ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපෘති කාර්යාල රැසක් වසා දැමීමට නිර්දේශ

167

දැනට මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක එකසිය තිස්තුනක් අතරින් කාර්යාල රැසක් වසා දැමීමට විශේෂ කමිටුවක් මගින් රජයට නිර්දේශ කර තිබේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ අදාළ කාර්යාලවල ඵලදායිත්වය හා කාර්යක්‍ෂමතාව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය මගින් පත් කරනු ලැබූ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන එච්.ඊ. කමල් පත්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.

එම නිර්දේශවලට අනුව ඉහළ වැටුප් ලබන කාර්ය මණ්ඩලවලින් යුතු අදාළ ව්‍යාපෘති කාර්යාල අතරින් කාර්යාල පනස් පහක් වසා දැමීමටත් තවත් කාර්යාල 32 ක් අත්හිටුවීමටත් යෝජනා වී ඇත. තවත් කාර්යාල 46 ක් අවම කාර්ය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යෑමට නිර්දේශ වී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පෙරේදා (06 වැනිදා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇති අතර එහිදී ඇතැම් ඇමැතිවරුන් යෝජනා කර ඇත්තේ අදාළ කාර්යාල වසා දැමීමක් නොකර කාර්යක්‍ෂමව පවත්වාගෙන යෑම සුදුසු බවයි.

එහිදී කැබිනට් මණ්ඩලය ඇමතූ ජනාධිපතිවරයා අදාළ කාර්යාල කිසිවක් වසා දමනවාද, අත්හිටුවනවාද යන්න මේ දක්වා තීරණය කර නොමැති අතර මුදල් අමාත්‍යාංශය තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව දැනුම් දී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment