපේ සංගමයක් පවා තියෙනවා. අපිට දුකක් කරදරයක් උනොත් පිහිටක් ලැබෙන්නේ ඒ හරහා තමයි.

සිවා එක දිගට තම අදහස් ප්‍රකාශ කරමින්ය. වේලාව පෙරවරු 11 ට ආසන්න වුවත් කාලය ඔහුට බාධාවක් නැති ගානය.

“මේ වෙලාවෙ කෝවිල්වල සෙනඟ අඩුයි. අපිට වැඩ තියෙන්නේ උදේ පහයි එකොළහයි අතරෙ. ඊට පස්සෙ ආපහු සවස තමයි. මේ දවස්වල බිස්නස් අඩුයි. දෙවියන්ට මිනිස්සු එපා වෙලාද? මිනිස්සුන්ට දෙවියන් එපා වෙලාද මම දන්නෑ. බිස්නස් අඩුයි කියලා තමයි කියන්න තියෙන්නේ. සිවා සිනහවක් ද සමගින් එසේ කියා අවසන් කිරීමටත් මත්තෙන් මගෙන් තවත් පැනයකි.

කොහොමද මේ වැඩකටයුතු සිද්ධ වෙන්නෙ

දෙවියන්ගේ පිහිට නැතත් දෙවියන්ට මල් ගොතන මාලාකාර ඇත්තෝ

“ඒක මෙහෙමයි. මුලින්ම වෙළෙන්දො අපිට මල් ගෙනත් දෙනවා. උදේ පාන්දරම පාන්, පත්තර බෙදනව වගේ මල් අරන් එන අයත් කඩයක් කඩයක් ගානෙ එනවා. අපිට පිච්ච මල් එන්නේ බදුල්ල, ගම්පල, මාතලේ පැත්තෙන්. ඒවා අපි ගන්නේ සේරු ගාණට. සේරුවක් රුපියල් 350යි. ඊට පස්සෙ සුදු ඉද්ද මල් ගේනවා. සුදු ඉද්ද ගේන්නෙ මාදම්පෙ, ජාඇල, මදුරන්කුලිය කියන පළාත්වලින්. සුදු ඉද්ද කවරයක් (ෂොපින් කවර) ගන්නේ රුපියල් 1000 ගානේ.

“ඊට අමතරව දෙවියන් වෙනුවෙන් ගන්න මල් සහ කොළ වර්ග අතරේ විශේෂ තැනක් තියෙන්නේ රත් මල්, දාස්පෙතිය මල්, රාජ පොහොට්ටු මල් සහ ඊතන, මදුරුතලා, කොහොඹ, බුලත් වැනි කොළ වර්ග. මේ ඔක්කොම වර්ග වෙළෙන්දො අපේ ළඟට ගේනවා. අපි කරන්නේ දවසෙ හැටියට අවශ්‍ය කරන දේ මිලට ගන්න එක. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ මල් සහ කොළ වර්ග වැඩිහරියක් ගේනෙන්නේ සිංහල වෙළෙන්දො. ඒ අයයි අපියි අතරේ ලොකු බැඳීමක් තියෙනවා. රත්මල් විතරයි කොළඹ සහ ඒ අවටින් හොයා ගන්නේ. ගොඩක් වෙලාවට කුඩ්ඩෝ රත්මල් කඩාගෙන ඇවිත් අපට දීලා කියක් හරි අරන් යනවා. ඔය කොහෙන් හරි කඩාගෙන එනව ඇති. ”

“ඊට පස්සෙ තමයි මල් ගොතන රස්සාව පටන් ගන්නේ. ඉස්සර නම් මල් ගොතන්න ගත්තෙ කෙසෙල් පට්ට. දැන් නම් වෙන වෙන නූල් වර්ග බජාර් එකේ තියෙනවා. ඇඟිලි ඉක්මන් වෙන තරමට තමයි වැඩ වැටෙන්නේ. ගොතන හැම මලකටම ගැටයක් වැටෙන්න ඕනෙ. විනාඩි දෙක තුනක් ඇතුළත ඉල්ලන කොලිටියට බඩු දෙන්නත් ඕනෙ. අපේ බිස්නස් එකෙත් දැන් තියෙන්නෙ තරගයක්. මේකත් තාත්තගෙන් පුතාට එන රස්සාවක්. අපේ ඇඟිලි දැන් පුරුදුවෙලා තියෙන්නෙ මල් ගොතන්න විතරයි.”

හැමදාම එක වගේ බිස්නස් නෑ. සීසන් කාලෙට (ජනවාරි) අපිට බිස්නස් හොඳයි. මේ දවස්වල නම් අමාරුවෙන් තමයි ඇදගෙන යන්නේ. අඟහරුවාදා සිකුරාදා අපිට හොඳයි. ඒත් දවසකට රුපියල් දෙතුන් දාහකට වැඩිය හොයන්න බෑ. ඒකත් මල්වලට ගෙවල දරුවන්ට කන්න බොන්න දීල ඉස්කෝලෙ යැව්වට පස්සෙ ඉවරයි. පහුවෙනිදට මල් ගන්න සල්ලි නැත්නම් බිස්නස් එක නෑ. මරණයක්, මඟුල් ගෙයක් ආගමික උත්සවයක් ‘සෙට්’ වුණොත් බිස්නස් හොඳයි. ඒ දවස්වලට පිච්චමල් වැල් බිස්නස් හොඳයි. යාර හාර පන්සිය වුණත් විකු ණන්න පුළුවන්. ලංකාවෙ ගොඩක් මල් ශාලාවලින් පිච්ච වැල් ගෙනියන්න කොළඹට තමයි එන්නේ. අපි ගොතනමල් වැල් තමයි මහත්තය ඔය අවමංගල රථ එහෙම ලස්සනට සරසන්නෙ. සිකුරාදට හැම දෙමළ ගෙයකම, කඩයකම තියෙන දේවරූප, ගෙවල්වල මියගිය අයගෙ ඡායාරූප ආදිය පිච්චමල් වලින් සැරසීම අපේ අයගෙ සිරිතක්. ඒ හින්ද පිච්චමල් තමයි අපේ බිස්නස් එකේ හොඳම ‘ඩීල්’ එක වෙන්නේ. දෙවියන්ටත් වෙන් වෙච්ච මාල වර්ග පූජා විධි තියෙනවා. කාලි අම්මන්, මාරි අම්මන් උදෙසා ගොතන්නෙ කොහොඹ කොළ මාලෙ. විෂ්ණු දෙවියන්, අයියප්පන් දෙවියන් පුදන්නෙ මදුරුතලා මාලයෙන්. බුලත් කොළ මාලය ගොතන්නේ ආජිනියාර් දෙවියන්ට, ගණ දෙවියන්ට වෙන්වෙච්ච මාලය තමයි ඊතන මාලය. මාලවල ප්‍රමාණය හැටියට තමයි මිල තීරණය වෙන්නේ. රුපියල් පනහ ඉඳල ඉහළට තමයි මාල විකුනන්නෙ. ගනුදෙනුකරුවො ඉල්ලන ඕනම මාලයක් අපි ළඟ තියෙන්න ඕනෙ. එතකොට තමයි බිස්නස් වෙන්නෙ. ඒත් දැන් ඉස්සර වගේ බිස්නස් නෑ මහත්තය. සිවා තරමක් පහත් ස්වරයෙන් ඒ බව පැවසුවේ තරමක නෝක්කාඩුව මුසු බැල්මක්ද සමගිනි.

ඒ ඇයි මිනිස්සුන්ට දෙවියන් එපා වෙලාද?

මා විසින් නැගූ පැනයට යළිත් හඬ අවදි කළ සිවා එවර පවසා සිටියේ මෙවැන්නකි.

“බොහොම අමාරුවෙන් තමයා රැකියාව කරගෙන යන්නේ. අපි එදා ඉඳලම මල් රස්සාව කළේ. ඒ හින්දා එහා පැත්තේ බසාර් එකට ගිහින් මුට්ට කර ගහන්න දැන් අපිට බෑ. මොකද පුරුදු රස්සාව මේකනේ. උදේට මල් දාපු සල්ලි ගන්න දවල්ට මුදලාලි එනව. බිස්නස් ඇතත් නැතත් එයාට සල්ලි දෙන්න ඕන. ඒ අයත් සල්ලි දුන්නොත් තමයි වතුවලින් මල් ලැබෙන්නෙ. අපිට විතරක් නොවෙයි කොච්චිකඩේ, මෝදර, වැල්ලවත්ත මේ කොතනත් මල් ගොතන මිනිස්සුන්ගෙ කතාව මේකම තමයි. අද පිච්ච මල් සේරුවක් රුපියල් 350ක් වෙනව. ඉද්දමල් කවරයක් රුපියල් 1000යි. ඇහුවහම කියනව තෙල් මිල වැඩියි ට්‍රාන්ස්පෝර්ට්වලට වියදමක් යනව කියලා. පෝර ගණන් කියනවා. කතාව ඇත්ත. නමුත් කරන්න දෙයක් නෑ. අපි පුරුදු රස්සාව කරගෙන යනවා.”

රමේෂ්

දෙවියන්ගේ පිහිට නැතත් දෙවියන්ට මල් ගොතන මාලාකාර ඇත්තෝ

මේක තමයි අපිට දෙවියන් දුන්න රස්සාව. නමුත් අද තියෙන තත්ත්වයත් එක්ක අමාරුවෙන් තමයි රස්සාව කරන්නෙ. සල්ලි දීල මල් ගත්තට දවස් දෙකයි මේ මල් තියාගන්න පුළුවන් වෙන්නෙ. ඊට පස්සේ පරවෙනවා. ඉස්සර සිංහල, දෙමළ භේදයක් නැතිව මේ ස්ථානයට එන බැතිමතුන් මල් වැලක් අරන් තමයි දෙවියන් පුදන්න යන්නෙ. දැන් මිනිස්සු මල් ගන්න ඇවිත් කල්පනා කරන්නෙ මල් ගන්නවද හාල් ගන්නවද කියල. ඒ තරම් මිනිස්සුන්ට අමාරුයි. අපිත් දරුවන්ට කන්න අඳින්න දෙන්න තමයි උදේ ඉඳල මහ රෑ වෙනකම් මේ රස්සාව කරන්නෙ. නමුත් හැම දේම වගේ මිල වැඩිවෙලා තියෙද්දි මල් විතරක් එහෙම නොවී තියෙන්න බෑනේ. අපිට කරන්න දෙයක් නෑ. කීයක් හරි හොයාගන්න තමයි අපිත් උදේ ඉඳන් මහන්සි ගන්නේ.

මේ අතර කොළඹට මල් විකුණා ලැබෙන ගතමනාව ගෙන යෑම පිණිස පැමිණි තරුණයකු සිවා විසින් හඳුන්වා දුන් අතර ඔහු මාදම්ප ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අපගේ කතා බහට හදිසියේ එකතු වූ ඔහු තමන්ගේ වෙළඳාම සම්බන්ධව අදහස් ඉදිරිපත් කළේය. අපි රස්සාව විදියට කරන්නේ සුදු ඉද්ද වවන එක. මාදම්පෙ සුදුවැල්ල කියන ප්‍රදේශයේ තමයි වැඩිපුරම ඉද්ද වැවෙන්නෙ. ඉද්දමලට සුදු වැලි මිශ්‍ර පසක් තියෙන්න ඕනෙ. අපි හවසට මල් කඩල වතුර ඉහළ තියෙනවා. පහුවෙනිදා පාන්දර තමයි කඩවලට මල් ගේන්නෙ. මේ අය හවසට ඕන කරන ප්‍රමාණය ඕඩර් කරනවා. අපේ බිස්නස් එක කොළඹට විතරක් සීමා වෙලා නෑ. ත්‍රිකුණාමලය, යාපනය, මාතලේ, කතරගම ප්‍රදේශවලට පවා ඉද්ද මල් වැඩිපුරම සපයන්නේ අපි. විශාල පිරිසක් අමතර ආදායම් මාර්ගයක් ලෙස මල් වවනව. මේ දැන් ඇවිත් ඉන්නෙත් ඊයේ මල්වල සල්ලි ගෙනියන්න.” ඔහු සිනාමුසු වතින් පැවසීය.

මේ ආකාරයට කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත ස්ථාන රැසක දෙවියන්ට මල් ගොතා ජීවත්වන බොහෝ පිරිසක් වන අතර, ඔවුන් හුඟදෙනෙක් පැවසුවේ ඉදිරියේදී තම රැකියාව අනතුරේ වැටීමේ අවදානමක් පවතින බවය. නගර අලංකරණය යටතේ සිදුකරන සංවර්ධන කටයුතු හේතුවෙන් තමන් වෙළෙඳාම් කටයුතු කරගෙන යන ස්ථාන තමන්ට අහිමි වේ යැයි බියක් ඔවුන් තුළ හටගෙන ඇත. ඒ සම්බන්ධව ඔවුන්ගේ පොදු මතය වචන බවට පත් කළ සිවා පැවසුවේ මෙබන්දකි.

“අපි විශාල පිරිසක් ඉන්නවා. අපේ පවුල් එක්ක ගත්තම දහස් ගානක්. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ අපිට උදව් කරන්න. ඕනම ආකාරයේ සහයෝගයක් දෙන්න අපි ලෑස්තියි. අපේ රස්සාව බොහොම අහිංසක යහපත් අරමුණින් කරන හොඳ දෙයක්. විදේශිකයෝ පවා අපි ළඟට ඇවිල්ල අපි මල් ගොතන හැටි බලල සතුටට පත්වෙලා යනවා. මේ රස්සාවෙ හොර බොරු නෑ. දෙවියන් වෙනුවෙන් කරන රස්සාවක් හින්ද බොහොම භක්තියෙන් තමයි මේ දේවල් කරන්නෙ. ඒ හින්ද සුදුසු වටපිටාවක් හදල නගර අලංකාරයේ කොටස්කරුවා බවට අපිවත් පත් කරගන්න කියල තමයි අපි රජයෙන් ඉල්ලා සිටින්නේ. ඒ සඳහා ඕනෑම සහයෝගයක් රජය වෙත ලබා දෙන්නත් අපි සූදානම්. දෙවියන් පිදීම පිණිස පෙළ ගැසෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්හට දේවාභරණ ලෙස මහමඟට වී මල් ගොතන මිනිසුන්ට අද වනතුරු දෙවියන්ගේ පිහිට හිමිව නැත. බැතිමතුන් මිලට ගන්නා මල් වැලකින් බඩගින්දර නිවා ගනිමින් අඹු දරුවන් රකිමින් ඔවුන් කාෂ්ඨක හිරු එළියෙන් කැකෑරෙන ටකරන් තහඩු මඩු යට දහසක් ජීවන ගැටලු මැද අද ද ජීවිත සටනේ ය.

රුවන් ජයවර්ධන
ඡායාරූප බුද්ධික ඩී. රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment