ගිනි කෑවොත් අඟුරු කුඩු කෑවොත් බුලට්

918

ලංකාවේ පාතාල සාමාජිකයන්ට සහ කුඩු බිස්නස්කාරයන්ට විරුද්ධව දවස් 7 ක යුද්ධයක් ප්‍රකාශයට පත්කරමින් මහජන ආරක්ෂාව භාර ඇමැති ටිරාන් අලස් ස්වකීය තුවක්කුවලට බුලට් ලෝඩ් කරගන්නා ලෙසට පොලිසියට ඉඟියක් දී තිබේ. ඔහු මේ තුවක්කු පත්තු කරවීම වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මගින් සිදුකරනවා ඇත. ප්‍රභාකරන්ට ධර්ම දේශනා කරමින් සිටියේ නම් මේ වනවිට මේ රටේ උතුර හා නැගෙනහිර වෙනම රටකි. එවකට පැවති රාජපක්ෂ ආණ්ඩුව එවකට සිටි යුද හමුදාපති සරත් ෆොන්සේකා හරහා තුවක්කුව නිසි තැනට එල්ලකර පත්තු කළේය. උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්නයට තුවක්කුවෙන් දුන් උත්තරය තිරසාර උත්තරයක් නොවන බව අපගේද පිළිගැනීමය. එහෙත් ත්‍රස්තවාදයට තිරසාර උත්තරය වන්නේ තුවක්කුව පමණක්මය. මෙය මනුෂ්‍යයා ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගයේදී ගත් තීන්දුවකි. විසෙන් විස නැසිය හැකිය. මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ ක්‍රමවේදය යටතේ ඉදිරි දවස් 7 තුළදී පාතාලකාරයන්ට සහ කුඩ්ඩන්ට ගිනි පිටවෙන්නට ෂොට් එක වදිනවා ඇත. මෙහිදී කුඩු ගහන අය මෙන්ම කුඩු විකුණන අයද සාදරයෙන් ටාර්ගට් එක ලෙස තෝරාගනු ලැබේ. ගිනි කෑවොත් පස්ස පැත්තෙන් පිටකරන්නේ ගිනි අඟුරුය. මීට සමරූපව කුඩු කෑවොත් පස්ස පැත්තෙන් බුලට් පිට කිරීමට සිදුවනවා ඇත. ඒ අතර තවත් වැදගත් යමක් කියමු. ටිරාන් අලස්ගේ යුද්ධය තුළ සටන් විරාමයක්ද ඇත. මේ දෙකම එකම සතිය තුළ ගෙවී යන පරිදි කටයුතු යොදා තිබේ. එනම් පොලිසියට භාරවී වැඩේ නීත්‍යනුකූලව බේරුම් කරගැනීමට පාතාලකාරයන්ට මෙන්ම කුඩ්ඩන්ටද අවස්ථාව තිබේ. සුදු කොඩි රැගෙන එන කාටවත් වෙඩි නොතබන බවට දේශබන්දු තෙන්නකෝන් සහතික වනවා ඇත.

මෙයට අවුරුදු 183 ට පෙර අබිං, ගංජා සහ හැලි අරක්කුවලට අමතරව මත්ද්‍රව්‍යය ලෝකයේ තිබුණේ නැත. දුම්කොළ සහ රා එකලද තිබූ නමුත් ඒවා සීරියස් මත්ද්‍රව්‍ය ලෙස ගණන් ගනු නොලැබේ. 1840 දී Fredrich Serturner නමැති ජර්මන් ජාතික රසායන විද්‍යාඥයා අබිංවල තිබෙන සියලුම ආකාරයේ ක්‍රියාකාරී රසායනික සංඝටකයන් ඉවත් කරගෙන ඒවායින් මෝෆීන් නමැති මත්ද්‍රව්‍යය සෑදුවේය. මෙය කිසියම් ආකාරයක කෘත්‍රිම මත්ද්‍රව්‍යයක් ලොව සාදන ලද මුල්ම අවස්ථාවයි. නින්දට අධිපති දෙවි කෙනෙක් ග්‍රීක දේව මණ්ඩලයේ සිටී. ඔහුගේ නම ද මෝෆීන් ය. ජර්මන් ජාතික විද්‍යාඥයා තමා සොයාගත් අලුත් මත්ද්‍රව්‍යයට ග්‍රීක දෙවියන්ගේ නම දමන ලද්දේ මෝෆීන් ගැසූ විට නිද්‍රාජනක ගතියක් මනසට දැනෙන නිසාය. ඒ වන විටත් ලතින් ඇමරිකාව පුරා ගංජා ද යුරෝපය පුරා අබිං ද පැතිර ගොස් තිබුණේය. හැලි අරක්කු ගෙදරම පෙරන ලදී. එබැවින් එය කවර රටටත් කවර ජාතියටත් පොදු ගෝලීය පානයක් විය. මෙයට අවුරුදු 500 ට පෙර හැලි අරක්කු පෙරීමක් ලංකාවේ තිබුණේ නැත. කෙළින්ම කිතුල් ගහෙන් හෝ පොල් ගහෙන් බාගන්නා රා කට්ටක් ගසා ලුණු ඇටයක් සපා දෙකට නැමී කෙළපාරක් ගසා අමුඩයෙන් හොටු පිහදාගෙන කුණුහරුප කියමින් ගෙදර යෑම එකල බේබදු ජනතාවගේ විලාසිතාව විය. ලංකාවට කේරළයේ බලපෑම වැඩිවීමත් මෙරටට ගංජා සුරුට්ටු හෙවත් සූස්ති පුරුදු වීමත් එක කාලයේදී සිදුවිය. කොහොමත් කේරළ ගංජා අපේ ගමේ ගොඩේ තිබෙන කබල් ගංජාවලට වඩා බලයෙන් වැඩිය. ලංකාවට රා මැදීම පවා පුරුදු වූයේ කේරළයෙනි. අප මෙයින් කීමට උත්සාහ කරන්නේ මේ රට ධර්මාචාර්ය සංගමයක් හෝ කුලඟන සමිතියක් මෙන් සිහිපත්, විනයධර අතීතයකින් යුක්ත රටක් බව කීමට නොව මෙරටට මත්ද්‍රව්‍යය පැමිණීමේ ඉතිහාසය විස්තර කිරීමටය. 1970 වන තුරු මේ රටේ ජනතාවට තිබූ ලොකුම ඇල්කොහොල් වර්ග දෙක කසිප්පු හා ගල් ඔය සංවර්ධන මණ්ඩලයේ ගල් අරක්කුය. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මුලදී ලෝක සංචාරක ව්‍යාපාරයේ දියුණුවත් නාවික හා ගුවන්

ගමනාගමනයේ ප්‍රසාරණයත් නිසා ඉතා ක්‍රමානුකූල ලෙස කොකේන් මෙරටට පැමිණෙන්නට විය. ඊළඟට හෙරොයින් පැමිණියේය. 1977 න් පසු ලංකාව ජාත්‍යන්තරයට විශාල වශයෙන් විවෘතවීම නිසා සියලුම මත්ද්‍රව්‍ය මෙහි එන්නට පටන් ගත්තේය. ගංජා වලින් සාදන by product මත්ද්‍රව්‍ය කිහිපයක්ම තිබේ. මීට අමතරව කුඩු හැටියට එන හෙරොයින් හා කොකේන් තිබේ. ඩයිනමයිට් කරලේ මැද තිබෙන ජෙල් වර්ගයද මත්ද්‍රව්‍යයකි. මෙය නිකන්ම කත හැකි දෙයක් නොවේ. ඒ සඳහා තවත් අනුපාන අවශ්‍යයි. මේ රටේ මිනිසුන්ගේ කට හක්කපටස් වීමට ඉඩ දෙනු බැරි නිසා අපි ඒ ගැන වැඩිදුර විස්තර නොකියමු. අද වනවිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යය ආර්ථිකය යනු රටේ ප්‍රධාන ආර්ථිකයට වඩා ඉදිරියෙන් සිටීමටද ඉඩ තිබේ. අද ඇති භයානකම තත්ත්වය වන්නේ සමහර මත්ද්‍රව්‍ය ඉතා ලාබෙට මිලට ගැනීමට හැකි වීමය. තමන්ගේ සිරුරේ රහස් තැන් ස්පර්ශ කිරීමට දී ඒ සඳහා ගාස්තුව වශයෙන් ලබාගන්නා මුදලින් කුඩු ගහන පාසල් යුවතියන් ගැන පසුගියදා වාර්තා විය. මේ නිසා කුඩුකාරයන් සහ පාතාලකාරයන් සඳහා සටන් විරාමයක් වුව අවශ්‍ය නැතැයි අපට හැඟේ. පාතාලය සහ කුඩු එකට බැඳී පවතී. පාතාලය හෑරූ තරමට තොග පිටින් කුඩු ලබාගත හැකිය. මේ සියලු කරුණු සලකා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ ගේම ගහනු ඇති බව අපට විශ්වාසය.

advertistmentadvertistment
advertistmentadvertistment