නව ට්‍රාන්ස්ෆෝමර් මගින් ශ්‍රීපාදස්ථානයට වසර පනහක් අඛණ්ඩව විදුලිය සැපයිය හැකියි – ලංවිම ඉංජිනේරු ධම්මික බණ්ඩාර

54

නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ රතු අම්බලම හා ඉඳිකටුපාන යන ස්ථානවල මේ දිනවල ස්ථාපිත කරන අධිබල නව විදුලි ට්‍රාන්ෆෝමර් (පැරා පැවි) 04 මගින් ඉදිරි වසර 50 කට වැඩි කාලයක් ශ්‍රීපාදස්ථානයට අඛණ්ඩ හා ගුණාත්මක විදුලි සැපයුමක් ලබාදිය හැකි බව එම විදුලි යෝජනා ක්‍රමයේ ඉදිකිරිම් භාරව සිටින ලංකා විදුලිබල මණ්ඩලයේ මධ්‍යම පළාත් තැනීම් ඉංජිනේරු ධම්මික බණ්ඩාර මහතා පැවසීය.

ඉකුත් සතියේ දින කිහිපයක් තිස්සේ ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් මගින් ගෙන එන ලද විදුලි ට්‍රාන්ස්ෆෝමර් 04 හා අනෙකුත් භාණ්ඩ නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ රතු අම්බලම හා ඉඳිකටුපාන යන ස්ථාන දෙකේ ලංවිම සේවකයන් විසින් ස්ථාපිත කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතී.

ජ්‍යෙෂ්ඨ විදුලි අධිකාරි එම්. ඩී. ජයතිලක මහතා ඇතුළු විදුලි අධිකාරිවරුන් 06 දෙනෙකුගේ කණ්ඩායමක අධීක්ෂණය යටතේ විදුලිබල මණ්ඩලයේ සේවකයන් 60 කට අධික පිරිසක් කණ්ඩායම් 04 කට බෙදී නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ මෙම නව විදුලි ට්‍රාන්ස්ෆෝමර් සවිකිරීමේ කාර්යයේ නිරතව සිටින බව ධම්මික බණ්ඩාර මහතා පැවසීය.

වැසි හා සීත දේශගුණික තත්වයන් හමුවේ දවසේ පැය 14 ක කාලයක් අති දුෂ්කර සේවාවක නිරත වෙමින් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු සේවකයින් මෙම විදුලි ට්‍රාන්ස්ෆෝමර් ස්ථාපිත කිරීමේ කටයුතුවල නිරතව සිටිති.

නව ට්‍රාන්ස්ෆෝමර් මගින් ශ්‍රීපාදස්ථානයට වසර පනහක් අඛණ්ඩව විදුලිය සැපයිය හැකියි - ලංවිම ඉංජිනේරු ධම්මික බණ්ඩාර

දැනට ශ්‍රීපාදස්ථානයට විදුලිය සපයන රතු අම්බලම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති කි.වො. 25 ක විදුලි ට්‍රාන්ස්ෆෝමරය වෙනුවට කිලෝවෝල්ට් 160 ක විදුලි ට්‍රාන්ස්ෆෝමර් 02 ක් ස්ථාපිත කරන බවත්, ඉඳිකටුපානේ ස්ථාපිත කර ඇති ණඪ කිලෝවෝල්ට් 25 ට්‍රාන්ස්ෆෝමර් දෙක වෙනුවට කිලෝවෝල්ට් 100 හා කිලෝවෝල්ට් 160 අධිබල ට්‍රාන්ස්ෆෝමර් දෙකක් සවිකරන බව මධ්‍යම පළාත් තැනීම් ඉංජිනේරු ධම්මික බණ්ඩාර මහතා කීවේය.

මෙම නව අධිබල ට්‍රාන්ස්ෆෝමර් පද්ධතිය හරහා ශ්‍රීපාදස්ථානයට ඉදිරි වසර 50 කට වැඩි කාලයක් සඳහා අඛණ්ඩ හා ගුණාත්මක විදුලි සැපයුමක් ලබා දීමට හැකියාව ඇති බව තැනීම් ඉංජිනේරු ධම්මික බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ සිදු කරන මෙම සංවර්ධන කටයුතු සඳහා මස්කෙළිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි ධනුක විමලවීර මහතා ඇතුළු සේවක පිරිසද සහාය ලබා දීම සිදු කළහ.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment