රටේම විදුලිය බිඳවැටීම – මහජන උපයෝගිතා කොමිසම කියන්නේ බොරු

132

විදුලි බල මණ්ඩලය කියයි

පැය හයකට ආසන්න කාලයක් ඉකුත් 09 වැනිදා සිදුවූ රටේම විදුලිය බිඳවැටීමේ සිද්ධියට ලංවිම වරද පිළිගත් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කළ ප්‍රකාශය සාවද්‍ය යැයි ලංවිම මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා කියා සිටී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය එච්. ඒ. ආර්. මංජුල ප්‍රනාන්දු මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ එවැනි විදුලි බිඳවැටිමක් සිදුවූ විට ක්‍ෂණිකව විදුලිය යළි ලබාදීමට අමතර වියදමක් දැරීමට සිදුවන බව ලංවිම දැනුම් දී ඇති බවය. යළිත් මෙයාකාරයට විදුලිය බිඳවැටීමක් සිදු නොවන බවට සහතික නොවූ බව ද සභාපතිවරයා කීය.

රට පුරා මේ ආකාරයට විදුලිය විසන්ධිවීම වළක්වා ගැනීම සඳහා රුපියල් කෝටි හතළිහකට ආසන්න මුදලක් වැයකර ජාතික විදුලි පද්ධති පාලන මධ්‍යස්ථානයක් ඉදිකළත් එය පලක් වී නැත. විදුලි ඉංජිනේරුවන්ගේ ආධිපත්‍යය යටතේ අදාළ පද්ධතිය පාලනය වන බව ද සෙසු නිලධාරීහු කියා සිටිති. විදුලිය විසන්ධි වීමට හේතුව විදුලි ඉංජිනේරුවන් හෙළි නොකරන බව ද යාන්ත්‍රික ඉංජිනේරුවන් ඇතුළු පිරිස් කියා සිටිති.

2015 වසරේ සිට හය වතාවක් රටම අඳුරට පත්වූ ආකාරයට යළිත් පැය ගණන් විදුලිය විසන්ධි වී තිබීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි ඔවූහු පවසති. විදුලි ඒකාධිකාරය බිඳදමා යාන්ත්‍රික ඉංජිනේරුවන් හා සේවක සම්මිශ්‍රණයක් යටතේ මණ්ඩලයේ කටයුතු යාවත්කාලීන කරන තුරු මේ ප්‍රශ්න හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වැනි දෙයකැයි ද ඔවූහු කියා සිටිති.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment