මන්දපෝෂණය යළි උග්‍ර වෙලා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

84

එදා හෙළි කරද්දී මා රැකියාවෙන් ඉවත් කළා

පවුල් සෞඛ්‍ය කාර්යාංශ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරවලට සාපේක්‍ෂව මේ වසරේ දරුවන් අතර මන්දපෝෂණය ඇතුළු පෝෂණ ඌනතාවන්වල වැඩිවීමක් දක්නට ලැබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා පවසයි.

එම වාර්තාවලට අනුව බර අඩුවීම හෙවත් කෘෂභාවය වැඩිපුර දක්නට ලැබෙන දරුවන් වැඩි පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි පෙරේදා (26දා) හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම සඳහන් කළේය.

හම්බන්තොට ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙවැනි තත්ත්වයක් වාර්තා විය. මීට වසරකට පෙර තමා දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු කළ නමුත්, හිටපු සෞඛ්‍ය ඇමැති ලේකම් සහ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කරුණු නොවිමසාම තමා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කළ බව වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තාවලට අනුව 2022 වර්ෂයට සාපේක්‍ෂව 2023 අවසන් වන විට දරුවන්ගේ උස අඩුවීම්, බර අඩුවීම් ඇතුළු පෝෂණ අර්බුද රටපුරා දක්නට ලැබෙන බවද හෙතෙම පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් අතර උසට සාපේක්‍ෂව බර අඩුවීමේ අගය සියයට 32.4ක් වැනි ඉහළ අගයක් වී ඇතැයි ද, උසට අදාළ බර අඩුවීම කෘෂ බව ලෙස හඳුන්වන අතර කෘෂ බව නිසා කෙටි කාලයක් තුළ දරුණු ලෙස බර අඩුවීමක් හඟවන බැවින් ඇතැම් විට මෙම තත්ත්වය කාලයක් තිස්සේ පැවතිය හැකි අතර ආහාර ප්‍රමාණය සහ පෝෂක සංඝටක, විශේෂයෙන්ම ශක්තිජනක ආහාර අවශ්‍ය පමණ නොලැබීම හේතුවෙන් නිතර නිතර රෝගීවීම හෝ දීර්ඝකාලීනව පවත්නා රෝග තත්ත්වයන් ද දරුවන් තුළ ඇතිවිය හැකි බව ඒ මහතා පැවසීය.

අඩු බර දරුවන් වැඩිම ප්‍රතිශතය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද, උසට සාපේක්‍ෂව බර අඩු දරුවන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ද, උග්‍ර කෘෂ බර අඩු දරුවන් කළුතර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වන අතර එම පෝෂණ දත්ත වාර්තා අනුව ගර්භණී මව්වරුන් අතරත් මන්දපෝෂණයේ සහ නීරක්තියේ වැඩිවීමක් ද දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment