පාසල් දරුවන් ගැන කතා දෙකක්

1001

පාසල් පොත් බෑගයේ බර අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඊට අදාළ චක්‍රලේඛය ද මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව සිසුන් සඳහා වැඩ පොත් හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතය. මෙම කාරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය විදුහල්පතිවරුන් දැනුවත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වන්නේ දරුවන්ගේ පෙළ පොත් ආරක්‍ෂිතව පන්ති කාමරයේ රැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

පාසල් පොත් බෑගයේ බර වැඩිවීම නිසා පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ඇතුළු විවිධ ආබාධ ඇතිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇත. මෙම තීරණය ඉතා කාලෝචිතය.

මෙම තීරණයට සමගාමීව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතු කාරණයක් මෙහිදී අපි පෙන්වා දීමට කැමැත්තෙමු. පාසල් දරුවන් සහභාගි වන ටියුෂන් පන්තිවලදී ඔවුන් මුහුණ දෙන ගැටලුවක් වන්නේ ඔවුනට හරිහමන් ආසනයක් නොමැතිවීමයි. බොහෝ ටියුෂන් පන්තිවලට දරුවන්ට අසුන් ගැනීමට ඇත්තේ ඉතා කුඩා බංකුය. මෙම කුඩා බංකු කිසිදු පහසුකමක් නැත. එසේම තමන්ගේ කොන්ද කෙලින් තබා ගැනීමට ප්‍රමාණවත් ආධාරකයක් බංකුවල නැති නිසා දරුවන් විඳිනුයේ අපමණ පීඩාවකි. පැය ගණන් මෙසේ බංකුවල වාඩිවී සිටීම නිසා එය ඍජුවම දරුවන්ගේ කොඳු ඇට පෙළට බලපෑම් එල්ල කිරීම නැවැත්විය නොහැකිය. මෙය දීර්ඝකාලීනව දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකරය. ඇතැම් දරුවන්ට පැති කුදය වැනි රෝග උත්සන්න වීමට පවා මෙය අහිතකර ලෙස බලපානු ඇත. මෙම කාරණය ඍජුව අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ නැතත් අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරීන් මේ ගැන අවධානය යොමු කළ යුතුමය. අනෙක් ප්‍රශ්නය මෙහිදී ටියුෂන් ගුරුවරුන්ට මෙන්ම ටියුෂන් පන්ති පවත්වාගෙන යන අයද මේ ගැන අවධානය යොමු කළ යුතුය. දරුවන්ගේ ටියුෂන් පන්ති සඳහා මුදලක් ලබාගන්නා සේම ඔවුනට අධ්‍යාපනය කරගෙන යෑමට සුව පහසු පරිසරයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ යුතුකමකි. මුදල, ලාබය ගැන පමණක් නොසිතා මානුෂිකව මෙම ප්‍රශ්නය දෙස බලන්නැයි අපි ටියුෂන් පන්ති පවත්වාගෙන යන උදවියගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. විෂය කරුණු අතින් සන්නද්ධ වීම පමණක් නොව නිරෝගිමත් දරු පරපුරක් අනාගතයට උරුමකර දීම අප සැමගේ වගකීමකි. විශේෂයෙන් දරුවන් මානසිකව හෝ කායිකව පීඩනයට ලක් නොකර ඔවුනට අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා සෑම පියවරක්ම ගැනීම රටේ අනාගතය වෙනුවෙන් කරනා වටිනා ආයෝජනයක් බව අමතක නොකළ යුතුය.

දරුවන්ගේ පීඩාව ගැන කතා කරන විට අපගේ අවධානය යොමුවන තවත් ක්‍ෂේත්‍රයක් වන්නේ විභාගයි. අප රටේ පවතින ක්‍රමවේදය අනුව විභාග යනු දරුවන්ගේ ජීවිතයේ කඩඉම් අවස්ථායි. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ විභාගවලට මුහුණ දෙන අප රටේ දරුවන් මේ නිසාම දැඩි තරගකාරී තත්ත්වයට ඇදවැටී තිබේ. ලෝකයේ අන් රටවල පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමවේදවලට සාපේක්‍ෂව මෙය හොඳ යැයි කිව නොහැක. එහෙත් පවතින යථාර්ථය අනුව අප රටේ විභාග දරුවන්ගේ අනාගතය තීරණය කරන තීරණාත්මක කඩඉම් බව නොරහසකි.

මෙම තත්ත්වය හමුවේ අප රටේ පළාත් මට්ටමින් හෝ ජාතික මට්ටමින් දරුවන් උදෙසා පැවැත්වෙන විභාග විනිවිදභාවයකින් පැවැත්වීම අනිවාර්ය සාධකයකි. නමුත් ඇතැම් අවස්ථාවලදී මෙම විභාගවලට දෙනු ලබන ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම පිළිබඳව වරින් වර සිද්ධීන් වාර්තා වීම කනගාටුදායකය. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ මේ දිනවල බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළට පෙනී සිටින දරුවන්ට ලබාදුන් වාර විභාගවලට අදාළ ඉතිහාසය සහ විද්‍යාව යන විෂයන්වල ප්‍රශ්නපත්‍ර විභාගයට පෙර පිටවී ඇති බවයි. එසේ පිටවූ එම විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යවල දමා තිබෙන බව ඔහු ප්‍රකාශ කරයි. මෙහි බරපතළ අවස්ථාවක් පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී වාර්තා විය. ඒ කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් වූ ප්‍රශ්න පත්‍රය පිටවීමයි. එම විභාග ප්‍රශ්න පත්‍රයට උත්තර ලියූ සිසුන්ට එය නැවත ලිවීමට සිදුවිය. මෙම තත්ත්වය ශිෂ්‍යයන් මත පැටවෙන අනවශ්‍ය බරකි. අනෙක් අතින් අප රටේ විභාග පිළිබඳව යම් සැක සංකා මතුකරන කාරණාවකි. එනිසාම මෙම සිද්ධීන්වලට වගකිව යුතු අයට තරාතිරම නොබලා දඬුවම් දීම අදාළ බලධාරීන්ගේ වගකීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment