කතා සරිත් සාගරය

766

කතා කළ යුතු වැදගත් දේවල් ගණනාවක් තිබේ. තම බිරියට පහරදී තම දහතුන් හැවිරිදි දියණිය දූෂණය කළ වව්නියාවේ පොලිස් කොස්තාපල් කෙනකු ගැන ආරංචියක් ලද අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. මේකාට දියයුතු දඬුවම කුමක්ද? හීනි තැනින් අල්ලා (බෙල්ලෙන්) ගලක් මත තබා තැලිය යුතුද? නැත්නම් තලේබාන්වරු කරන්නාක් මෙන් නඩු නොඅසාම වෙඩි තබා මැරිය යුතුද? අහිංසාවට ප්‍රියකරන මේ පුවත්පත ඉහත සඳහන් දඬුවම් දෙකම අනුමත නොකරන නමුත් කවර හෝ පුද්ගලයකු එම දඬුවම් දීමට ඉදිරිපත් වුවහොත් එයට විරුද්ධ වන්නේද නැත. ඊළඟ වැදගත් කතාව මෙසේය. කතරගම දේවාලයේ අතුරුදන්ව සිටි මහ කපුවා හමු විය. ඊට සමගාමීව දේවාලයට අයත් රන් තැටිය ද හමුවී තිබේ. ඒ අතර රන් තැටිය බෙදාගැනීම සඳහා කපුවාගේ දියණියත් මරාගන්නා බව දැනගන්නට තිබේ. මේ රටේ දේවාලවලට බැතිමතුන් දෙන මුදල් සහ රත්තරන් වහාම රජය භාරයට ගෙන ඉන්වෙන්ටි්‍ර ගතකිරීමේ වගකීමක් බෞද්ධ කටයුතු කොමසාරිස්ට ඇත. එහෙත් ලංකාවේ දේවාල වැඩිහරියක දෙවියන් වෙනම වැඩසිටීමත් කපුවන් වෙනම සිටීමත් නිසා කවුරුවත් ඒ දේපලවලට අත තබන්නේ නැත. ලංකාවේ ධනවත් දේවාල වැඩිහරියක මහකපුවාට දේවාලය සතු ධනයට වඩා ධනයක් තිබේ. මේ සියල්ල දේවාලයෙන් ගසා කෑ ධනයයි. නීරෝ අධිරාජ්‍යයා රෝමයට ගිනි තිබ්බේ ඇයි? තමාට කරදරයක් වෙමින් පවත්නා ආගමික කණ්ඩායමක් මැඬපැවැත්වීමත් රෝමයට තබන ලද ගින්න ඒ ආගමිකයන්ගේ වැඩක් බව පෙන්වීමටත් ය. අන්තිමට නීරෝ පෙරකී අන්‍යාගමිකයන් සියලු දෙනා කඩුගා දැමීය. මෙය මනුෂ්‍යත්වයට නිගා දෙන වැඩකි. එහෙත් ක්‍රමෝපායක් වශයෙන් ඉතා උසස් වැඩපිළිවෙළකි. ලංකාවේ දේවාල කොල්ලකන කපුවන් සංහාරය කරන ලෙස අපි නොඉල්ලමු. අප ඉල්ලන්නේ ඉතා දරුණු ආගමික පිළිකාවක් බවට පත්ව තිබෙන කපු රැළවල්වලින් මේ රටේ පූජනීය ස්ථාන බේරාගත යුතු බවය. කතරගම දේවාලයේ කපුරාල වන සොමිපාල අතුරුදන්ව ඇති බව ඔහුගේ දියණියන් දෙදෙනා පසුගියදා පොලිසියට පැමිණිලි කළහ. කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදන් වීමේ සිට එය නැවත හමුවීම දක්වා සොමිපාල ලංකාවට දුන් ආතල් සොමිය අපට කවරදාකවත් අමතක වන්නේ නැත.

ලංකාව පුරා දරුණු කුඩු හිඟයක් පවතී. මේ නිසා වෙනදා රුපියල් තුන්දහසට වික්ක කුඩු පැකට් එක අද රුපියල් තිස්දාහට ගැනීමටවත් නොහැක. තව දිනකින් ‘සික්’ ගැසූ කුඩ්ඩන් ලංකාවේ පාරවල් දෙපස තුනට හතරට ඇඹරෙමින් මහත් විනාශයක් කිරීමට ඉඩ තිබේ. ඒ විනාශය නම් පාරවල් දෙපස දවස් ගණන් ඉඳගෙන සිටීම ය. එසේත් නැත්නම් තැන් තැන්වල වමනය දමමින් පිස්සු කෙළීම ය. ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනා මෙයට වගකිවයුතු බව අපට පැහැදිලි වී තිබේ. ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා පොලිසිය හිටපු ගමන් තම පොලිස් වසමේ තිබෙන කුඩු ගුබ්බෑයම් සියල්ලම රේඩ් කරයි. එවිට එම ප්‍රදේශයේ කුඩු හිඟයක් හටගනී. එවිට පෙන්සිල්වේනියාවේ කුඩ්ඩෝ පිස්සු වැටෙති. තව ටික දිනකින් මේ ‘සීන් එක’ මේ විදිහටම ලංකාවේ පාරවල්වල ප්‍රතිනිර්මාණය වෙනවා ඇත.

හොරොව්පතාන ටවුමේ ලී බඩු සාප්පුවක් තිබේ. මේ ලී බඩු මුදලාලි ලී කුඩු වෙළෙඳාමක් ද කළේය.

පසුගියදා එම ලී බඩු සාප්පුව වැටලූ පොලිසියට කුඩු කිලෝ දෙකකුත් ලී මුදලාලිත් අත්අඩංගුවට ගැනීමට හැකි විය. මේ මුදලාලි මාරම ‘අයිටම්’ එකකි. ඔහු විකුණන්නේ තූල් නමැති අලුත්ම කුඩු ජාතියකි. මෙය මිලෙන් ඉතා අඩුය. වෙනත් කුඩු ග්‍රෑම් එකක් රුපියල් පන්දාහක් වන විට තූල් ග්‍රෑම් එකක් රුපියල් පන්සීයකට විකිණිය හැකිය. කුඩු කළ දුම්කොළත් කුඩු කරන ලද හුණුත් තවත් ජාති දෙක තුනකුත් මිශ්‍රකර තූල් සාදනු ලැබේ. මෙයින් ස්වල්පයක් ගෙන දත් අතර තබාගත් විට කුඩු ආතල් එකක් දැනී ක්‍රමයෙන් එය විශාල ආතල් එකක් බවට පත්වේ. තූල්වල මිල අඩු නිසා එය පාසල් සිසුන් අතර ඉතා ජනප්‍රිය ය. අද තූල්වලට හිමි තැන මෙයට පෙර හිමිව තිබුණේ අයිස්වලට ය. ‘යුක්තිය’ නමැති මත්ද්‍රව්‍ය සංහාරක මෙහෙයුම මගින් මේ රටේ කුඩුවලින් සෑහෙන ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. එමතු ද නොව ඔවුන් මදන මෝදකයත් අත්අඩංගුවට ගෙන ඇත. මදන මෝදකය යනු ආයුර්වේද බෙහෙතකි. එය අනුභව කළවිට ලිංගික උත්තේජනයක් හටගන්නා අතර අනුභව කරන්නා ඇලඩින්ගේ පියාඹන කාපට් එකෙන් අහසේ ගමන් කරනවාක් මෙන් තත්ත්වයකට පත්වේ. සිල්ලර කඩවල මදන මෝදකය ඇති අතර ඒවා ෆාමසිවල හැර අන් තැන්වල විකිණීම තහනම් ය. එයට හේතුව මදන මෝදකයට ගංජා මිශ්‍රකර තිබීම ය. ගංජා, වැල් මී, මී පැණි, තිප්පිලි, එළුකිරි, එළකිරි ඇතුළු අමුද්‍රව්‍ය අනූ අටක් ඔර්ජිනල් මදනමෝදක සෑදීමට අවශ්‍ය වේ. මේ අමුද්‍රව්‍ය සියල්ල දැමූ විට ග්‍රෑම් පහක් බර මදන මෝදක ගුලියක් රුපියල් දෙදහස් පන්සියයකට විකුණන්නට සිදුවේ. ඒ නිසා ඇතැම් හොර වෙදුන් කරන්නේ ගංජා වැඩිපුරත් තවත් ලාභ අමුද්‍රව්‍ය දෙකතුනකුත් උක් පැණිවලින් මිශ්‍රකර ගුලි හදා මදන මෝදකය යන ලේබලය යටතේ එකක් රුපියල් පනහ බැගින් විකිණීම ය. අද අපි ඔබට කිව්වේ දැනට සමාජයේ තිබෙන ඇත්ත කතන්දර කිහිපයක් පමණි. නුදුරු දිනක එවැනි තොගයක්ම කීමට අපි අපේක්‍ෂා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment