ඇඹරුණොත් මළා තමයි

1083

මේ අවුරුද්දේ මැයි මස 20 දා කොළඹ වරායට සැතපුම් 10 ඔබ්බෙන් ශ‍්‍රී ලංකා මුහුදු තීරය තුළ එක්ස්ප‍්‍රස් පර්ල් නමැති නෞකාව ගිනි ගන්නා විට එය තුළ නයිටි‍්‍රක් ඇසිඞ් ටොන් 25 ක් ද සුවඳ විලවුන් තොගයක් ද පොලිතීන් විශාල ප‍්‍රමාණයක් ද සහිත කන්ටේනර් 1486 ක් තිබිණ. සාමාන්‍යයෙන් නයිටි‍්‍රක් ඇසිඞ් පාවිච්චි කරන්නේ රසායනික පොහොර හෝ බෝම්බ සෑදීමට ය. සුවඳ විලවුන්වල මීතයිල් අඩංගුය. පොලිතීන් යනු කිසි කලෙකත් නොදිරන සදාකාලික අපද්‍රව්‍යයකි. එක්ස්ප‍්‍රස් පර්ල් නැව ගින්නෙන් බේරා ගැනීමට නොහැකි වූ අතර ටයිටැනික් නැව මැදින් දෙකට කැඞී සාගර පත්ලට ගිලා බැස්සාක් මෙන් දෙකට කැඞී මුහුදුබත් විය. දැනටත් එක්ස්ප‍්‍රස් පර්ල් නැව ගිලූණු හරියේ මුහුදු වතුරේ නයිටි‍්‍රක් ඇසිඞ් සහ මීතයිල් සාන්ද්‍රණයක් තිබේ. ප්ලාස්ටික් විශාල තොගයක් වෙරළට ගොඩගැසූ අතර සෙස්ස මාළුන් විසින් ගිල දමන ලදී. මෑත කාලයේදී අපේ මුහුදු තීරයේ ජලජ ජීවීන් වැඩිම සංඛ්‍යාවක් මිය ගියේද තුවාල ලැබුවේද එක්ස්ප‍්‍රස් පර්ල් ගින්න සහ එහි පසුකාලීන ඵල විපාකවලිනි. එක්ස්ප‍්‍රස් පර්ල් නැව මෙරට මුහුදු තීරයට ඇතුළු වන්නේ කිසිදු වගකීමක් නැතුවය. මේ නැවේ තිබූ රසායනික ද්‍රව්‍ය ලීක් වෙමින් පැවතිය ද ඒවා හරිගස්සා නොගෙනම නැව අපේ මුහුදු තීරයට ඇතුළු විය. එසේ ඇතුළු වීම සිදුවන්නේ මැයි මස 19 දා රාත‍්‍රියේදීය. කොළඹ වරායට ඇතුළු කිරීම සඳහා අවසර පතමින් එක්ස්ප‍්‍රස් පර්ල් නැව වරායට සැතපුම් 10 ක් ඈතින් නැංගුරම්ලන ලදී. නැවේ කන්ටේනර්වලින් රසායනික ද්‍රව්‍ය ලීක් වන බවත් නිකමට හෝ කොළඹ වරායේ Harbour Master නිමල් ද  සිල්වා ට දන්වා තිබුණේ නැත. මෙය හිතාමතාම කරුණු වසන් කිරීමකි. නයිටි‍්‍රක් ඇසිඞ් මෙබඳුම තොගයක් අඩංගු නැවක් මීට මාස කිහිපයකට පෙර ලෙබනන් වරායේ නැංගුරම් ලා තිබියදී ගිනිගෙන පුපුරා ගිය අතර මුළු වරායම විනාශ වී ලෙබනන් නගරයේ ගොඩනැගිලිවලින් භාගයක් ද බිමට පහත් විය. එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ නයිටි‍්‍රක් ඇසිඞ් තිබෙන බව එහි කපිතාන් ස්ථිර වශයෙන්ම දනී. එසේම නාවික ක්ෂේත‍්‍රයේ පළපුරුදු මිනිහකු වූ හෙතෙම ලෙබනන් වරායේ පිපිරීම ගැන ද නොදැන සිටින්නට හේතුවක් නැත. එසේ තිබියදී නයිටි‍්‍රක් ඇසිඞ් ලීක් එකක් සහිත නැවක් ලෝකයේ හොඳම වරාය 24 න් එකක් වූ කොළඹ වරායට ඇතුළු කිරීම හෙණ ගහන අපරාධයකි. දැන් තිබෙන ප‍්‍රශ්නය මේ එකක්වත් නොව එක්ස්ප‍්‍රස් පර්ල් නැව ගිනි ගැනීමෙන් අපේ මුහුදට සහ සාමුද්‍රික ජීවිතයට සිදු වූ හානිය අඩුවෙන් තක්සේරු කර අඩු වන්දියක් ගෙවීමට අපරාධකරුවන් සූදානම් වීමය. මේ අපරාධකරුවන්ගේ නම ITOPF ය. එයින් හඳුන්වනු ලබන්නේ International Tank Owner Pollution Federation ය. මේ වනවිට නෞකාවේ සිද්ධියෙන් නැවේ ලියාපදිංචි අයිතිකාර සමාගම සහ නැවේ ප‍්‍රවාහන කටයුතු කළ සමාගම සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටිති. නැව ගැන කටයුතු කරන්නේ නැවේ රක්ෂණය පිළිබඳ කටයුතු කළ  P & I සමාගම සහ ITOPF‍ සමාගම පමණි. මෙය සමාන වන්නේ මිනිහෙක් මරා මිනීමරුවන් එම සීන් එකෙන් ඉවතට ගොස් මිනී මැරීමේ වගකීම වෙනත් පුද්ගලයකුට නීත්‍යානුකූලව පවරා දීමටය. මේ පිළිබඳව සෑහෙන හෙළිදරව්වක් ඊයේ දිවයිනේ මුල් පුවතේ සඳහන් ය. මේ සාපරාධී මගහැරීමට එරෙහිව ආණ්ඩුව දැඩි ක‍්‍රියාමාර්ගයක් ගත යුතුය.

 අපරාධයක් මගහැරීම අපරාධකරුගේ සාමාන්‍ය ස්වභාවයයි. මිනීමරුවා මුලින්ම කියන්නේ තමා මිනීමැරුම නොකළ බවය. ඊළඟට හදිසි කෝපය මත මිනීමැරුම කළ බව ඔහු කියයි. අරමුණු සහගත ලෙස සාපරාධී චේතනාවෙන් සහ සාපරාධී කුමන්ත‍්‍රණයකින් පසු මිනීමැරුමක් කරන අපරාධකරුට එල්ලූම් ගස ස්ථිර වශයෙන්ම ලැබෙන නමුදු හදිසි කෝපකාරයාට එල්ලූම් ගස නොලැබේ. ඒ වෙනුවට අත්හිටු වූ හිර දඬුවම් දක්වා වන අඩු ලංසුවේ දඬුවමක් ලබා ගැනීමට මිනීමරුවාට හැකිය. එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ පාරිසරික විනාශය අඩු ලංසුවෙන් තක්සේරු කිරීමට උත්සහ කිරීමට සමාන වන්නේ සාපරාධී අරමුණු සහගත කුමන්ත‍්‍රණයකින් ඝාතනය කෙරුණු පුද්ගලයාගේ මිනී මරුවන්ට හදිසි කෝප තත්ත්වයකදී ලැබෙන ඇඟ බැඳීමේ දඬුවමක් ලබා දීමටය. සාමාන්‍යයෙන් කොයි රටේ කොයි රක්ෂණ සමාගමත් බලන්නේ අඩුම වන්දිය ලබා දීමටයි. යමක් රක්ෂණය කිරීම සඳහා රක්ෂණය නියෝජිතයා ගෙට ගොඩවන්නේ සුර දූතයකු ලෙසය. ඔහු එන්නේ දිව්‍ය ලෝකයෙන් ගෙනා සැප සම්පත් බෙදන්නට ය. ඒත් අනතුරකින් පසු එකී සැප ලබා ගැනීමට ගිය විට නිතරම ලැබෙන්නේ දුකය. මේ නිසා එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ විනාශයෙන් වූ හානිය පූරණය කිරීමේදී ජාත්‍යන්තර නැව් සමාගම් සහ ජාත්‍යන්තර රක්ෂණ සමාගම් ඉදිරියේ ඇඹරෙන්නේ නැතුව වැඩ කිරීම ආණ්ඩුව සතු ලොකුම වගකීමය.

advertistmentadvertistment
advertistmentadvertistment