මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

232

බලු කතාව

“ඒයි, ගුඩ්ඩා ගෙදර නෑ…..!” ඒ, බිරිඳගේ කටහඬ. “දවස් දෙකක් ගුඩ්ඩා ගෙදර නෑ. පොඩ්ඩක් හොයලා බලන්න!”

බිරිඳ උදේ වැඩට පිටත් වුණේ එහෙම කියාගෙන. බිරින්දෑගෙ විධානයක් මඟහරින්න බෑ. මඟහරින්න අපට බලයක් නෑ. වත්තෙ පොල් කඩන්න ආපු පොල් ගුණෙයාගෙන් මං මුලින්ම ඇහුවෙ ගුඩ්ඩා දැක්කාද කියල. “ඊයේ කසිප්පු එක්කම ගුඩ්ඩා පොලිසියට මාට්ටු වුණා.” ගුණෙයාගේ උත්තරේට මං විපිළිසර වුණා. ඒ මොකද ඒ කියන ගුඩ්ඩා වෙන එකෙක්, මේ ගුඩ්ඩා අපේ බල්ලා. බල්ලෙක් කසිප්පු පෙරන්න විධියක් නෑ. කසිප්පුයි බල්ලොයි එකට යන්නෙ නෑ. අරක්කුයි බල්ලොයි එකට යන්න පුළුවන්. වයිනුයි බල්ලොයි වුණත් එකට යන්න පුළුවන්. ගුණෙයා පිටත් වුණාට පස්සෙ මං කමිසයක් දාගෙන හන්දියට ගියා. හන්දියේ බල්ලො කීප දෙනෙක් බුදියගෙන හිටියා. ඒත් අපේ බල්ලා හිටියෙ නෑ. මට හිතුණා බල්ලා පන්සලට යන්න ඇති කියල. හුඟක් බල්ලො – බැල්ලියො වැඩ වැරදුණාම පන්සල් යනවා මං දකිනවා. පන්සලේ පඩිපෙළ ළඟටම ඇවිදගෙන ගියත් ඉන් උඩට යන්න හිතුණෙ නෑ මට. බෝධි මන්දිරය හදන්න මේ දවස්වල සල්ලි එකතු කරනවා. රුපියල දෙක නෙවෙයි, පන්දාහේ කොළවලින්. ඉතිං පන්සල් යන අදහස මගෙ අත්හැරුණා. ඒත් ආපහු හැරෙද්දි මට පෙනුණෙ පන්සල්වත්තෙ බලු විමානයක් ඉන්නවා.

බිරිඳ වැඩ ඇරිලා එද්දි බල්ලා ගෙදර ඉන්නම ඕන හින්දා මං බල්ලා බලන්න ටවුම දිහාට යන්න කල්පනා කළා. බල්ලාට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑ. ඒ හින්දා ගුඩ්ඩා ටවුමට ඇවිදගෙන ගියාවත්ද! හැබැයි දැන් බල්ලො ටවුන් යන්නෙ පයින් නෙවෙයි, සුඛෝපභෝගී වාහනවල. එහෙම යන ගමන් සමහර වෙලාවට පාරෙ යන අසරණයන්ට, බයික්කාරයන්ට වීදුරුවෙන් එළියට හොම්බ දාලා බුරන වෙලාවලුත් තියෙනවා. මං ටික වෙලාවක් බස්නැවතුමේ බලාගෙන ඉඳලා ආපු පළවෙනි බස් එකට අත දික්කළා. ඒත් බස්එක නතර කළේ නෑ. මං බැලුවා කවුද බස් එක එලෙව්වෙ කියල. එතකොට දැක්කෙ ඩ්‍රැයිවර් සීට් එකේ බල්ලෙක් වාඩි වෙලා ඉන්නවා. බල්ලොත් බස් එලවනවාද! ඊළඟ බස්එක නතර කළාට පස්සෙ යන්තම් ඒකට ගොඩවුණා. ඒත් බස්එකේ දාලා තිබුණෙ බල්ලොවත් අහන්නෙ නැති සිංදු වගයක්. ටිකට් කඩපු කොන්දොස්තර ඉතුරු සල්ලි නොදී ඉන්නකොට මං දැක්කෙ ඒත් බල්ලෙක් කියල.

මේ දවස්වල මං නපුරු හීන දකිනවා. හීනෙන් විතරක් නෙවෙයි, හැබැහිනුත් දකිනවා. මේ කාලෙ ඇදහිය නොහැකි දේ දර්ශනය වීම සාමාන්‍ය දෙයක් හින්දා මං කිසිවක් ගැන වැඩිදුර හිතන්නෙ නෑ. දකින දේ පිළිගන්නවා. ඒ අනුව අනුගත වෙනවා. එහෙම නොකර බෑ. ජීවත් වෙන්න නම් හීනෙන්වත් නොහිතන දේ කරන්න වෙනවා. ඊයේ රෑ එළිවෙනකන් වගේ මං හිටියෙ පොතක් කියව කියවා. ඒ හින්දාද මන්දා බස්එකේ වාඩිවෙච්ච මට නින්ද ගියා. ඇස් ඇරිලා බලද්දි මං දැක්කෙ බස්එක පිටකොටුවට ඇවිල්ලා කියල. මට ඕන වුණේ ඇල්පිටියට යන්න. ඒත් මං නැඟලා තිබුණෙ කොළඹ පැත්තට යන බස්එකක. දැන් මොකද කරන්නෙ? මං පිටකොටුවෙන් බැහැලා ඉස්සරහට පයින් ඇවිදගෙන ගියා. හැම තැනම වාහන තදබදය. මං ඇඟට කපපු ත්‍රීවීල් එකකින් බේරුණේ යන්තම් කාණුවකට පැනලා. පිස්සෙක්ද ත්‍රීවීල් එක එළවන්නෙ කියල බැලුවාම දැක්කෙ ඒත් බල්ලෙක් කියල. ගුඩ්ඩාද ඒ? නෑ, ගුඩ්ඩා ත්‍රීවීල් එලවන්න විධියක් නෑ. ගුඩ්ඩා වගේ උන් තමයි ත්‍රීවීල් එලවනවා මං හුඟක් දැක්කෙ. ඒත් ඒවායේ ගුඩ්ඩා හිටියේ නෑ. මං ආයෙත් බල්ලා සොයන ගමනට අවතීර්ණ වුණා.

ඇත්තටම මේකා කොහේ යන්න ඇද්ද? බිරිඳ කිව්ව විධියට ඌ දවස් දෙකකින් ගෙදර ඇවිත් නෑ. ඒත් ඌ කොළඹ එන්න පුළුවන්ද? කොහෙත්ම නෑ. එච්චර දුරක් බල්ලෙකුට පයින් යන්න බෑ. බල්ලන්ට දේශසීමා තියෙනවා. ඒවා බලු සීමා. සීමා නිර්ණ කමිටුව දාපුවා නෙවෙයි, බල්ලොම දාපුවා. ඒ හින්දා මේ ගමේ බල්ලාට එහා ගමට යන්න බෑ. ඒත් ඉස්සර ගමක බල්ලෙක් කොළඹ ආවාලු. ගමෙන් ආපු බල්ලො තමයි දැන් කොළඹ රජ කරන්නෙ. ඒත් මේ කොළඹ ආ බල්ලා එදා ආපහු ගමට ගිහිල්ලා කියල තියෙන්නෙ “අනේ බල්ලනේ, අපට කරදර අපේ එවුන්ගෙන්මයි!” කියල. ඒ කතාව මසුරන්. අපට කරදර අපේ එවුන්ගෙන්මයි. ගුඩ්ඩා කොළඹ ආවා නම් පාරෙ අඩි සලකුණු තියෙන්න ඕන. බලු අඩි. ඒත් කොළඹ තියෙන්නෙ කාපට් පාරවල්නෙ. ඒවායේ කෙහෙද බලු අඩි! නෑ, කාපට් තිබුණෙ ඉස්සර. දැන් කොළඹ පාරවල් ගම්සභා පාරවල් වෙලා. කෙහෙල් වවන්නත් පුළුවන් පාරවල් මැද්දෙ. ඉතින් බලු අඩි තියෙන්න බැරි නෑ පාරෙ.

කොටුව දුම්රියපළ ඉස්සරහා ඕල්කට් මාවතේ දිගටම හිටියෙ බල්ලො. ඒ බල්ලෙකුට අහු වුණොත් ගැලවෙනවා බොරු. පිටකොටුවේ හරස් වීදි, වර්ල්ඩ් මාර්කට්, පීපල්ස් පාක්…. විතරක් නෙවෙයි, වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්, ෂැංග්‍රිලාවලත් බල්ලො. බැල්ලියොත් ඉන්නවා. බැල්ලියන්ට විලිබිය ඇත්තෙම නෑ. බැල්ලියන්ට මොන විලිබියද! බල්ලො – බැල්ලියො කොහොමත් ඉන්නෙ හෙළුවෙන්. ඒක ඇත්ත. උන්ට ඇඳුම් ඕන නෑ. කොළඹ ඇවිදලා ඇවිදලා බැරිම තැන මං බිරිඳට දුරකථන ඇමතුමක් ගන්න කොමියුනිකේෂන් එකකට ගියා. ඒත් ඒකෙත් හිටියෙත් බල්ලෙක්. කෝල් එක බිරිඳට සම්බන්ධ නොවුණත් ඒකා මගෙන් මුදල් අය කළා. කොමියුනිකේෂන් එකෙන් එළියට බහිද්දි මට හිතුණෙ බල්ලො මිනිස්සු වෙලාද, මිනිස්සු බල්ලො වෙලාද කියල.

අපේ ගුඩ්ඩා ගැන කියනවා නම් ඌ හොඳ බල්ලෙක්. හොඳ කිව්වෙ පොමනේරියන්, ජර්මන් ෂෙපර්ඩ්, ඩොබර්මන්, ග්‍රේට් ඩේන්, බොක්සර්, පිට්බුල් වගේ සුපිරි බල්ලෙක් නෙවෙයි. ඌ නිකන් වල් බල්ලෙක්. වල්ගෙ අග සුදු වෙච්ච දඩාවතේ යන බල්ලෙක්. හුඟක්ම ඌ ඉන්නෙ පාරෙ. ජිනදාස මුදලාලිගේ තේ කඩේ ළඟ ගැවසෙන බල්ලො එක්ක ඌ හුඟක් රස්තියාදු ගහනවා. මොනවා වුණත් රෑ නවය වෙද්දි ආපහු ගෙදර යනවා. ගෙදර කන්න දෙයක් නැති බව ඌ දන්නවා. ඒ හින්දා ඌ ඒ වෙනකන්ම කඩේ ළඟ කාට කාට හරි නැට්ට වනලා බඩට මොනවාහරි දාගෙන රෑ මැදියමට කලින් ගෙදර එනවා. අන්න ඒ නිසයි ඌ හොඳ බල්ලෙක් වෙන්නෙ. ඌට මං ගුඩ් කියල නම දාද්දි මේ වගක් දැනගෙන හිටියෙ නෑ. හැබැයි ගුඩ් ගුඩ්ඩා කළේ නම් මං නෙවෙයි. ඒ, ජිනදාස මුදලාලිගෙ කඩේට තේ බොන්න එන හයිවේ පාරෙ වැඩ කරන මිනිස්සු.

මං කොටුව දුම්රියපළ ගාව ඉඳන් ඇවිදගෙන ඇවිත් තිබුණෙ ගෝල්ෆේස් පිට්ටනිය දිහාට. ඒත් එතන දැක්කෙ එකම ගාලගෝට්ටියක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයො වගයක් උද්ඝෝෂණයක් කරනවා. ශිෂ්‍යයො වගේ ඉන්න ඔළුවේ කළුපටි බැඳගත්තු රැවුල්කාරයො හුඟ දෙනකුත් එතන හිටියා. ඒ සමහරු ඒ වගේම අමුතු ජාතියෙ මාධ්‍ය කට්ටියකට වොයිස් කට් දෙනවා. මං ඒ කීප දෙනකුගේ කටහඬට පොඩ්ඩක් ඇහුන්කම් දුන්නා: “බව්,. වව්,. වව්,.! බව්,. වව්,. වව්,.!” මට ඇහුණෙ කථා කරන සද්දෙකට වඩා බුරන සද්දයක්. බුරන්නෙ අපේ බල්ලා නොවන හින්දා වැඩි වෙලා නොඉඳ මං එතනින් ඈත් වුණා. අමාරුවෙන් ඈත් වෙලා ආවත් එළියෙදි මට දැනුණා මගේ කලිසම් කකුලෙන් ගඳක් එනවා. අපොයි! මගෙ කලිසමට බල්ලෙක් මුත්‍රා කරලා.

මං අඩිය ඉක්මන් කරලා පාර දිගේ ඇවිදගෙන ගියා. දිගටම ඇවිදන් ගියා. දිගටම ගිහින් එක් තැනකදි එක පාරටම කවුදෝ මාව හරස් කළා. පොලිසිය! පොලිසිය මගෙ ලයිෂන් බලනවාද? නෑ, ඔවුන් ඇහුවේ “කොහෙද ඕයි මේ යන්නෙ?” කියල ගරුසරු විධියට. මං කිව්වා “මං ගුඩ්ඩා හොයනවා!” කියල. “මොකා?” එක් තරු පන්තියේ නිලධාරියෙක් පුදුමයෙන් ප්‍රශ්න කළා. මං ඔහුට සම්පූර්ණ කතාව කියා සිටියා. “ඕයි, බල්ලො මෙහෙ නෑ. මෙහෙ ඉන්නෙ ඇමැතිවරු!” ඒ, පොලිස් මහත්තයාගේ උත්තරේ. මට තේරුණා මට මඟ වැරදිලා කියල. මං ඇවිත් තිබුණෙ අධිආරක්ෂිත කලාපයකට. ඒකෙ ඉන්නෙ ඇමැතිවරුලු. මං අත්දෙක උස්සලා තරු නිලධාරීතුමාගෙන් සමාව ඉල්ලලා ආපහු හැරුණා. ඒ එක්කම එකදිගට හෝන් එක ගහන් ආපු වීඑයිට් එකක් පොලිස් මහත්තුරු ගාව ස්ලෝ කළා. මං එතකොට දැක්කෙ ඒකෙ ඇතුළෙ ඇමැති කෙනෙක් නෙවෙයි, බල්ලෙක් ඉඳගෙන ඉන්නවා. බල්ලෙක් වීඑයිට් එකක! ඌ කන කහපු විධියෙන් ඌ වල් බල්ලෙක් බවත් මට තේරුණා. ඒ බල්ලාට අල්ලපු සීට් එකේ හිටපු ටයි මහත්තයෙක් සැරින් සැරේ ගරුසරුවෙන් ජංගම දුරකථනයක් ළං කරනවාත් මට පෙනුණා. ඒත් මං වැඩිදුර හිතුවේ නෑ. වැඩි වෙලා රැඳුණෙත් නෑ. පසු නොබලා තුන්මුල්ල වෙනකන්ම පයින් ඇවිදන් ඇවිත් ඇල්පිටිය බස් එකකට නැග්ගා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment