පුරාණ බලංගොඩ මානවයා ලොවටම හෙළි කළ මහා පුරාවිද්‍යාඥයා

354

ආචාර්ය පී. ඊ. පී. දැරණියගල

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම ලාංකික අධ්‍යක්‍ෂවරයාගේ 124 වැනි උපන් දිනය මැයි 8 දාය.

ඒ නිමිත්තෙන් පළවන විශේෂ ලිපියකි.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී එවක ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් විලියම් ග්‍රැගරි මහතාගේ බලවත් පරිශ්‍රමය නිසා 1877 ජනවාරි මස 1 වැනිදා බව ඉතා ප්‍රකට කරුණකි. මුල් කාලයේ සිටම ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂවරුන් වූයේ විදේශික විද්වතුන්ය. ඒ විද්වතුන් අතර අවසාන විදේශ විද්වත් අධ්‍යක්‍ෂවරයා වූ මැල්පස් මහතාට පසුව ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා ප්‍රථම ලාංකික අධ්‍යක්‍ෂවරයා ලෙසින් 1939 පත්වී 1963 තෙක් එම තනතුර බැබළවූ ලෝක පූජිත පුරාවිද්‍යාඥයෙක් වූයේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා ද 1940 සිට 1956 තෙක් එම තනතුර බැබළවීමෙන් මෙරටට ඉමහත් සේවයක් ඉටු කළේය. එතුමා 1956 විශ්‍රාම ලැබූ පසුව එම තනතුරේ වැඩ බැලීම සඳහා 1957 සිට 1958 තෙක් එහි සේවය කළේය. ඉතාම කනගාටුවට කරුණක් මෙහිදී සඳහන් කළ යුතුමය. එතුමා එහි වැඩබැලූ කාලයේ එතුමා විසින්ම නිකුත් කරන ලද පැලවාර්තාවල පමණක් ඒ බව සඳහන් වුවද 1990 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර සියයක් සපිරුණු අවස්ථාවේ (මේ ලේඛකයා ද එකල සේවයේ යෙදී සිටියේය.) පළ කරන ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස්වරුන්ගේ නාම ලැයිස්තුවෙන් ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතාගේ නම ඉවත් කර ඇත. එය හිතාමතාම සිදු කළේ දැයි අපි නොදනිමු.” “නොදනිමු කාගෙ දොසා” යනුවෙන් මෙහි සඳහන් කළ යුතුය.

පුරාණ බලංගොඩ මානවයා ලොවටම හෙළි කළ මහා පුරාවිද්‍යාඥයා
ආචාර්ය පී. ඊ. පී. දැරණියගල

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ මුල් පුටුව බැබළවීමෙහි නිරතවූ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා සිදුකළ බෙල්ලන්බැඳි පෑලැස්සේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීම ඉතා ප්‍රකටය. 1956 වර්ෂයේදී සබරගමු පළාතේ බලංගොඩ ජීවත්වූ මානවයන්ගේ සිරුරුවලට අයත් ඇටසැකිලි කීපයක් බෙල්ලන්බැඳි පෑලැස්සේ කැණීම් වලින් සොයා ගත්තේය. මෙම ඇට කැබලි අතරේ අං වලින් සහ ඇටකටුවලින් ද ගල්වලින් (ශිලා) සාදන ලද පුරාණ ආයුධ හා එකල මිනිසුන් ආහාරයට ගන්නා ලද සතුන්ගේ ඇටකටු ද ඒ අතර තිබී හමුවිය. මේවා එකල ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මීට අමතරව ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා 1930 සිට සබරගමුවේ පුරාණ ගල්ලෙන් කීපයකම ප්‍රාග් ඓතිහාසික ගවේෂණ සහ කැණීම් කටයුතු සිදුකර ඇත.

බලංගොඩ මානවයා

බලංගොඩ මානවයා මධ්‍ය ශිලා යුගයට අයත් වේ. මෙම මානවයන් හා ඊට අදාළ සංස්කෘතිය බලංගොඩ මානව සංස්කෘතිය නමින් ලොව ප්‍රකටය. මුල්වරට සබරගමුවේ බලංගොඩ ආශ්‍රිත ප්‍රාග් ඓතිහාසික ස්ථානවලින් හමුවී ඇත. හෝර්ටන් තැන්න (මහඑළිය) වැනි වගුරු බිම්වලින් ද විල්පත්තුව හා මන්නාරම වැනි පහත කලාපීය ශුෂ්ක ප්‍රදේශවලත් දක්නට ලැබුණි. බලංගොඩ මානවයා වර්තමානයේ ජීවත්වන මිනිස් පරපුරේ මීමුත්තා ලෙසින් සැලකිය හැකිය. මෙම සංකල්පය පවා භෞතික මානව විද්‍යාවේ වැදගත් වූවකි.

(හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් ලියන ලද ග්‍රන්ථ ආශ්‍රයෙන් ලියන ලදී.)

සිරිසමන් විජේතුංග

පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජික හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සහ මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමේ ලේකම්

advertistmentadvertistment
advertistmentadvertistment