පෝට්සිටි අවන්හල් 2027 දී ඉවත් කෙරේ – වරාය නගර බලධාරීහු කෝපා කමිටුවට කියති

227

කොළඹ වරාය නගරයේ ඉදිකර තිබෙන සියලු අවන්හල් 2027 මාර්තු වනවිට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවේ ප්‍රකාශ කර තිබේ.

එහිදී කමිටුව, වරාය නගරයේ එවැනි අවන්හල් පිහිටුවීමට අවසරදීමට අදාළ බලධාරීන් තීරණය කර ඇත්තේ කුමන නීතිමය පදනමක් මත ද යන්න සහ 2027 වර්ෂය වනවිට ඒවා ඉවත් කිරීමේ නෛතිකභාවය පිළිබඳව ද කොමිසමේ සාමාජිකයන්ගෙන් වැඩිදුරටත් විමසා සිටියහ. එමෙන්ම කමිටුව මෙහිදී කොමිසමේ සාමාජිකයන්ගෙන් විමසා සිටියේ මෙම අවසර ලබාදීම සහ ඉවත් කිරීම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇත්දැයි යන්නයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන තොරතුරු හැකි ඉක්මනින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කමිටු සභාපතිවරයා කොළඹ වරාය නගරය ආර්ථික කොමිසමට සහ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

වරාය නගරය ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන විසින් සැලකිය යුතු මුදලක් වැය කර ඇති බව ද මෙහිදී අනාවරණය විය. මේ සියලු මුදල් බදු ගෙවන්නන්ගේ මුදල් වන බැවින් රටේ බදු ගෙවන පුරවැසියන්ට මින් ලැබෙන ප්‍රතිලාභය කුමක්දැයි කමිටුව, කොමිසමෙන් ප්‍රශ්න කර තිබේ.

ඒ අනුව වරාය නගරය සහ යටිතල පහසුකම් සඳහා වන රජයේ වියදම් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන ලෙසත්, කොළඹ වරාය නගරයේ වැඩ කටයුතු ආශ්‍රිත ආදායම් මාර්ග පිළිබඳ විස්තරද ඉදිරිපත් කරන ලෙසත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, කොමිෂන් සභාවේ සාමාජිකයන්ට උපදෙස් ලබාදී ඇත.

රාජ්‍ය ඇමැති වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ මධුර විතානගේ, යූ. කේ. සුමිත් උඩුකුඹුර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment