සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේදී මුහුණ පෑ මාරක රිය අනතුර පිළිබඳ කතිකාව තවමත් මුළුමනින් නිමා වී නැත. එය හිතාමතා සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බවට විවිධ අනුමාන සාක්ෂි ඉස්මතු වෙමින් පැවතීම ඊට ප්‍රධාන හේතුව ය. ඊට අමතරව එම අනතුර කිසියම් ගුප්ත හේතුවක් පදනම්ව සිදු වූයේ ද යන්න පිළිබඳව ද සමාජයේ ඇතැමුන් අතර සැක සංකා මතු වී තිබේ. විශේෂයෙන් ඇතැම් සමාජ ජාල පරිශීලකයන් එම අනතුරට පදනම් වූ ගුප්ත අභිරහස් හේතු සාධක සොයමින් ජනතා කුතුහලය පිබිද වීමට ගන්නා වෑයම ද ඉතා හොඳින් කැපී පෙනෙයි.

අප ජන සමාජයේ ඇතැමුන් විසින් මෝහිනී ගේ අවතාරය යනුවෙන් ද හඳුන්වනු ලබන රාත්‍රී ජාමයන් හි මහාමාර්ග අද්දර සිට වාහනවලට අත පාන සුදු හැඳගත් අද්භූත ගැහැනිය පිළිබඳ විවිධ කතා වරින් වර දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මතු වනු අදටත් ඉඳහිට ඇසිය හැක. ඒ සම්බන්ධයෙන් විවිධ තොරතුරු නොයෙක් වර මට ද අසන්නට ලැබී තිබේ.

එහෙත්, ඒ අතුරින් වඩාත් සජීවීමත් තොරතුරක් අසන්නට ලැබුණේ මේ විසි වසරකට පමණ ඉහත දී ය. ඒ කතරගම ප්‍රාදේශීය මාධ්‍යවේදියකු හා ඇසළ පෙරහැර සංවිධායක කමිටු සාමාජිකයකු වූ සුමන සෝමපාල මහතා වෙතිනි. කතරගම හා සබැඳි ජනශ්‍රැති පිළිබඳ විශේෂ උනන්දුවක් පළ කළ ඔහු ගුප්ත විශ්වාස කෙරෙහි ද අවධානයක් පළ කළ ගවේෂකයෙකි.

සුමන සෝමපාල මහතා පැවසූ අන්දමට ඊට ආසන්නතම දිනයෙක රාත්‍රී යාමයේ මහ මඟ තනිව සිටි සුදු හැඳගත් අද්භූත ගැහැනියක හමුවීමේ විස්මිත සිදුවීමට මුහුණ පා ඇත්තේ බුත්තල ප්‍රදේශයේ තරමක් ප්‍රකට ව්‍යාපාරිකයෙකි. එක්තරා දිනයක සන්ධ්‍යාවේ කතරගම ප්‍රදේශයේ ව්‍යාපාරික පවුලක උපන් දින සාදයක් සඳහා පැමිණි ඔහු එදින පස්වරුවේ සිට මත්පැන් පානය කොට රාත්‍රී දහයට පමණ රාත්‍රී ආහාරය ද ගෙන තිබේ. පසුව ඔහු තම වෑන් රථයෙන් යළි බුත්තල බලා පිටත් වී ඇත්තේ රාත්‍රී එකොළහෙන් ද පසුවය. ඒ වන විට එතෙක් තමන් තුළ පැවැති වෙරි මත ද බොහෝ දුරට පහව ගොස් ඇති වගක් ඔහුට වැටහිණ.

ශ්‍රී ලංකාවේ මහාමාර්ග අතුරින් ප්‍රමුඛ තැනක් හිමි කර ගන්නා කතරගම බුත්තල ප්‍රධාන මාර්ගය කිලෝ මීටර් ගණන් එක දිගට විහිදුණු ස්ථාන කිහිපයක් සහිත යාල වන ගහණයට මැදි වූ පාළු මංපෙතකි. එම මාර්ගයේ ඇතැම් ඉසව්වල ගොඩබිම් වාහනයකට ගමන් කළ හැකි උපරිම වේගයකින් වාහන ධාවනය කළ හැකි මුත් මෙම මාර්ගය අවට නිරතුරුව යාල වන පෙතින් එන වන අලින් ගැවසීම නිසා එය ද අතිශය බිහිසුණු කාරියකි. ඒ අනුව රාත්‍රී කාලයට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ඒවායේ සිරස් පහන් ආලෝකයට මහ මඟ මැද හිඳින වන අලියකු හෝ රංචුවක් නතු වූ සැනින් එය නතර කළ හැකි වේගයකින් ධාවනය කරවීමට රියැදුරෝ නිරතුරු වග බලා ගනිති.

මෙම ව්‍යාපාරිකයා එදින මැදියම් රාත්‍රිය ආශ්‍රිතව එම මාර්ගය ඔස්සේ නිසොල්මනේ රිය පදවන අතරේ බුත්තලට නොදුරු ගෝනගංආර ප්‍රදේශයේ දී පාර අද්දර වම් පසින් එක්තරා සුදු පැහැති රුවක් දක්නට ලැබිණ. ඒ සුදු හැඳගත් කාන්තාවක බවත් ඇය තම රිය එන පෙරමඟට අත දිගු කරන බවත් ඔහුට තරමක් දුරදී ඉතා හොඳින් පෙනුණි, ඒ අනුව ඒ කාන්තාව කවුරුන් ද යන්න නිශ්චය නොකොට ම ඔහු ඇය සමීපයේ සිය රථය නතර කළේය. ඉන්පසු ඇය ද බුත්තල දෙසට අත දිගු කරමින් යමක් කීයේ වෑන් රථයේ දොර හැර එහි ඉදිරිපස අසුනේ වාඩි වන අතරේ ය. ඇය පවසන ලද්දේ තමන්ට බුත්තල ප්‍රදේශයට යෑමට වුවමනා බවක් විය යුතු බව ද ව්‍යාපාරිකයාට වැටහිණ. නමුත් එලෙස තම රියේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටි මුත් ඉන්පසු ඇය තමන් හා කිසිවක් නොදොඩන බව ද පසුව රිය පදවන අතරේ ඒ ව්‍යාපාරිකයාට වැටහිණ. එමෙන්ම නාඳුනන කාන්තාවක වන ඇගෙන් ආ ගිය වග තුග හාරවුස්සමින් ඇසීමේ ද සදාචාරාත්මක නොවේ යැයි ව්‍යාපාරිකයා සිතීය. ඒ අතරේ එම ව්‍යාපාරිකයාට රිය පැදවීමට අසීරු මට්ටමේ තද නිදිමතක් දැනෙන්නට විය. ඉන්පසුව ඉතා සීරු මාරුවට රිය පැද වූ ඔහු මහ මඟ අද්දර රෑ කඩයක දැල්වෙන කොළ පැහැති ආලෝකයක් දුටු සැනින් තම රථය පාරේ අයිනට කොට නතර කළේය. ඒ එලෙස නොනැවතී තවදුරටත් රිය පැදවීමේ අන්තරායකාරී බව මනාව වටහා ගනිමිනි.

“මිස්, මට හොඳටම නිදිමතයි. ඒ හින්දා මෙතනින් බැහැලා කෝපි එකක් වත් බොන්න වෙනවා” තම රියේ ඉදිරිපස අසුනේ සිටි කාන්තාවට එසේ පැවසූ ඔහු තම රථය රාත්‍රී කඩයේ ආලෝක සීමාවට ඇතුළු කළා පමණි. එහෙත්, එසැනින් රථයේ ඉදිරිපස අසුනේ සිටි කාන්තාව අසුරු සැනින් අතුරුදන්ව සිටියා ය. එම සිදුවීමෙන් මහත් වික්ෂිප්ත ස්වභාවයට පත් එම ව්‍යාපාරිකයා රථයෙන් බැස ඒ රාත්‍රී කඩයට පිවිසියේ අන්ද මන්ද ස්වභාවයකිනි.

ඔහු විසින් තමන් මුහුණ පෑ මෙම අද්භූත ජනක සිදුවීම කතරගම ව්‍යාපාරිකයා ඇතුළු තම සමීපතමයන්ට දන්වා සිටියේ ඉන් හටගත් මානසික කම්පන සඳහා ශාන්තිකර්ම ගණයට අයත් පිළියම් ද යෙදීමෙන් පසුව ය. ඒ අනුව එම රාත්‍රියේ මහ මඟට පිවිසි රථවාහනවලට අත පොවන ඒ අද්භූත කාන්තාවගේ අනන්‍යතාව විමසීම පිණිස ඔහුට හිතවත් බොහෝ දෙනෙක් උත්සුක වූහ. ඌවේ පාරම්පරික රදළ ප්‍රභූ පරපුරකට අයත් කුල කාන්තාවක හෙවත් කුමාරිහාමි කෙනකු මීට සිය වසකට පමණ පෙර තම වලව්ව තුළ දී ඝාතනය වූ පුවතක් ඔවුන් හමුවේ අනාවරණය වී ඇත්තේ ඒ අතරේ ය. එම පරපුර සතු නින්දගම් සහ එම පරපුරේ වර්තමාන සාමාජිකයන් ගෙන් සැදුම් ලත් පවුල් කිහිපයක් අද ද එම ප්‍රදේශයේ දක්නට ලැබේ.

මේ අතර එම කුමාරිහාමි තම සැමියා වූ නිලමේවරයා වෙතින් සේම එම වලව්වේ කිසිවකු නොමැති අතර ඇයට ලිංගික අපරාධයක් කිරීමට පැමිණි සේවකයකු වෙතින් ඝාතනය වූ බව ද පැවසේ. එදා මෙදා තුර පාළු රාත්‍රී යාමයන් තුළ ඒ පරිසරයේ සැරිසරන්නට වූ ඇගේ ආත්මය සංකේතනය කරන අවතාරය පසුව රාත්‍රී කාලවල කතරගම බුත්තල ප්‍රධාන මාර්ගය අද්දරට පිවිස තමන්ට ඒ විපත සිදු වූ ප්‍රදේශයෙන් පලා යෑමට එම මාර්ගයේ වාහන පදවන රියැදුරන් ගෙන් පිහිටාධාර ඉල්ලා සිටින්නීය. පසුව මම එය වාර්තාගත අපරාධයක් ද දැන ගනු පිණිස ප්‍රභූ පෙළපතට අයත් වර්තමාන සාමාජිකයකු ගෙන් එම ඝාතනය සම්බන්ධයෙන් කරුණු විමසා සිටියෙමි. එහෙත්, ඔහු පවසා සිටියේ තම හත්මුතු පරම්පරාවේ කිසිදු සාමාජිකයකු හෝ සාමාජිකාවක එලෙස ඝාතනයකට ලක්ව නොමැති බවකි. එමෙන්ම තම පරපුර සම්බන්ධ කිසිදු තොරතුරක් තම පරපුරේ සාමාජිකයාගේ නිසි ලිඛිත අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයකට එක් නොකරන ලෙස ද ඔහු තරයේම ඉල්ලා සිටියේය. නමුදු එම ව්‍යාපාරිකයාට රාත්‍රියේ හමු වූ මෙම සුදු හැඳගත් අද්භූත කාන්තාව එම මහා මාර්ගයට අප සමාජයට පමණක් සීමා වූ මාදිලියක් නොවේ. මෙම අද්භූත රුව ලොව පුරා හැඳින්වෙනුයේ සුදු නෝනාගේ අවතාරය (White Lady Ghost) යනුවෙනි.

රාත්‍රී කාලවල මහා මාර්ගවල විශේෂයෙන් රාත්‍රී කාලවල තනිව රිය පදවන රියැදුරන් මුහුණ දෙන මනෝ මූලික සිද්ධාන්තයක් මත පදනම් වූ මායාකාරී අත්දැකීමක් වන මෙහි කිසිදු ගුප්ත හෝ අද්භූතවාදී පක්ෂයක් නැත. එක දිගට බොහෝ දුරට විහිද ගත් මහාමාර්ගවල එක දිගට රිය පදවන රියැදුරෝ මහාමාර්ග නිද්‍රාටනය (Highway Hypnosis) නම් මනෝමය ආස්ථානයට ලක් වෙති. රිය පැදවීමේ දී ඇතිවන වෙහෙස (Driving Fatigue) ආදී හේතු සාධක මුල් කොට ඇති වන මෙම තත්ත්වය මහාමාර්ගවල කඩ ඉරි රේඛාවන් දෙස එක දිගටම බලා සිටීමේ දී හටගන්නා විඩාබර බව ඔස්සේ පැන නගින සුදු ඉරි උණ (White Line Fever) නම් තත්ත්වයට සම්බන්ධ ය. මෙහි දී රියැදුරා රිය පදවන අතරේ අඩ නින්දකට හෙවත් අර්ධ නිද්‍රාටනයකට පත් වන මුත් එය රිය පැදවීමේ ක්‍රියාවට බාධාවක් නොවේ. ඒ නින්ද මගින් මාර්ග සංවේදීතාවට සෘජු බාධාවක් නොවන බැවිනි. එහෙත්, එම නිද්‍රාටනය තුළ කාලය පිළිබඳ නිශ්චය ගිලිහී යෑම සාමාන්‍ය තත්ත්වයකි. නිදසුනක් ලෙස එම තත්ත්වය යටතේ මාතරට කිලෝමීටර් හතළිහයි යන පුවරුවක් නෙත ගැටී ඒ සමගම මාතරට කිලෝ මීටර් පහළොවයි යන පුවරුවක් එසේ මාර්ග නිද්‍රාටනයට පත් රියැදුරකු ගේ නෙත ගැටෙන්නට පුළුවන. එවිට තමන් අසුරු සැනක් තුළ ඒ කිලෝ මීටර් විසි පහ කෙසේ ගෙවා දැමුවේ දැයි සිතා

ගන්නට ඇතැම් රියැදුරකුට නොහැකි වන්නට පුළුවන. එහෙත්, ඒ සම්බන්ධ සත්‍යය වනුයේ ඒ කිලෝ මීටර් විසි පහ පසු කරන කාලය තුළ ඔහු අ්ර්ධ නිද්‍රාවකට පසු වූ බව ය. එහෙත් ඒ තත්ත්වය තුළ ඔහු තම දෙනෙත හමුවේ කිසියම් වෙනත් ආලෝක ධාරාවක් මතු වේ නම් එසැනින් ඒ රියැදුරා ක්ෂණිකව ඒ අඩ නින්දෙන් පිවිසෙනු ඇත. රිය පදවන අතරේ දෙනෙත් විවරව තිබිය දීම මෙලෙස නින්දට පිවිසීමට රියැදුරකුට ඇති හැකියාව රථ වාහන සහ ප්‍රවාහන මනෝ විද්‍යාව (Traffic and Transport Psychology) නම් විෂය පථයට අයත් වන අතර ජෙෆ්‍රි අන්ඩවුඩ් විසින් 2005 වසරේ එම විද්‍යාත්මක පසුබිම පිළිබඳ අගනා පර්යේෂණ ග්‍රන්ථයක් ද එළි දක්වා තිබේ.

ඉහත සඳහන් සිදුවීමට මුහුණ පෑ බුත්තල ව්‍යාපාරිකයා ද එම රාත්‍රියේ රිය පදවන අතරේ මුහුණ පා ඇත්තේ එම මහාමාර්ග නිද්‍රාව නම් එවන් තත්ත්වයකට බව පැහැදිලි ය. ඒ අනුව මහ මඟ අද්දර හිඳ තම රථයට අත පෑ සුදු හැඳ ගත් කාන්තාව හුදෙක් ඔහුගේ මනැසේ නිර්මාණය වූ මායාකාරී දර්ශනයකි. රිය පැදවීමේ වෙහෙස, නිදිමත සේම මත්පැන් භාවිතයෙන් පසුව ඇති වන මද්‍යසාර විරමන ලක්ෂණ ( Alcohol Withdrawal Symptom) හෙවත් වෙරි මත සිඳී යන අවස්ථාව යමකු ගේ සිත තුළට මෙවන් මායාවන් පිවිසවීමෙහි ලා මහෝපකාරී වෙයි. ඒ අනුව එම මහාමාර්ග නිද්‍රාටනය සම්පූර්ණ නින්දක් බවට පත්වීමට ඔන්න මෙන්න කියා තිබිය දී රෑ කඩය අද්දර තම රථය නතර කිරීමට ඔහු යටි සිතින් හෝ පෙළඹීම ස්වයං ආරක්ෂාව පිළිබඳව සහජයෙන් හටගන්නා උපාය මාර්ගික හැකියාවක් මත පදනම් වන්නකි. ඒ එම රෑ කඩයේ සීමාවට පැමිණි ඔහුට එහි ආලෝක ධාරාවෙන් තම රියේ ඉදිරිපස අසුනේ සිටි කාන්තාව අතුරුදන්ව ඇති බව පෙනී ගියේ එම ව්‍යාපාරිකයා ඒ මොහොතේ රිය පදවන අතරේ එතෙක් නිමග්නව සිටි අඩ නින්දෙන් මුළුමනින්ම පිබිදුණු බැවිනි. එමෙන්ම සාමාන්‍යයෙන් අවතාරයක් දුටු සැනින් ඕනෑම කෙනකු මහත් තැති ගැන්මකට භ්‍රාන්තියකට පත් වීම අරුමයක නොවේ. එහෙත් මෝහිනීගේ, සුදු නෝනාගේ අවතාරයක් ගැන කලින් අසා ඇත්තවුන් පවා එම අවතාරය දැකීමෙන් බියට පත් නොවන බව ඉහත සිදුවීමෙන් ද සනාථ වේ. ඉන් තහවුරු වනුයේ මෙය එම අද්භූත කාන්තාව යනු එය දකින්නාගේ සිත තුළ පවත්නා අනුරාගී හැඟීම් මත පදනම් වන මායාකාරී සිහිනයක් බව ය.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment