දේවාපහාසය, ශුභාරංචිය සහ අසුභ ආරංචිය

1200

ඉස්ලාමීය අන්තවාදීන් විසින් ස්වකීය ආගම ඇපයට තබා පාකිස්ථානයේදී පුළුස්සා මරණ ලද ප‍්‍රියන්ත දියවඩනගේ නමැති සිංහල බෞද්ධ මිනිසාගේ පැත්ත ගෙන කතා කිරීමට පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පියවර ගෙන ඇත. මේ නිර්භීත පියවරත් සමගම ඉම්රාන් ඛාන්ගේ ජීවිතය මහත් අවදානමකට පත්වනවාද ඇත. අප ඊයේද මේ තීරුව මගින් සඳහන් කළ පරිදි පාකිස්ථානය තුළ ආගමික නිදහස ප‍්‍රවර්ධනය කිරීම සඳහා හෝ නිදහස් චින්තනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රවර්ධනය කිරීම සඳහා හෝ පෙනී සිටි කිසිවෙක් පණ පිටින් ඉතිරි නොවූහ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයකින් බලයට පත්වූ බටහිර මතවාදයට ලැදි උගතකු වූ සුල්ෆිකාර් අලි භූතෝ එල්ලා මැරීමත් එම මතවාදය ඉදිරියට ගෙනගිය ඔහුගේ දියණිය වූ බෙනාසීර් භූතෝට බෝම්බ ගසා මැරීමත් පෙරකී කතාවට උදාහරණ දෙකකි. සුල්ෆිකාර් හෝ බෙනාසීර් මෙන් ප‍්‍රසිද්ධියට පත් නොවූ නිදහස් මතධාරී පකිස්ථානුවන් කී දහසක් මේ ආකාරයෙන් ඝාතනය වන්නට ඇත්දැයි අපි නොදනිමු. ආගම යනු කැපෙන ආයුධයක් නොවේ. එහෙත් ඉස්ලාම් අන්තවාදීහු ස්වකීය කුණු අදහස් මගින් අල්ලා දෙවියන්ගේ ශුභ පණිවිඩය සහ මහම්මත්තුමාගේ විශිෂ්ට දර්ශනය කැපෙන ආයුධයක් බවට පත්කරගෙන ඇත. මෙය ලංකාවේ පාලකයන්ටද පාඩමකි. මෙරට තුළ  නැග එන ඉස්ලාම් අන්තවාදය දැනට ප‍්‍රදර්ශනය කළේ සහරාන් ඇතුළු මිතුරු කැල පමණි. මෙරට තුළ මෙවැනි අන්තවාදීන් කොතෙක් සිටිත්දැයි කව්රුවත් නොදනිති.

 ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු කොමිසමේ වාර්තාවකට අනුව දේව අපහාස නීතිය යටතේ වරදකරුවන් වූ පාකිස්ථාන ජාතිකයන් 80 දෙනෙක් මේ වනවිට මරණ දණ්ඩනයට නියමකොට එරට හිර ගෙවල්වල රඳවා තබනු ලැබ ඇත. 1967 සිට 2014 දක්වා කාලය තුළ පාකිස්ථාන ජාතිකයන් 1300 ක් දේව අපහාස නීතිය යටතේ උසාවි වෙත දක්කාගෙන යන ලදහ. පාකිස්ථානයේ තිබෙන මානව හිමිකම් සංවිධාන කියන පරිදි පුද්ගලික පළිගැනීම් සඳහා ද දේව අපහාස නීතිය පාවිච්චි කරනු ලැබේ. 1988 -1989 අවුරුදු වල මෙරට පැවති භීෂණ යුගයේදී ද මෙයම සිදුවිය. එකල ප‍්‍රශ්නය පැවතියේ ජනතා විමුක්ති පෙරමුණ සහ යූ එන් පී ආණ්ඩුව අතරය. එහෙත් එම තත්ත්වය යොදාගෙන ජේ වී පී කාරයන් පමණක් නොව ශ‍්‍රී ලංකා කාරයන්ද කොමියුනිස්ට්කාරයන්ද කිසිම පක්ෂයකට නැති සාමාන්‍ය ජනයාද සංහාරය කිරීම සිදුවිය. ඒ ඝාතන සියල්ලම පුද්ගලික පලිගැනීම්ය. 1987 සහ 2017 අතර කාලයේදී දේව අපහාස නීතිය යොදාගෙන පාකිස්තාන් ජාතිකයන් 75 දෙනෙක් පමණ මරණ ලදී. මෙයින් වැඩිදෙනා මරාදමන ලද්දේ එක්කෝ නඩු විභාගයට පෙනී සිටීමට උසාවි යන අතරය. නැත්නම් ගෙදර සිටින අතරය. එසේ නැත්නම් නීතිඥවරුන් හමුවීමට යන අතරය. පාකිස්ථානයේ දේව අපහාස නීතිය යටතේ චෝදනා ලබන පුද්ගලයකුගේ සියලූම තොරතුරු ආණ්ඩුවේ වියදමින් නිල නොවන මට්ටමින් ප‍්‍රචාරය කරනු ලැබේ. එවිට තම ඉලක්කය හඳුනාගන්නා ආගමික අන්තවාදීහු චූදිතයා මහ පාරට බසින වෙලාවක් බලා ඔහු හෝ ඇය අල්ලාගෙන අත පය කඩා ගිනිතබා මරති. අගමැති ඉම්රාන් ඛාන් පත්වීමට පෙර සිටි පාකිස්ථාන රාජ්‍ය නායකයන් වූ හමුදා පාලක සියා උල්හක්, හමුදා පාලක පර්වේස් මුෂාරෆ්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගමැති නවාස් ෂරීෆ්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගමැති අසීෆ් අලි සර්දාරි යන කිසිදු අයෙක් යටතේ මෙවැනි මිනී මරුවන්ට කිසිදු දඬුවමක් ලැබුණේ නැත. එයට හේතු වූයේ පාකිස්ථානයේ බලගතු යුධ හමුදාව තුළ සිටින ආගමික අන්තවාදී සෙබළ කල්ලි කෙරෙහි ඔවුන් තුළ වූ භීතියයි. පාකිස්ථානයේ ආගමික අන්තවාදයට එරෙහිවීමට සූදානම් වන ඕනෑම කෙනෙක් බෙල්ල නැතිව කනත්තට යෑමට සූදානම් විය යුතුය. මේ අනුව පුළුස්සා මරණ ලද ප‍්‍රියන්ත දියවඩනගේ වෙනුවෙන් පෙනී සිටින ඉම්රාන් ඛාන්ගේ අවදානම තේරුම් ගැනීමට ඉතා පහසුය.

 පාකිස්ථානයේ දණ්ඩ නීති සංග‍්‍රහයට අනුව දේව අපහාසය අර්ථ කථනය කිරීමත් ඒ සඳහා දඬුවම් පැමිණවීමත් මෙසේය. 1. ඉස්ලාම් ආගම නිසා හටගන්නා භක්තියට හානි කිරීමේ අරමුණින් කිසියම් දෙයක් මිමිණීම, කිසියම් හඬක් පිටකිරීම, කිසියම් වස්තුවක් පෙන්වීම හෝ දැකීමට සැලැස්වීම එක් අවුරුදු සිර දඬුවමකට හෝ දඩයකට හෝ ඒ දෙකටම හේතුවකි. 2. ඉස්ලාම් ආගමේ ශුද්ධ වූ පුද්ගලයන්ට අපහාස වන පරිදි අදහස් පළ කිරීම තුන් අවුරුදු සිර දඬුවමක් හෝ දඩයක් හෝ ඒ දෙකම හෝ ලැබීමට හේතුවකි. 3. ඉස්ලාම් ආගමේ ශුද්ධ වන්තයන්ට හෝ ශුද්ධ වූ සිද්ධස්ථාන හෝ වෙනුවෙන් ඇති ගෞරව නාම විස්තර හෝ ශිලා ලිපි අවභාවිතා කිරීම තුන් අවුරුදු සිර දඬුවමකට සහ දඩයකට හේතුවකි. 4. මුස්ලිම්වරයකු ලෙස පෙනී සිටිමින් සෙසු මුස්ලිම්වරුන්ගේ ආගමික හැඟීම් කුපිත වන අයුරින් හැසිරීම හෝ දේශනා කිරීම තුන් අවුරුදු සිර දඬුවමකට සහ දඩයකට හේතුවකි. 5. ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ අරමුණින් එම ආගමේ වන්දනීය ස්ථාන හානි කිරීම අවුරුදු දෙක දක්වා වූ සිර දඬුවමකට හෝ දඩයකට හෝ එම දෙකටම හේතුවකි. 6. ඉස්ලාමීය ආගමික විශ්වාසයන්ට හෝ ආගමික හැඟීම් හානිවන අයුරින් හිතා මතා සිදු කරන ද්වේශ සහගත හැසිරීම් සඳහා ලැබෙන දඬුවම දහ අවුරුද්දක සිර දඬුවමක් හෝ දඩයක් හෝ ඒ දෙකේම එකතුවකි. ශුද්ධ වූ කුරානයට හානි කළොත් මුළු ජීවිතයම සිර ගෙදර ලගින්නට සිදුවේ. අල්ලා දෙවියන්ට හෝ මහම්මත්තුමාට අපහාස කළොත් එල්ලා මරනු ලැබේ.

 පාකිස්තානය තුළ පවතින මේ නීති සමූහය විසින් ශිෂ්ට ලෝකය පමණක් නොව මනුෂ්‍ය ශිෂ්ටාචාරයද අභියෝගයට ලක්කර ඇත. මනුෂ්‍ය ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ ගස් ගල් ඇදහිල්ලත් සමගය. ඊළඟට ගස් ගල් තිබෙන තැන් වලට යක්කු ආදේශ වූහ. තෙවනුව යකා සිටින තැනට දෙවියෝ ආදේශ වූහ. ඊළඟට දෙවියන්ගේ සුභාරංචිය රැුගෙන ඇවිදින විවිධ ඒජන්තවරු ලොව පුරා ප‍්‍රාධුර්භූත වූහ. යුරෝපීය ආගම් සහ ආසියානු ආගම් වෙන්කරන මර්මස්ථානය වන්නේ දේව ඇදහිල්ලයි. එසේම දේව ඇදහිල්ල සහ දෙවියන්ගේ නියෝජිතයන් පිළිබඳ විශ්වාසයයි. ආසියානු ආගම් වලට දෙවිවරු සිටියද නියෝජිතයෝ නොවෙති. හින්දු ආගමට ශිව දෙවියන් ඇතුළු දේව මණ්ඩලයක්ම සිටියද කිසිදු නියෝජිතයෙක් නැත. කිසියම් නියෝජිතයෙක් වෙතොත් ඔවුහු කපුවෝද පූසාරිලාද පමණක් වෙත්. ඔවුන් වරදක් කළොත් රටේ නීතියට අනුව ගස් යැවිය හැකිය. ජෛන ආගමේ කිසිදු නියෝජිතයෙක් නැත. චීනයේ තිබෙන දේශීය ආගම් කිසිවකට සුභාරංචිකරුවන් නැත. බෞද්ධ දර්ශනය ෆ‍්‍රැන්චයිස් හෝල්ඩර් ලාගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වූ ආගමකි. ඉහත සඳහන් සිතුවිලි අපේ සිතට නැගෙන්නේ ප‍්‍රියන්ත දියවඩනගේ මරාදමනු ලැබූ තුච්ඡු හා ම්ලේච්ඡු ක‍්‍රමවේදයට සමගාමීවය.

advertistmentadvertistment
advertistmentadvertistment